ඇල්කොහොල් පරිහරණය නැවැත්වීමේ වාසි 7ක්

ඇල්කොහොල් භාවිතය අතින් ඉහළින් ඉන්න රටක් විදියට අපේ උන්දැලට ඇල්කොහොල් බොන්නෙපා කියල වැඩක් නැහැ​නෙ. නමුත් කියන දේ අහල හැදෙනවනං මේ කියන්න යන්නෙ ඇල්කොහොල් මිශ්‍රිත මත්ද්‍රව්‍ය පානය කිරීම නවත්වන එකෙන් අපේ සිරුරට සහ අපිට සිද්ධ වෙන වාසි කිහිපයක් ගැනයි. බොන එකේ ආතල් එක බොන සුද​නෝ මිසක් නොබොන අනුවණ දනෝ නොදනිත් වගේ කතා කියාගෙන එන්නෙපා. බොන එක කොච්චර ආතල් එකක් වුනත් ඒ ආතල් එක නැවැත්තුවොත් අපිට මෙන්න මේ කියන වාසි 7ම අත්විඳින්න පුළුවන්. ඒක ලොකු දෙයක්. ඒ නිසා ඒ වාසිය හිතට ගන්න. මොළේ කල්පනා කරලා වැඩ කරන්න.

 

1. සිරා නින්දක්

Image Source – mensjournal.com

බිවුවම අපිට දැනෙන විදියට අපිට සිරා නින්දක් ලැබෙනවානෙ. සාමාන්‍යයෙන් කියන විදියට නං බීපු ගමන් හොඳට නින්ද යනවා. ඒ වගේම බීලා නින්දට වැටුණු ගමන්ම අපිව ඩීප් ස්ලීප් එක නොහොත් ගැඹුරු නින්දටත් වැටෙනවානෙ. අන්න එතනිං පස්සෙයි කෙළිය පටන්ගන්නෙ. ඇත්තටම එතනින් පස්සෙ ඇල්කොහොල් විසින් නින්දේ සුවතාවය උදුර ගන්නවා. ඇඳ පුරා ඇඹරි ඇඹරි වතුර තිබහා වෙවී, දාඩිය දදා තමයි ඉන්න වෙන්නෙ. ඒක පුරස්නයක්. මේකෙන් මනසේ ඩෙල්ටා ඇක්ටිවිටියට බාධා කරනවා කියලයි කියන්නෙ. සරළව කිවුවොත් ඩෙල්ටා ඇක්ටිවිටි කියන්නෙ මනස අලුත් දේ ඉගෙනගන්නට සහ මතකය අවදි කරවන්නට සිදුකරන ක්‍රියාවලියක්. ඒ වගේම ටික වෙලාවකට පස්සෙ ඇල්කොහොල් විසින් ඔබව ගැඹුරු නින්දෙනුත් මුදවන නිසා වැඩේ අසාර්ථකයි. අන්න ඒ නිසාම ඇල්කොහොල් පානය නොකිරීම ඔබට වාසියක් වෙනවාමයි.

 

2. කුඩා රාත්‍රී ආහාරයක්

Image Source – greatist.com

පර්යේෂණවලින් හොයාගෙන තියෙන දෙයක් තමයි ඇල්කොහොල් පානය කරන අය රාත්‍රී ආහාරය විදියට වෙනදාට වඩා සියයට තිහක් වැඩිපුර ආහාර ලබාගන්නවා කියන දේ. ඒකෙ තියෙනවා අවුලක්. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන කතාව තමයි රෑට අඩුවෙන් කන්න කියන එක. ඒක බඩ එන නිසාම කියන කතාවක් නෙමෙයි. දිරවීමේ අපහසුතා ඇතුළු නොයෙක් කතා නිසායි ඒ දේ ඒ විදියට කියන්නෙ. මේක රෑට වයින් වීදුරුවක් බොන ෆිගර් එක ගැන හිතන ගෑනු දැරිවියන්ටත් වැදගත්. සාමාන්‍යයෙන් ඇල්කොහොල් පානයෙන් පස්සෙ කෑමවල සුවඳ වඩා සිත ඇදෙන සුළු විදියට දැනෙන බවයි අපි මුළින් දක්වපු පර්යේෂණවලින් හේතු විදියට හොයාගෙන තියෙන්නෙ.

 

3. කැලරි අඩුවෙන්

Image Source – medicalnewstoday.com

අපිටත් නොදැනිම අපේ දෛනික කැලරි පරිභෝජනය ඉහළ දාන්නට ඇල්කොහොල්වලට හැකියාව තියෙනවා. පිරිමියෙක් සාමාන්‍යයෙන් ඩ්‍රින්ක් එකක් දාන දවසට (කුදාර් වෙන්න ගසන දිනයට නොව) අමතර කැලරි 450ක් පමණ සිරුරට එකතු කරගන්න බවයි පර්යේෂකයන් කියන්නෙ. ඇල්කොහොල්වල කැලරි ප්‍රමාණය ඉහළයි වගේම එහි තියෙන අවුල වෙන්නේ ඒ කැලරි හිස් වීමයි. බිව්වම මහත් වෙනවා කියලා කෙලින්ම කියන්න බැරි වුනත් අධික ස්ථුලතාවයට ඇල්කොහොලුත් හේතුවක් බව පැහැදිලියි. අන්න ඒ නිසා අඩියක් ගහලා සැපේ ඉන්න ඇඟ මහත, කෙට්ටු වෙන්න හිතන කෙනෙක් මුලින්ම කරන්න ඕන දේ තමයි අර කිවුව අඩිය නොගහා සැපේ ඉන්න හිතන එක.

 

4. හාට් ඇටෑක් අවදානම අඩු කරවයි

Image Source – sydney.edu.au

සාමාන්‍යයෙන් අධික ලෙස ඇල්කොහොල් පානය කරන්නෙකුගෙ හෘදය වස්තුව ෆේල් වෙන්න තියෙන අවදානම සාමාන්‍ය කෙනෙකුගෙන් දෙගුණයකටත් වඩා වැඩි බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මේ වන විට මිය යන ඇමරිකානුවන්ගෙන් 4න් 1ක්ම ඇල්කොහොල් අධික පරිභෝජනය හේතුවෙන් මිය යන බවයි ඔවුන් පවසන්නේ. මේ මරණයන්ට මූලිකම හේතුව විදියට සඳහන් වෙන්නේ ඇල්කොහොල් භාවිතයයි. ඇල්කොහොල් පානයෙන් රුධිරයේ ​මේද ප්‍රමාණය ඉහළ නංවනවා. මේක කොලෙස්ටරෝල් රෝගයේ නරක අවධියකට සිරුර ගෙන යා හැකි තත්ත්වයක්. ඒ වගේම අපේ උන්දැලා තෙල් බේරෙන්න මස් සහ අල වගේ දේවල් බැදගන්න නිසාත් මේක ටිකක් නරකට හැරෙන වේගෙ වැඩියි. අපි සුද්දො වගේ කජ්ජක් හපලා ඉන්නැහැනෙ ආයිබොවන්.

 

5. පිරිසුදු සමක්

Image Source – wellnessfit.org

සාමාන්‍යයෙන් හමට ජලය උරාගැනීමට උදවු කරන හෝමෝනයන් නිපදවීම බිඳවට්ටන ඇල්කොහොල් නිසා හමට හානියක් වෙන බව අහන්නත් දෙයක් නෙමෙයි. ඒ වගේම ඇල්කොහොල් පානය ඔබට මූත්‍රා කරන්නට ඇති අවශ්‍යතාවය ඉහළ නංවනවා. මේ නිසා සිරුර ඉතා ඉක්මනින් විජලනයට ලක්වෙනවා. මේ තත්ත්වය නිසාම ස​මේ තෙතමනය පහත බැසීම සිදුවෙනවා. මේ තත්ත්වයෙන් නිරෝගී සහ ප්‍රසන්න සමක් පවත්වාගන්න අපහසු වෙනවා. ඒ වගේම ඇල්කොහොල් මගින් ශරීරයේ සෛල වයසට යවන බවත් පැවසෙනවා. එහෙම වෙද්දි පෙනුම අවලස්සන වෙන නිසාම ඇල්කොහොල් නැවැත්තුවට පස්සෙ හමට අමුතු එළියක් එකතු වීම වළක්වන්නට බැහැ.

 

6. සල්ලි ඉතුරුයි

Image Source – thelendersnetwork.com

අරක්කු නැවැත්වීමේ හොඳම වාසිය කියන්නෙ දැන්. සල්ලි ඉතුරු වෙනවා ලොකුවටම. දැන් කාලෙ ආණ්ඩුවට පිං සිද්ධ වෙන්න සාමාන්‍යයෙන් දෙන්නෙක් එකතු වෙලා ෂේප් තැනක ඉඳන් ෂේප් ​බෝතලයක් බීලා ෂේප් බයිට් එකක් කාලා එන්න එක්කෙනෙකුට රුපියල් දෙදාස් පන්සීයක්වත් දාන්න වෙනවා. මේ වගේ ෂේප් ඩ්‍රින්ක්ස්වලට අමතරව, ගෙදර තියාගන්න පොඩි ෂොට් එකක්, වයිෆ් එක්ක බොන වයින් එකක්, හදිසියේ මිතුරන් දැක අඬගැහුවම බියර් පාටියක් ඇතුළුව නාගසලං වෙන්න ගසන දවස් ගැන හිතුවොත් මාසෙකට රුපියල් 15,000-20,000ක් අතරේ මුදලක් අරක්කුවලට වියදං කරන්න සිද්ධ වෙන එක අපිටම අදහාගන්න බැරිවුනත් එහෙම්ම තමයි. නිකමට හිතන්නකො මාසෙකට පාරක් ලොතරැයි නොගෙනම රුපියල් 20,000ක් ඇදුනම තියෙන සනීපෙ.

 

7. පිළිකා අවදානම ඉවතට

Image Source – familydoctor.org

මොන ලෙ​ඩේට බය නැති මිනිහත් හොඳටම බය ලෙඩක් තමයි පිළිකාව කියන්නෙ. ඒ ඇයි? පිළිකාවක් හැදුනම විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවා, සනීප කරගන්නත් අමාරුයි, දුක් විඳින්න සිද්ධ වෙනවා, එකපාරින්ම මැරෙන්නෙත් නෑ, විඳවමින් ඉන්න වෙනවා, පෙනුම වැහැරෙනවා, ලඟ ඉන්න අයත් දුක් විඳිනවා. මේ ප්‍රශ්න නිසාම පිළිකාවක් කියන්නෙ ලංකාවෙ සමාජය අනුව හතුරෙකුටවත් හැදෙන්න හොඳ නැති දෙයක්. ඇල්කොහොල්මය බීමවල අඩංගු එතනෝල්වලින් තමයි මේ සිද්ධිය සිද්ධ වෙන බව කියන්නෙ.

ඉතිං මත් වෙලා සැප ගන්න බලාගෙන මේ වාසි ටික නැති කරගන්න ඕන නැහැනෙ ආයුබොවන්ඩ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *