ලෝකය පුරා ප්‍රසිද්ධ වුණු මල්ලිලා හා අක්කලා අතර සිදුවුණු විවාහ

මේ ඉතින් අවුරුදු කාලෙනෙ. ළඟකදී අපේ යාලුවෙක් තවත් යාළුවෙකුගේ ගෙදර ගියාම පොඩි රණ්ඩුවක් ඇහෙනවලු. මොකද දන්නවද වෙලා තියෙන්නේ? ගෙදර මනුස්සයා බුලත් අතක් අරගෙන නෝනා පිටිපස්සෙන් දුවගෙන යනවලු වඳින්න. නෝනා බැණ බැණ යනවලු ඕන්නැති විහිළු කරන්න එන්න එපා කියලා. හේතුව තමයි මේ විවාහය වෙලා තියෙන්නේ අක්කා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි අතර. ඒ වගේම ෆේස්බුක් ඇතුළේ අක්ක මල්ලි විවාහ ගැන රස කතා එහෙම ෂෙයාර් වෙනවා. “අපි මේ කරන්නේ වැරැද්දක් ද මල්ලි” මේ දෙබස පාදක කරගෙන ෆේස්බුක් එක ඇතුළේ නිර්මාණශීලී නිර්මාණ ගොන්නක් හැදිලා තියෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ, ලෝකය පුරාවටම කතාබහට ලක්වුණ අක්කා මල්ලි විවාහ ගැන. හැබැයි එක දෙයක් කියන්න ඕන. ඒ තමයි කවුරු කොහොම කිව්වත් විවාහයේදී, ආදරේදි වයස කියන දේ බාධාවක් වෙන්නෙ නෑ කියන එක.

 

1. හැරී කුමාරයා සහ මේගන් මර්කල්

මේ විවාහය සියවසේ සිදුවූ ආන්දෝලනාත්මක විවාහයක් විදිහට සලකන්න පුළුවන්. ඒ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සම්ප්‍රදායන් උඩු යටිකුරු කරමින් සිදුවුණු විවාහයක් නිසා. බ්‍රිතාන්‍ය කිරුළට උරුමකම් කියන පළමු පස් දෙනා අතර ඉන්න හැරී කුමාරයා විවාහ වෙන්න තීරණය කරන්නේ ඇමරිකානු සම්භවයක් තියෙන, කලින් සැමියාගෙන් දික්කසාද වුණු තමන්ට වඩා වැඩිමල් කාන්තාවක් සමග. ඇය මේගන් මර්කල්. දෙදෙනා අතර වයස් පරතරය අවුරුදු තුනක්, නමුත් දෙන්නම මේ වන විට ඉතා සාර්ථක විවාහයක් ගත කරමින් ඉන්නවා. ලැබෙන ආරංචි මාර්ග වලට අනුව ළඟදීම දරු සුරතල් බලන්න මේ දෙදෙනා සැලසුම් කරලා තියෙනවා.

 

2. ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස්

ප්‍රියංකා චෝප්රා කියන්නේ අපිට ආපහු විශේෂයෙන් හඳුන්වලා දෙන්න ඕන කෙනෙක් නෙමෙයි. රූ රැජනක් විදිහට බොලිවුඩයට පා තබන ඇය අවසානයේදී නතර වෙන්නෙ හොලිවුඩයටත්  තමන්ගේ ආධිපත්‍ය විහිදුවලා. කාලෙන් කාලෙට විවිධ හොලිවුඩ් සහ බොලිවුඩ් නළුවන්ගේ නම් සමග ඈඳුණු ප්‍රියංකා, අවසානයේදී නතර උනේ මල්ලි කෙනෙක්ගෙ ඉදිරියේ. ඔහු තමයි ඇමරිකානු පොප් ගායක නික් ජෝනාස්. දෙදෙනා අතර වයස් පරතරය අවුරුදු 10ක්

 

3. සචින් තෙන්දුල්කාර් සහ අංජලී

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවි කෙනෙක් විදිහට සැලකෙන සචින් තෙන්දුල්කාරගේ සිත ඇදී යන්නේ අක්කා කෙනෙක්ට. වයස් පරතරය අවුරුදු හයක් වුණු ඔවුන් දෙදෙනා මුණ ගැසෙන්නේ ගුවන් තොටුපළකදී. ඒ වෙනකොට සචින් තමන්ගේ ක්‍රිකට් ජීවිතය ආරම්භ කරපු අවදිය, අංජලී ඒ වෙන කොට තමන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටිය කාලය. නමුත් දෙදෙනා දුටු මතින්ම දෙදෙනා කෙරෙහි ආදරයක් ඇති කර ගන්නවා. විවිධ බාධක හමුවේ පසුබට නොවන දෙදෙනා අවසානයේදී විවාහයෙන් තමන්ගේ ආදරය කෙළවර කර ගන්නවා.

 

4. ඓශ්වර්යා රායි සහ අභිෂේක් බච්චන්

ඇය තමන්ගේ රූපශ්‍රීයෙන් මුළු ලොවම වසඟයට ගත් තැනැත්තියක්. ඔහු බොලිවුඩ් සිනමාවේ ප්‍රබලම පවුලේ උරුමක්කාරයා. ඒ කාලයේ ඔහු සිටියේ කරිෂ්මා කපූර් සමග ඔහුගේ පැවැති විවාහ ගිවිසුම කරිෂ්මාගේ පාර්ශවයෙන් කඩකිරීම සම්බන්ධයෙන් ඇතිවූ සිත් වේදනාවෙන්. ඇය සිටියේ සල්මන් ඛාන් සමග පැවති පෙම් සබඳතාව බිඳී යෑම සහ ඔහුගෙන් එල්ල වුණු අපහසුතා පිළිබඳව කනස්සල්ලෙන්. අවසානයේදී දෙදෙනා තමන්ගේ සමානකම් නිසා එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් බැඳුණා. ඓශ්වර්යා අභිෂේක්ට වඩා වසර දෙකක් වැඩිමල් වුවත් එය තමන්ගේ විවාහයට බාධාවක් කරගත්තේ නෑ. අද වන විට සුරතල් දියණියකගේ දෙමව්පියන් වන ඔවුන් දෙදෙනා ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා.

 

5. ඓශ්වර්යා සහ ධනූෂ්

මේ තවත් ඓශ්වර්යා  කෙනෙක් . ඉස්සෙල්ලා කියපු අයිශ්වර්යා විවාහ වෙන්නේ සිනමාවේ ප්‍රබල පවුලකින්, නමුත් මේ අයිශ්වර්යා අයිති වෙන්නේ සිනමාවේ ප්‍රබලතම පවුලකට. ඇය සුපිරි දකුණු ඉන්දීය නළු රජිනි කාන්ත්ගේ දියණිය. ඇය විවාහයට තෝරා ගන්නේ එවකට නැගී එන දකුණු ඉන්දීය නළුවෙකු වන ධනුෂ්. ඒත් ඔහු මල්ලි කෙනෙක්.අයිශ්වර්යාට වඩා ඔහු  අවුරුදු දෙකක් බාලයි

 

6. සුනිල් දත් සහ නාර්ගීස්

මේ ලැයිස්තුවට ඇතුළත් කරන අද ජීවත් නොවන එකම යුවළ තමයි සුනිල් දත් සහ නාර්ගීස්.

ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි මේ පෙම් සබඳතාවය ඇරඹෙන්නේ ජීවිත පරිත්‍යාගයකින්. “මදර් ඉන්දියා” චිත්‍රපටයේදී නාර්ගීස් ගින්නකට මැදිවෙනවා. එවකට නැගී එන නළුවෙකු වුණු සුනිල් දත් තමන්ගේ හිතේ හිටපු සිහින දෙව්දුව බේරගන්න ගින්නට පනිනවා. නාර්ගීස්ට තුවාලයක් සිදු නොවුණත් සුනිල් දත් සුළු තුවාල ලබනවා. මේ සිදුවීමෙන් පස්සේ නාර්ගීස් තමන්ට වඩා වසරක් බාල මේ මල්ලිට ආදරය කරන්න පටන් ගන්නවා. ඔවුන් දෙදෙනා අතර හුවමාරු වුණු පෙම් පත්වල ඔවුන් දෙදෙනා අතර පැවැති දැඩි ආදරය ගැන සාක්ෂි රැසක් හමු වෙනවා. අවසානයේදී ඔවුන් විවාහ වෙනවා. සුපිරි බොලිවුඩ්  නළු සංජය දත් ඔවුන් දෙදෙනාගේ පුත්‍රයා.

 

7. මාලිනී ෆොන්සේකා සහ ලකී ඩයස්

ලංකාවෙත් අක්කා මල්ලි විවාහ ගොඩක් සිද්ද වෙලා තිබ්බත් අපේ මේ ලිපියට ඇතුළත් කරන එකම විවාහය තමයි මේ. අපේ නිළි රැජන විදිහට සලකන මාලනී ෆොන්සේකා මහත්මිය තමන්ගේ ජීවිත කාලය පුරාවටම විවිධ පෙම් සබඳතා බිඳී යෑම නිසා සිත් තැවුලෙන් කාලය ගත කරද්දි ඇයට මුණ ගැසෙනවා එක්තරා තරුණයෙක්. ඔහු නමින් ලකී ඩයස්. ඔහු ඇයට වඩා වසර හතරක් බාල වුණත් ඔවුන් දෙදෙනා විවාහ වෙන්න තීරණය කරනවා. ලකී ඩයස් කියන විදිහට මුල් කාලයේ ඉඳන්ම මේ විවාහය තුළ විවිධ ගැටුම් ඇති වෙනවා. නමුත් ඔහු වයස් පරතරය නම් ඒ ගැටුම් වලට හේතු වුණා කියලා කියන්නේ නෑ. මේ විවාහය අවුරුදු 12ක් පමණ කාලයක් පැවතුණත් අවසානයේදී දික්කසාදයකින් කෙළවරට පත් වෙනවා.

එහෙමනම් ඔයාලත් දන්න කියන අක්කා මල්ලි විවාහ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ බෙදාගන්න වගේම දන්න කියන අයව ටැග් කරන්නත් අමතක කරන්න එපා.

zvr
Your Reaction

Comments