ලෝකය පුරා ප්‍රසිද්ධ වුණු පවුල් ආරවුල්

අපේ රටේ වැටවල්වලට බැණ අඬ ගහ ගන්න වගේම ඒ ආරවුල දුරදිග ගිහිල්ලා උසාවි ගාණෙත් රස්තියාදු වෙන පවුල් තියනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිනමාවේ වගේම හින්දි සිනමාවෙත් ගොඩක් ප්‍රේම කතාවල ඉන්නෙ කෙල්ලයි කොල්ලයි ආත්ම ගාණක වෛරයකින් ඉන්න පවුල් දෙකක දෙන්නෙක්. ඒක හින්දා ගෙවල් වලින් මේ දෙන්නගෙ ප්‍රේමයට එරෙහි වෙනවා. අන්තිමට මේ හැම බාධාවක්ම ජය අරගෙන මේ ප්‍රේමවන්තයෝ ආදරය ජයගන්නවා. මේ විදිහට පවුල් ආරවුල් කියන දේවල් අපිට ගොඩක් සමීපයි. මේ නිසා අපි හිතුවා ලෝකෙ පුරා ප්‍රසිද්ධ වුණු වගේම ඉතිහාසගත වුණු පවුල් ආරවුල් කීපයක් ගැන කතා කරන්න.

 

1. ෂේක්ස්පියර් විසින් අමරණීය කරන ලද පවුල් ආරවුල

Image Source – legendlovestory.blogspot.com

රෝමියෝ ජුලියට් කිව්වම ඉතින් කවුද නොදන්නේ, නේද? විලියම් ශේක්ස්පියර් මේ වේදිකා නාට්‍යයට පාදක කරගන්නේ ඉතාලියේ වෙරෝනා නගරයේ සිදුවුණ ඇත්ත සිදුවීමක් කියලා බොහෝ දෙනා පිළිගන්නවා. සමහර අය නම් ඒ මතයට ඒ තරම් එකඟවෙන්නෙ නෑ. නමුත් ඊට විරුද්ධව මත පළ කරන අය ජුලියට්ගේ මාලිගාවේ නටබුන් මේ කථා ප්‍රවෘත්තිය ඇත්තක් කියන්න සාක්කියක් විදිහට දක්වනවා. රෝමියෝ ජුලියට් ගේ ආදරයට බාධාවක් වෙන්නෙ ඒ දෙන්නගේ පවුල්වල පරම්පරා ගාණක් පුරාවට පැවත එන වෛරය නිසා. කැපියුලට් සහ මොන්ටේගු තමයි මේ පවුල් දෙක. ජුලියට් අයිති වෙන්නේ කැපියුලට් පවුලට, රොමියෝ අයිති වෙන්නේ මොන්ටේගු පවුලට. අන්තිමට මේ පවුල් වෛරය නිසා රෝමියෝ සහ ජුලියට්ට මියයන්න සිදු වුණත් විලියම් ශේක්ස්පියර් මේ දෙන්නාගේ ආදරය අමරණීය කළා.

 

2. අලගක්කෝනාර සහ සේනාධිලංකාර පවුල්

Image Source – en.wikipedia.org

මේ ලංකා ඉතිහාසයේ දේශපාලනය ඇතුළේ තමන්ගේ බලය වැඩිකර ගන්න අරගල කරපු පවුල් දෙකක කතාවක් මේ කියන්නේ. මේ පවුල් දෙකේ බල අරගලය පටන් ගන්නේ ගම්පොළ යුගයෙන්. ඉවර වෙන්නෙ කෝට්ටේ යුගයෙන්. නමුත් මේ පවුල් දෙකම ගම්පොළ බුවනෙකබාහු රජු වෙනුවෙන් අවංකව සේවය කළ පවුල් දෙකක්. සමහර ඉතිහාසඥයෝ කියන විදිහට මේ අරගලය නිමා වෙන්නේ විවාහ සම්බන්ධයකින්. පවුල් දෙකම තරඟයට වගේ බෞද්ධ විහාරස්ථාන සඳහා උදවු කරලා තියෙනවා. ගඩලාදෙණි විහාරය සහ ලංකාතිලක විහාරය මේ පවුල් දෙකේ උපකාරය යටතේ ගොඩනැගුණු විහාර දෙකක්.

 

3. මෙඩිසි සහ පාසි ගැටුම

මේ පවුල් ආරවුලත් අපිට අහන්න ලැබෙන්නේ ඉතාලියෙන්. ඒ ෆ්ලෝරන්ස් නගරයෙන්. මෙඩිසි සහ පාසි පවුල් කියන්නෙ ව්‍යාපාර හරහා තමන්ගේ බලය ගොඩනගා ගත් රදල පවුල් දෙකක්. පාප්වරයා පත් කරගැනීමටත් මේ පවුල් මැදිහත් වුණා සහ ඇතැම් අවස්ථාවල පාප්වරයා පත්වුණෙත් මේ පවුල් වලින්. මේ පවුල් තමන්ගේ කීර්තිය වෙනුවෙන් එකිනෙකා හා තරග කළා ඒ නිසා ෆ්ලෝරන්ස් නගරයේ විවිධ දෙව්මැදුරු ඔවුන්ගේ අනුග්‍රහයෙන් ඉදි වුණා. කෙසේ වෙතත් මේ පවුල්වල අරගලයෙ උච්චතම අවස්ථාවට පත් වෙන්නෙ පාසි පවුල මෙඩිසිවරුන්ව සමූල ඝාතනයට ලක් කිරීමට කුමන්ත්‍රණය කිරීම තුළින්. මේ කුමන්ත්‍රණයෙන් පස්සේ පාසි පවුලේ සියලු දෙනාම ෆ්ලෝරන්ස් නගරයෙන් පිටුවහල් කෙරුණා. ඒ වගේම පාසි වාසගම භාවිතා කිරීමත් තහනම් වුණා.

 

4. රෝස යුද්ධය ඇවිලවූ පවුල් දෙකක්

Image Source – tudorqueen6.com

දශක තුනක් එංගලන්තය තුළ සිවිල් යුද්ධයක් ඇති කරන්න සමත් වුණ පවුල් දෙකක් තමයි යෝර්ක් සහ ලැන්කැස්ටර් පවුල් දෙක. විශේෂත්වය වෙන්නේ මේ පවුල් දෙකම ඥාතීන් වීම. ඔවුන් තුන්වැනි එඩ්වඩ් රජුගෙන් පැවත එන අය. එංගලන්ත සිංහාසනය වෙනුවෙන් එම පවුල් දෙක තරග කළා. එවකට සිංහාසනයේ සිටි ලෑන්කැස්ටර් රජු, 6 වැනි හෙන්රි රජුට විරුද්ධව යෝර්ක්වරු යුද්ධ ප්‍රකාශ කළා. අවසානයේදී යෝර්ක් රාජවංශයත් තවත් ඥාති පිරිසක් වුණු ටියුඩර්වරුන් විසින් බලයෙන් පහකරනු ලැබුවා.

 

5. ඌරෙකු නිසා සිදුවුණු හැට්ෆිල්ඩ් – මැකොයි මිනීමැරුම්

Image Source – distillerytrail.com

මේ පවුල් ආරවුල ඇමෙරිකානු ඉතිහාසයේ සිදුවුණු දරුණුතම පවුල් ගැටුමක් විදියට සැලකෙනවා. මේ ආරවුල පටන් ගන්නේ මැකොයි පවුලේ සාමාජිකයන් විසින් ඌරෙකු සොරකම් කළා කියන චෝදනාව හැට්ෆිල්ඩ් පවුලේ සාමාජිකයන් වෙත එල්ල කිරීමත් එක්ක. මේ චෝදනා අවසානයේදී ලේ සෙලවීමක් දක්වා දුරදිග යනවා. එහි උච්චතම අවස්ථාව වන්නේ 1888 ජනවාරි පළවෙනිදා හැට්ෆිල්ඩ් පවුලේ පිරිසක් මැකොයි පවුලේ නිවසක් වටකර වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් එක්ක. අවසානය‍ෙදී ඝාතන කීපයකින් පසුව ඇමරිකානු අධිකරණය හැට්ෆිල්ඩ් පවුලේ කීප දෙනෙක්ට මරණ දණ්ඩනය නියම කරනවා.

 

6. ගාන්ධිලාට එරෙහිව ගාන්ධිලා

Image Source – theolympians.co

මේ කතාව ඇහෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාවෙන්. ඒ ඉන්දිරා ගාන්ධි පවුලෙන්. ඉන්දිරා ගාන්ධිට පුතුන් දෙදෙනෙක් සිටියා. ඇගේ පළවෙනි පුතා වුණු සංජේ ගාන්ධි ගුවන් අනතුරකින් මිය ගියා. ඔහුගේ බිරිඳ වුණේ මේනකා ගාන්ධි. ඇය සහ ඉන්දිරා ගාන්ධි අතර විවිධ ගැටුම් ඇතිවුණා. මේ නිසා අවසානයේදී ඇය ඒ නිසා ගාන්ධි පවුලේ නිවසෙන් බැහැර වුණා. මේ ගැටුමේ උච්චතම අවස්ථාව වුණේ රජිව් ගාන්ධිට එරෙහිව ඇය මැතිවරණයට තරග කිරීමෙන්. මේ වෙද්දි ඇය සහ ඇගේ පුතා වන වරුන් ගාන්ධි භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල සාමාජිකයන් බවට පත් වෙලා ඉන්නවා. ඒ ඉන්දීය කොංග්‍රස් පක්ෂයට සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි නායකත්වය ලබාදෙන පසුබිමක් තුළදී.

 

7. Adidasවලට එරෙහිව Puma

Image Source – theolympians.co

ඇඩෙල්ෆ් ඩැස්ලර් සහ රුඩොල්ෆ් ඩැස්ලර් සහෝදරයන්. ඔවුන් දෙදෙනා එකතු වෙලා සපත්තු කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා. එක්දහස් නවසිය තිහේ ඔලිම්පික් උළෙලට සමගාමීව ඔවුන්ගේ සපත්තු ජර්මනිය පුරා ඉතා ජනප්‍රියත්වයට පත්වෙනවා. නමුත් ඔවුන් දෙදෙනා අතර විරසකකම් වැඩි වෙනවා. දෙවැනි ලෝක යුද්ධයේ අවසානයත් සමග ඔවුන් දෙදෙනා වෙන්වෙලා තමන්ගෙම සපත්තු කර්මාන්තශාලා ආරම්භ කරනවා. ඇඩෙල්ෆ් ඩැස්ලර් විසින් Adidas සන්නාමයත් රුඩොල්ෆ් ඩැස්ලර් විසින් Puma සන්නාමයත් වෙළඳපොළට හඳුන්වා දෙනවා.

හරි එහෙනම් ඉතින් වෙනදා වගේම කරන්න ඕන දේ ගැන කියන්න ඕන් නෑ නේද? බල බල ඉන්න එපා ආටිකල් එක share කරන්න. ඒ වගේම මේ ආටිකල් එක ගැන තියෙන අදහස් comment section එකේ දාන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *