පවුලේ ප්‍රශ්න අවුල් වියවුල් කරන බාහිර බලපෑම්

අම්මලා තාත්තලා කුරුල්ලන්ට පියාඹන්න උගන්වනවා. හොඳට තටුගහලා පියාඹලා ජීවිතේ තනියම කන්න බොන්න හොයාගන්න හැකි වුනාම කුරුල්ලා කිරිල්ලියක් සමග එකතු වෙනවා. ඉන් පස්සේ ඒ දෙන්නා වෙනම කූඩුවක තනි වෙනවා. කුරුල්ලන්ට තරම් මනුස්සයින් වශයෙන් අපිට ජීවිතය සරල නැහැ. ඒත් සරලවම අලුතින් පවුලක් කියන්නේ අලුත්ම ජීවිතයක්. ඒකෙදි හැම පවුලම කුරුල්ලයි කිරිල්ලියි පැටවුයි වගේ එකතු වෙලා සතුටින් ඉන්නේ නැහැ. කොටසක් පවුල් කැඩිලා විසිරිලා යනවා. එහෙම යන්න ගොඩක් වෙලාවට පවුල තුළ හේතු වලට වඩා පිටින් එන හේතු බලපානවා.

 

1. බීමත් කම

බොහෝ ආගම්වල කියාදෙන්නේ අපේ ජීවිත සාර්ථක කරගන්න විදිය. ගොඩක් ආගම් වල බීමත්කම වරදක් විදියට දක්වලා තියෙනවා. බීම කියන්නේ එක අතකින් යාලුවෝ මිතුරන් සමග එකතුවන විට සාමාන්‍ය දෙයක්. ඒත් හැමදාම බීලා ඇවිත් මත් වෙලා නිදාගනිද්දි තමුන්ගේ බිරිඳ ගැන, ළමයි ගැන හොයන්න වෙලාවක් ඒ කෙනාට නැති වෙනවා. ඒ වගේම බොනවා කියන එක වියදම් අධික වැඩක්. බීමට වියදම් කරද්දි ගෙදර දොර අවශ්‍යතා ඉබේම අමතක වෙලා යනවා. පවුල සමග විනෝදෙන් ඉන්න තියන කාලය හැම වෙලාවෙම බීගෙන ගතකරනවා කියන්නේ ඒක පවුලට කිසිසේත්ම හොඳ දෙයක් නෙමෙයි.

 

2. දේව අමනුෂ්‍ය විශ්වාස

Image Source – helabimatours.blogspot.com

භූත බලපෑම්, සාස්තර ආදී අද්භූත බලවේග ගැන විශ්වාස කරන්නේ සල්ලි නැති දුප්පත් අය විතරක්ම නෙමෙයි. දැන් දැන් යමක් කමක් තියෙන උදවියත් විවිධ විශ්වාසයන් පසුපස යනවා. මේ ඇතැම් සාස්තරකාරයෝ නැති ප්‍රශ්න ඇති කරනවා. ඔවුන් විසින් කියන යම් යම් අනාවැකි ආදිය තුළින් පවුල් සමගිය බිඳ වැටෙනවා. වෙලාවකට අපිට තියෙන ප්‍රශ්නයක් විසඳගන්න මේ අද්භූත නොපෙනෙන බලවේග පිටුපස ගියත් ඒ අයගේ ක්‍රියාකලාපය නිසා නැති ප්‍රශ්න ඇතිවෙන්නට ගන්නවා. ඒ නිසා හොඳ යහපත් පවුල් ජීවිතයක් ගෙනියන්න නම් ආගම දහම විතරක් විශ්වාස කළාම හොඳටම ඇති. නොයෙක් විකෘති ආකාර සාස්තර, භූත බලවේග වල සහාය ගන්න ගියොත් අපිට හරියාකාරව අපේ පවුල් ජීවිත ගෙනියාගන්න බැරි වෙනවා.

 

3. යහලුවන් නිවෙස තුළට ගැනීම

ගෙයි ගිනි පිටත නොදීමත් පිට ගිනි ගෙට නොගැනීමත් පවුල් සමගියට හේතු වෙන බව බුදු බණෙත් සඳහන් වෙලා තියෙනවා. යාලුවන් මිත්‍රයින් අපි ආශ්‍රය කරන්නට ඕනි. ඒත් විශ්වාසවන්තම යාලුවො හැර අනෙක් අයට අපේ ගෙදර විස්තර, පවුල් ප්‍රශ්න ආදිය කියන්න යන එක ඒ තරම් හොඳ නැහැ. ඔබට බිරිය සමග හෝ සැමියා සමග යම් ගැටළුවක්, තරහක් තියේනම් එය සමීපතම අය සමගම විසඳාගන්න හදන එක හොඳයි. එහෙම නැතිව වෙනත් යාලුවන්ට ප්‍රශ්න ගියාම එයාල එයාලගේ පැත්තෙන් අපිට උපදෙස් දෙන්න ගන්නවා. බිරියගේ සුළු වරදක් යාලුවෙක්ට කිව්වොත් සමහර විට එයාගේ උපදෙස “ඕකිට දෙකක් ගහපන් බන්” ආදී එකක් වෙන්න පුළුවන්. සමහර විට යාලුවාගේ සමාජ වටපිටාවේ එහෙම බිරියට පහර දීම සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් අපේ ප්‍රශ්න අපිම විසඳගෙන යාලුවන්ට අපේ ප්‍රශ්න අස්සට ඔලුව දාන්න නොදී ඉන්න එක කෝකටත් සනීපයි.

 

4. නෑයින්

Image Source – wikihow.org

නෑයින් ඉන්න ඕනි. එයාලව ආශ්‍රය කරන්නට ඕනි. ඒත් නෑයො සමහර අය ඉන්නවා අපේ විස්තර අපේ කෙනෙක් වගේ අහගන්නවා. ඉන් පස්සේ අපි එක්ක එච්චර හිත හොඳ නැති අයට ඒ විස්තර තවත් අතින් දාල කියනවා. මේ වගේ දේවල් සමහර නෑයෝ වැඩිදුර හිතන්නේ නැතිව විනෝදයට වගේ කරන දේවල්. ඒත් ඒකෙන් අපේ පවුල් ජීවිත වලට නිකං තරහකාරයෝ එකතු වෙනවා. ඒ නිසා නෑයින් ආශ්‍රය කරනකොට ටිකක් විතර පරෙස්සම් වෙන්නට ඕනා. සමහර විට ඉතාම සුළු දෙයක් විශාල කරලා, වටේම ගිනි තියලා ඒක ලොකු කරන්න නෑයින්ට තියෙන්නේ පුදුම හැකියාවක්. සමහරවිට ඔයාලටත් පුද්ගලිකවම නෑයින් ගැන එහෙම අත්දැකීමුත් ඇති.

 

5. අනියම් සම්බන්ධකම්

Image Source – singaporego.com

ජෝඩුවකට වුනත් හැමදාම එකම විදියට එකතු වුනාම කිසිම රහක් නැති රිලේශන්ෂිප් එකක් වෙනවා. මතකද ලවු කළ කාලේ? ඒ කාලේ අපි හැමදාම එකම පාක් එකේ, එකම බංකුවේ, එකම වෙලාවේ හැම සතියකම එකට එකතුවෙන් නැහැ නේද? දවසක් ෆිල්ම් බලන්න යනවා, තවත් දවසක ප්‍රදර්ශන බලන්න යනවා. තවත් දවසක ඈත පළාතක කොහෙ හරි තැනක තනිවෙන්නට යනවා. ඒ වගේ අත්දැකීම් විවිධ වෙද්දි තමයි රිලේශන්ෂිප් එකක් රසවත් වෙන්නේ. පවුල් ජීවිතෙත් හැමදාම එකාකාරී විදියට ගෙවිලා යද්දි අනියම් සම්බන්ධතා වලට වැඩි ඉඩක් වෙන්වෙනවා. විවිධ අත්දැකීම් ලබාගනිමින් පවුල සමග වැඩිකාලයක් ගත කරමින් ඉන්න අඹුසැමියන් ඇත්තටම අනියම් සම්බන්ධතා වලට යොමුවෙනවා අඩුයි.

 

6. රාජකාරිය ලොකු කරගැනීම

Image Source – funnyjunk.com

දවල් දවසේ වැඩ කරන වෙලාවේ රැකියාව කිරීමෙන් විතරක් නවතින්නෙ නැතිව රැකියාව ගෙදර අරන් ඇවිත් රෑ වෙනකල් රස්සාව කරන අය ඉන්නවා. ඉඳලා හිටලා සතියකට සැරයක් දෙකක් නම් කමක් නැහැ. හැමදාම රෑවෙලා ගෙදර ඇවිත් හැමදාම උදේ පාන්දරින් ගෙදරින් යනවා නම් අවුලක්. ඒ වගේ වෙලාවට දරුවෝ දෙමාපියන්ව දකින්නෙත් ඉතාම කලාතුරකින්. ජීවත් වෙන්න සල්ලි ඕනි. එත් සල්ලි කියලා හැම වෙලාවෙම රස්සාවක ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි.

 

7. දෙමාපිය සම්බන්ධතා

Image Source – imgur.com

දෙමාපියන් ගැන අපි බලන්න ඕනි. දෙමාපියන්ට සලකන්නත් ඕනි. ඒත් වෙනමම පවුලක් වුනාම අපි මූලික තැන අපේ පවුලට ලබාදෙන්නට ඕනි. දෙමාපියන්ටත් වගකීමක් තියෙනවා තමුන්ගේ දුව හෝ පුතා අලුත් ජීවිතයක් පටන් ගත්තාම ටිකක් ඈත් වෙලා ඉන්න. නැන්දම්මා ලේලි ගැටළුව කියන්නේ ඉතා පැරණි කාලයේ ඉඳන් පවුල් වල දිගින් දිගට යන අවුලක්. ඒත් තාමත් ඒ ගැටුම තියෙනවා.

පවුලක් සාර්ථක කරගන්නෙ කොහොමද? කියලා පොත් පත්, වීඩියෝ සහ වෙබ් ආටිකල් ගොඩක් තියෙනවා. ඒ වගෙම අපිට හමුවෙන අයත් ඒ ගැන උපදෙස් දෙනවා. ඔය මොක වුනත් තමුන්ගේ පවුල ස්ථාවරව තියාගන්න එක පවුලේ මූලික බලකණු දෙකේ වගකීමක්. ඉතින් බාහිර දේවල් වලින් පවුලට අගතියක් වෙන්න යනවා නම් ඒ ගැන කතා කරලා, වාද කරලා විසඳගන්න එක තමයි තියෙන හොඳම විසඳුම. ඒකටත් පිට අය දෙයි වෙන්වෙන එක හොඳයි කියල විසඳුම්. ඒත් ඒවා අහන්න ඕනි, අදාළ කරගන්න ඕනි ඉතාම පරෙස්සමින්. මොකද පවුල් වෙනවාට වඩා පවුල් වෙන්වීම කියන්නේ හැම අතින්ම තද වේදනාවක්. ඒ වගේම ප්‍රශ්න ගොඩක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *