ඔබේ සිහින නිවහනේ ගෘහ අලංකරණය කරද්දී මේ දේවල් ගැන අනිවාර්යයෙන් සිතන්න

සිහින නිවහන ගැන අපි දිගින් දිගටම කතා කළානෙ. මේ අවසන් අදියර. ගෘහ අලංකරණය එහෙමත් නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් ඉන්ටීරියර් ඩිසයින් එක ගැනයි මේ. තමන්ගෙ නිවහන ලස්සන කරගන්න පිටින් කෙනෙක්ගෙ අදහස් ගන්නවට වඩා තමන්ම තමන්ගෙ ගෙදර ඉන්ටීරියර් ඩිසයින් එක කරගන්න එකේ පොඩි ආඩම්බරයක් වගේම වාසියක් තියෙනව. වාසිය තමයි තමන්ගෙ නිවස, තමන්ගෙ සුවපහසුව ගැන හොඳින්ම දන්නෙ තමන් වීම නිසා වඩාත්ම උචිත දේ උචිත විදියට සකසගන්න පුළුවන් වීම. ඉන්ටීරියර් ඩිසයින් කියන්නෙ ලොකු පරාසයක විහිදෙන විශයයක්. අද ලිපියෙන් මූලිකවම කතා කරන්න උත්සහ ගන්නෙ තමන්ගෙ නිවසේ ගෘහ අලංකරණය කරන කොට ඔයාල සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන.

 

1. බජට් එක සකස ගන්න

Image Source – brisbanebuyersagent.com.au

ගෙයක් හදල ඉවර වෙන කොට අපි බලාපොරොත්තු වෙන ගාණට වඩා වැඩි ගාණක් වියදම් වෙලා තියෙන එක සාමාන්‍ය දෙයක්. මුලදි සැලසුම් කරන කොට අපි ගණන් බලනවට වඩා රුපියල් සීයකින් හරි ලයිට් ෆිටින්ග්ස්, බාත් රූම් ෆිටින්ග්ස් වගේ දේවල් ගණන් ගිහින් තියෙන්න පුළුවන්. එහෙම එකේ ඉන්ටීරියර් ඩිසයින් වලට අතේ ඉතිරි මුදල ගැන අවබෝධයකට එන්න. මේ මේ දේවල් වලට වියදම් කරන්න පුළුවන් මෙච්චරයි කියල බජට් එකක් සකස් කරගන්න. හිතේ කරදරෙන් තොරව වියදම් කරන්නත් තමන්ගෙ අතේ ඇති මුදලට උපරිම වටිනාකමක් ලැබෙන විදියට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගන්නත් ඒක පහසුවක්.

 

2. ගෘහ භාණ්ඩ සැලසුම් කරන්න

Image Source – architecturaldigest.com

ඉස්සර කාලෙ වගේ බඩු වැඩි වෙන තරමටයි ලස්සන කියන මතය දැන් දැන් නැත්තටම නැති වෙලා. වඩාත් ඉඩ පහසුව දැනෙන විදියේ අවම ඉඩක් යන ගෘහ භණ්ඩ සහ සැරසිලි භාවිතය ඉහළ ගිහින්. නිවසේ ඒ ඒ කොටස් වලට එකතු වෙන්න ඕන ගෘහ භාණ්ඩ ගැන නිවස ගොඩ නගන කොටම අවබෝධයක් ලබාගන්න. ප්ලෑන් එකේ කොපියක් අරගෙන ඒ ඒ තැන් වලට අවශ්‍ය විදියේ භාණ්ඩ ගැන සැලැස්මක් තියාගන්න. ගෙදරට ඕන බඩු ශොපින් කරන කොට කලින්ම අදහසක් ඇතුව යන එකෙන් අනවශ්‍ය විදියේ බඩු වලට මුදල් නාස්තියක් සිද්ධ වෙන්නෙ නෑ.

 

3. අඩු ඉඩකින් වැඩි ප්‍රයෝජනයක් ගන්න

Image Source – home-designing.com

ගෙදරක ඉන්ටීරියර් එකේ වැදගත්ම දේ ස්පේස් එක එහෙම නැත්නම් අවකාශය පවත්වගෙන යන එක. කාර්යබහුල වීම නිසා මේන්ටේන් කිරීමේ පහසුව, සීමිත ඉඩකඩක නිවාස ගොඩ නැගීම වගේ හේතු නිසා අඩු ඉඩක් වැය වෙන විදියේ ගෘහ භාණ්ඩ වලට වැඩි ඉල්ලුමක් ඇති වෙලා තියෙනව. නවීන පන්නයේ ගෘහ භාණ්ඩ බොහොමයක් එහෙම සකස් උන ඒවා. සෝෆා බෙඩ් වගේ මල්ටි පර්පස් එහෙම නැත්නම් බහු කාර්ය ගෘහ භාණ්ඩ වලට වැඩි ඉල්ලුමක් තියෙනව. අල්මාරි, කබඩ් වගේ දේවල් වලට මුදල් වැය කරනවාට වඩා ඉන්බිල්ට් කබඩ්ස්, වෝල් කබඩ්ස් වගේ දේවල් වලට මුල්තැන දෙන්න. නිවසේ ඉඩකඩ ඇහිරෙන එක සෑහෙන්න වලක්වගන්න පුළුවන්.

 

4. අවකාශය වැඩි කරල පෙන්නන්න

පොඩි ඉඩකඩක් ඇති ගෙයක් නම් ස්පේස් එක එහෙම නැත්නම් අවකාශය වැඩි කරල පෙන්නන එක වැදගත්. අඳුරු පැහැ ගෘහ භාණ්ඩ සහ තීන්ත වෙනුවට ලා පැහැයට බර වර්ණ පාවිච්චි කරන්න. උසින් වැඩි ගෘහ භාණ්ඩ (ලෑම්ප් ශේඩ්ස් වැනි දේ) පාවිච්චියෙන් බිත්ති වල උස් බව මතු කරන්න පුළුවන්. සෝෆා වලට ලා පාට කුෂන් පාවිච්චිය සහ පොළවට ලා පැහැ කාපට් අතුරන එකෙනුත් වැඩි ඉඩක් ඇති බවක් පෙන්නන්න පුළුවන්. ඩෙකරේටිව් මිරර්ස් වැනි දේවල් වලිනුත් ඕනම තැනක නැති අවකාශයක් ඇති කරල පෙන්වන්න පුළුවන්. කොරිඩෝ එකක, සාලයේ පැත්තක වගේ එවැනි අලංකාර කණ්ණාඩි තියෙන එකෙන් ලස්සනකුත් එකතු වෙනව.

 

5. ගෙදරට එක් කරගන්න වර්ණ ගැන හිතන්න

මුළු ගෙදරම එකම වර්ණයකින් පේන්ට් කරන එක ඒ තරම්ම ලස්සනක් එක් කරන්නෙ නෑ. නිවසේ ඒ ඒ කොටස් වලින් ඔබ බලාපොරොත්තු වෙන දේ අනුව කලර් තීම් එකක් සකස ගන්න. අමුත්තන් ගැවසෙන සාලයට වගේ වඩාත් සුදුසු සෞම්‍ය වර්ණ. කුස්සියට පිරිසිදු බව පෙනෙන සහ රැකෙන ආකාරයට සහ ඉඩකඩ වැඩිව පෙන්නන්න ලා වර්ණ භාවිතා කරන්න. නිදන කාමර වලට සහ ටීවි රූම් වලට තමන් කැමති සහ තමන්ට වඩාත් සුවපහසුවක් එහෙම නැත්නම් කොම්ෆි ගතියක් දැනෙන වර්ණ එකතු කරගන්න. අතර මැද කොරිඩෝර්, පඩි පෙළවල් වගේ බිත්ති වලට වයිබ්‍රන්ට් එහෙම නැත්නම් කැපී පෙනෙන වෙනස් ආකාරයේ වර්ණ එකතු කරගන්න එකෙන් ඒ තැන් වල තියෙන ඒකාකාරී බව නැති කරන්න පුළුවන්.

 

6. ආලෝකයට වැඩි තැනක් දෙන්න

Image Source – dare.mphventurescorp.com

ගේ කොච්චර ලස්සනට හැදුවත් හුඟ දෙනෙක් මේ ලයිට් ෆිටින්ග්ස් වලට අවධානයක් යොමු කරන්නෙ නෑ. ගේ හදල කාලයක් ගියත් තැන තැන එල්ලෙන වයර් වලට නිකම්ම බල්බ්ස් ටිකක් හයි කරගන්නව. ඒකෙන් වෙන්නෙ ලස්සනට හදාගන්න ගෙදර පෙනුමේ වටිනාකම අඩු වෙන එක. දහවල් කාලයේදි ස්වභාවිකවම ආලෝකය එන විදියට නිවස ගොඩ නගන කොටම සැලසුම් කළාට රාත්‍රියේදි නිවසේ අලෝකය කොයි විදියට පැවතෙන්න ඕනද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. නිදන කාමර වලට ලබාගන්න ඕන ආලෝකය සහ විසිත්ත කාමරයට ලබාගන්න ඕන ආලෝකය එකිනෙකට වෙනස්. නිදන කාමර වලට සෞම්‍ය ආලෝකයකුත්, විසිත්ත කාමර, කුස්සිය සහ නාන කාමර වලට වැඩි ආලෝකයක් සහ පැතිරුණ ආලෝකයක් ලැබෙන විදියට ලයිට් ෆිටින්ග්ස් තෝරගන්න. ලෑම්ප් ශේඩ්ස් වගේ දේවල් අඩු වියදමින් තමන්ටම උනත් සකස් කරගන්න පුළුවන් විදියේ DIY වීඩියෝස් ජාලය පුරා ඕන තරම්. LED බල්බ්ස් භාවිතා කරන එකත් සාක්කුවට වාසි දෙයක්.

 

7. මෝස්තර, වර්ණය සහ අමුද්‍රව්‍ය වල ස්වභාවය

මූලිකවම ගෘහ අලංකරණයේදි කතා වෙන අවකාශය සහ ආලෝකයට අමතරව වැඩි අවධානයක් යොමු කළ යුතු කාරණා තුනක් තමයි මේ. නිවසේ ගෘහ භාණ්ඩ වලට භාවිතා කරන මෝස්තර, ඒවායේ වර්ණ සහ ඒ ඒ අමුද්‍රව්‍ය වල ස්වභාවය ඒ ඒ තැන් වලට කොයි විදියට ගැලපෙනවද කියන එක බඩු භාණ්ඩ මිලදී ගන්න කලින්ම සැලසුම් කරගන්න.

දොර ජනෙල් රෙදි සහ කුෂන් කවර වලට ගන්න රෙදි වලින් අලෝකය හෝ අවකාශයට අවහිරයක් නොවෙන්න ඒවායේ වර්ණය සහ මෝස්තර තෝරගන්න. උදාහරණෙකට කිව්වොත් විසිත්ත කාමරයට අඳුරු පාට තිර රෙදි ගැලපෙන්නෙ නෑ. ස්වභාවිකව ලැබෙන ආලෝකය අවහිර කරනව වගේම ඉඩකඩ අඩු ගතියක් ඒකෙන් පෙන්නුම් කරනව. ටීවි රූම් එකක් ඊට වඩා අඳුර සහ සුවපහසුව දනවන අමුද්‍රව්‍ය වලින් සකස ගන්න. ටීවි රූම් එකක කුශන් කවර්ස් වලට වෙල්වට් හෝ සෙටින් වගේ රෙදි පාවිච්චි කරන එකෙන් සැප පහසුව දනවනව.

නිවසේ සෑම කොටසකටම පාවිච්චි කරන දේවල මෝස්තර, වර්ණ සහ අමුද්‍රව්‍ය වල ස්වභාවය ඒ ඒ කොටස් වලට අනුකූලව සැලසුම් කරන එකෙන් ඔබේ සිහින නිවහනේ සැප පහසුව වඩා වැඩියෙන් ඔබට ලැබෙනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *