අපේ රටේ දේශපාලකයෝ ඇති කරපු රාජ්‍යතාන්ත්‍රික අවුල්

අපේ රටේ දේශපාලකයෝ ගැන කතා කරනවා නං ඉතිං ආපහු කතා කතාකරලා වැඩක් නැද්ද මන් දන්නෑ. මොකද මේ අය කරොත් කරන්නේ හෙන මොළේ තියෙන වැඩනේ. කොටින්ම කියනව නං අපේ අනාගත පරපුර ගැන හිතලා තමයි ඒ අය සේරම වැඩ කරන්නේ. සමහර අවස්ථාවලදී ඒ අය ජාත්‍යන්තර ප්‍රජාව එක්ක වැඩ කරන්න යන්නෙත් ඒ අයත් අපේ රටේ ඡන්ද දායකයෝ කියලා හිතාගෙන. මේ වගේ අවස්ථා නිසා අපේ රටට මුහුණ දෙන්න වුණු ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී නම් ඒ අ‍ය එහෙම හැසිරීමෙන් අපේ රටේ ස්වාධීනත්වය ජාත්‍යන්තර වේදිකාව තුළ ආරක්ෂා වුණා කියලත් කියන්න පුළුවන්. හැබැයි ඒ බොහොම සීමිත අවස්ථා කීපයකදී විතරයි.

 

1. තායිවානය සහ චීනය පටලවා ගැනීම

Image Source – independent.co.uk

තායිවානය කියන්නේ ඇමරිකානු හමුදාවල ආරක්ෂාව යටතේ පවතින දූපතක්. මේ දුපතේ ස්වාධීනත්වය චීනය පිළිගන්නේ නෑ. චීනය කියන්නේ තායිවානය තමන්ගේ රටේ කොටසක් කියලා. මේ අර්බුදය චීන විප්ලව සමය වෙනකන් දිව යනවා. ඒ වගේම මේ රටවල් දෙකේ නිල නාමයනුත් ඉතා සමානයි. තායිවානය Republic of China ලෙසටත් චීනය People’s republic of china ලෙසටත් හැඳින්වෙනවා. ලංකාවේ ඇමතිවරු අවස්ථා දෙකකදී මේ නම් පටලවාගැනීම නිසා චීන තානාපතිවරයා තමන්ගේ නොසතුට පළ කරනවා. ඒ ඇමතිවරු දෙදෙනා වෙන්නේ ගයන්ත කරුණාතිලක සහ කාලයක් අපේ රටේ විදේශ අමාත්‍යවරයා විදිහට හිටපු රෝහිත බෝගොල්ලාගම. දෙන්නම චීනය ගැන සඳහන් කරද්දි Republic of china කියලා ප්‍රසිද්ධ උත්සව සභා දෙකකදී පාවිච්චි කරනවා.

 

2. මර්වින් සිල්වාගේ විවාහ යෝජනාව

Image Source – srilankamirror.com/mathrubhumi.com

මර්වින් සිල්වා ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ රස කතා රැසක් මවපු පුද්ගලයෙක් විදිහට. එතුමා  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේ මහත්මිය ලංකාවෙ සංචාරයක් කරපු අවස්ථාවකදී නවී පිල්ලේට කැමතිනම් තමන්ව විවාහ කරගන්න කියලා ප්‍රසිද්ධ මාධ්‍යයට  ප්‍රකාශයක් කරනවා. ලංකාවේ මාධ්‍ය තුළ විටෙක විකටයෙක් වගේම විටෙක චණ්ඩියෙක් විදිහට ප්‍රසිද්ධ මර්වින් සිල්වා මහත්මයා ජාත්‍යන්තරය ජයගන්න යන්නෙ ඔන්න ඔය විදිහට. මේ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන්ගේ නියෝජිතවරියකට කරපු අනවශ්‍ය සහ අවිනීත යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා රජයට තමන්ගේ විරෝධතාවය පළ කරනවා.

 

3. හිලරි ක්ලින්ටන්ට සද්දයක් දාපු රත්නසිරි වික්‍රමනායක

රත්නසිරි වික්‍රමනායක කියන්නේ කීප වතාවක් අපේ රටේ අගමැති ධූරයට පත් වෙන්න වාසනාව ලබපු කෙනෙක්. ඒ වගේම අනෙකුත් දේශපාලකයන්ට වඩා එතුමා පරිණත පුද්ගලයෙක් විදිහට වැඩ කටයුතු කළා. නමුත් එක්තරා අවස්ථාවක එතුමාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා. ඒ ලංකාවේ හමුදා ස්ත්‍රී දුෂණය සිදු කරනවා කියලා හිලරි ක්ලින්ටන් කරලා තිබ්බ චෝදනාවක් නිසා. මේ ගැන කේන්තියෙන් හිටපු වික්‍රමනායක මහත්තයා කිව්වේ “අපේ හමුදා ගැන හොයන්න කලින් හිලරි එයාගේ ගෙදර දිහා බලා ගත්තා නම් හොඳයි කියලා”. ඒ බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාට එල්ල වුණු ලිංගික අපචාර චෝදනා පිළිබඳව ඉඟි කරමින්. මේ කතාවත් දේශපාලන ලෝකය කළඹවන්න සමත් වුණා. හිටපු ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයෙක් වූ රොබට් ඕ බ්ලේකුත් මේ කතාවට තමන්ගේ නොසතුට පළ කරලා තිබ්බා.

 

4. ස්වීඩන් විදේශ ඇමතිට පල නොකියා පළා බෙදීම

Image Source – sundayobserver.lk/nypost.com

මේ සිදුවීම නම් දේශපාලකයෙක් ඇති කරපු අවුලකට වඩා අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කරපු අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන්. මේ සිදුවීම සිදු වෙන්නේ 2009 අවුරුද්දෙදී. ඒ කිව්වේ අපේ රටේ යුද්ධය උච්චතම අවස්ථාවට එළැඹුණු සමයේදී. ඒ අවස්ථාවේදී බටහිර රටවල් ප්‍රභාකරන් සහ එල්ටීටීඊ සංවිධානය පරාජය වීම වළක්වන්න උපරිමයෙන් උත්සාහ කරනවා. ඒ සඳහා ඔවුන් නියෝජිතයන් තුන්දෙනෙක් ලංකාවට එවන්න කටයුතු කරනවා. ඒ අය වෙන්නේ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ්, ප්‍රංශ විදේශ කටයුතු ඇමති බර්නාඩ් කෘෂ්ණර් සහ ස්වීඩන් විදේශ කටයුතු ඇමති කාල් බ්ලයිඩ්. නමුත් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය අමුතුම වැඩක් කරනවා. ඒ තමයි ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ බර්නාර්ඩ් කෘෂ්ණර්ට පමණක් වීසා ලබාදී ස්වීඩන විදේශ ඇමති කාල් බ්ලයිඩ් සඳහා වීසා ලබා නොදීම. ඒ වගේම ලංකාවට ආපු ඩේවිඩ් මිලිබෑන්ඩ්ට සහ බර්නාර්ඩ් කෘෂ්ණර්ට දැඩි වාග් ප්‍රහාරයක් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එල්ල කරනවා. ඔහු ප්‍රකාශ කරනවා, තමන් මේ යුද්ධය එල්ටීටීඊ සංවිධානය පරාජය කොට මිස නොනවත්වන බවටත් අවශ්‍යනම් එල්ටීටීඊ සංවිධානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බව ඔවුන්ට දන්වන ලෙසටත්.

 

5. බැංඩුන් වීරයා සහ බැංඩුන් බූරුවා

Image Source – independent.co.uk.com/telo.org

මේ කතාව සිද්ධ වෙන්නේ 1955 දී. නොබැඳි ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනීමේ මූලික සාකච්ඡාවක් ඉන්දුනීසියාවේ බැංඩුන් නුවර පැවැත්වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ එවකට අමාත්‍යවරයෙකු වූ සර් ජෝන් කොතලාවල මහතා. සර් ජෝන් කොතලාවල මහතා ප්‍රසිද්ධ වෙලා තිබ්බේ දැඩි කොමියුනිස්ට් විරෝධියෙක් විදිහට. මේ සම්මේලනය සඳහා චීනය සහභාගි වීම ගැන කොතලාවල මහත්තයා හිටියේ ටිකක් නොසතුටින්. මේ නිසා තමන්ගේ දේශන අවස්ථාවේදී කොතලාවල මහතා කොමියුනිස්ට් වාදය දැඩි ලෙස විවේචනය කරනවා. සමුළුව  මෙහෙයවමින් සිටි ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු මහතා, චීන අගමැති චූ එන්ලායි මහතාට අපහසුතාවයට පත්වෙන්න සිද්ධ වෙන නිසා කණගාටුවට පත් වෙනවා. කොතලාවල මහතාගේ කතාව අවසානයේ ජවහර්ලාල් නේරු මහතා අහනවා ඇයි ඔබ තුමා මේ කතාව කරන්න කලින් මට දැනුම් නොදුන්නේ කියලා. කොතලාවල මහතා කේන්තියෙන් උත්තර දෙන්නේ “ඔබේ කතාව කරන්න කලින් මට ඔබ කතාව පෙන්නනවද?” කියලා. මේ හේතුව නිසා ඇමෙරිකා එක්සත් ජනපදයට හිතවත් පිරිස් කොතලාවල මහතා බැංඩුන් වීරයා ලෙස සලකද්දි අපේ රටේ වාමාංශික පක්ෂ කොතලාවල මහතාව බැංඩුන් බූරුවා ලෙස හඳුන්වනවා.

 

6. රටෙන් එලවපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා

Image Source – en.wikipedia.org/universalstudios.com

මේ සිදුවීම සිද්ධ වෙන්නෙ 1991 දි. මේ කාලයේදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විදිහට කටයුතු කරන්නේ ඩේවිඩ් ගැල්ඩ්ස්ටන් කියන පුද්ගලයා. ඔහුගේ සීයා  හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයෙක්. ඒ නිසා ඔහු යම් තාක් දුරකට උද්දච්ච හැසිරීමක් ලංකාව තුළ පළ කරනවා. මේ කාලයේදී ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත් වුණා. දකුණු පළාතේ සංචාරයක නිරත වුණු බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා දික්වැල්ල පොලිසියට ගොස් පැමිණිල්ලක් කළේ තමන් ඡන්ද දූෂණ සියැසින් දුටු බවත්, ඒ පිළිබඳව නීතිමය කටයුතු කරන ලෙසත්. මේ නිසා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යනවා. ග්ලැඩ්ස්ටන් රාජ්‍ය තාන්ත්‍රික සීමාව ඉක්මවා ගිය බව ප්‍රකාශ කරන ප්‍රේමදාස රජය ග්ලැඩ්ස්ටන් මහතාව ශ්‍රී ලංකාවෙන් නෙරපා දැමීමට කටයුතු කරනවා.

 

7. රජීව් ගාන්ධිට පහර දීම

අපේ ලයිස්තුවට ඇතුළත් කරන එකම දේශපාලඥයකු සම්බන්ධ නැති රාජ්‍යතාන්ත්‍රික අවුල මේක විතරයි. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවුණ විශාලතම රාජතාන්ත්‍රික අවුල මේක විදිහට සැලකෙන නිසා. නමුත් මේ සිදුවීමත් ඇතැම් අය සලකන්නෙ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක් විදිහට. නමුත් මෙය සිදුකරන්නේ  සාමාන්‍ය නාවික සොල්දාදුවෙක්. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට ශ්‍රී ලංකාවට බල කිරීමට පැමිණි රජීව් ගාන්ධි මහතාට ප්‍රහාරයක් එල්ල කිරීමට මේ නාවික සොල්දාදුවා කටයුතු කරනවා. මේ හේතුවෙන් ශ්‍රී ලංකා රජය ඉතා අපහසුතාවයට පත් වුණා. ජේ ආර් ජයවර්ධන මහතා මෙය පහර දීමක් නොව නාවික හමුදා සොල්දාදුවා ඉර අව්ව හේතුවෙන් ඇද වැටීමෙන් සිදුවූ අත්වැරදීමක් බවට ප්‍රකාශයකුත් කළා. හැබැයි දෛවයේ සරදමකට වගේ මේ සොල්දාදුවා පස්සෙ කාලෙක දේශපාලනඥයෙක් බවට පත්වුණා. ඔහු සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයෙන් ඡන්දය ඉල්ලුවත් පරාජයට පත්වුණා. දැන් ඔහු ජෝතීර්වේදියෙක් විදිහට කටයුතු කරනවා. නමුත් ඔහුගේ ඇතැම් අනාවැකි නම් ජනතාවගේ හාස්‍යයට ලක්වුනා ඔහු පිළිබඳව අපි කලින් වතාවකදී කතා කළා ඔහුගේ නම නොකියා අපි ඊට අදාළ ලින්ක් එක දෙන්නම්.

එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ පල කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *