උයන පිහන ගෘහණියන්ට කුස්සියේදී නිතරම එන පොඩි පොඩි ගැටළු 10කට අපෙන් පිළිතුරු

කුස්සියේ වැඩ කරද්දි පුංචි පුංචි ජරමර වලට අපි හැමෝටම මුහුණ දෙන්න වෙනව. අද අපි මේ අරන් ආවෙ එහෙම පොඩි පොඩි කුස්සි ජරමර වලට පිළිතුරු ටිකක්. සමහර දේවල් නම් අපෝ ඕකත් මහ දෙයක්ද කියල හිතුනට කරන්න ගියාම අනාගන්නව. ඔය බටර් කේක් හැදිල්ලත් ඒ වගේ. කියවලම බලන්නකො මේ ටිප්ස් ටික දැනගෙන ඉන්න එක ඔයාලටත් කවද හරි වැදගත් වේවි.

 

1. කට්ලට් මැලවෙන්නෙ නැතුව, කැඩෙන්නෙ නැතුව හදාගන්නෙ කොහොමද?

Image Source – kitchensimmer.com

කට්ලට් හදනව කියන එක වෙලාව ගතවෙන වැඩක්. ඒ නිසා කලින්ම හදල තියන කට්ලට් ටික කෑම මේසෙට එද්දි මැලවිලා. එහෙම නැත්නම් බදින්න ගත්තු වෙලේ ඉඳන් පුපුරනව, කැඩෙනව. මෙන්න මේ අවුල් දෙකම නැතුව කට්ලට් ටිකක් ලස්සනට හදන්න නම් මේ පොඩි ටිප්ස් දෙක මතක තියාගන්න.

  • පිටි බැටර් එකේ දැම්මත් බිත්තර සාරු වල දැම්මත් කට්ලට් එක අනිවාර්යෙන් ඩබල් කෝට් කරන්න. ඒ කියන්නෙ දෙපාරක් පාන්කුඩු තවර ගන්න.
  • කට්ලට් ටික අවශ්‍ය දවසට කලින් දවසෙ හදල එකට එකක් ඇලෙන්නෙ නැතිවෙන්න ලන්ච් ශීට් වලින් වෙන් කරල අසුරල ෆ්‍රීසර් එකට දාන්න. පිළිගන්වන්න ටික වෙලාවකට කලින් ෆ්‍රීසරෙන් අරන් එහෙම්ම බදින්න. අයිස් යන්න තියන්න ඕන නෑ. වෙනදට වඩා වැඩි වෙලාවක් ක්‍රිස්පි ගතිය තියාගන්න පුළුවන් වගේම බදින කොට කැඩෙන්නෙත් නෑ.

 

2. බාස්මතී බත් බෙරි නොවෙන්න උයාගන්නෙ කොහොමද?

බාස්මතී හාල් එක එක වර්ගෙන් වෙළඳපොළේ තියෙනව. පකිස්තාන් බාස්මතී, ඉන්දියන් බාස්මතී සහ ලෝකල් බාස්මතී. පකිස්තාන් සහ ඉන්දියන් බාස්මතී වර්ග දෙක තමා හරි විදියට උයා නොගත්තොත් ඉක්මනින්ම බෙරි වෙන්න බලන්නෙ. ලංකාවෙ බාස්මතී එක අනික් වර්ග දෙක තරම් හාල් ඇට දිග පහසුවෙන් බෙරි වෙන හාලක් නෙවෙයි.

  • පකිස්තාන් සහ ඉන්දියන් බාස්මතී උයන කොට හාල් සෝදල වතුර ටික බේරල විනාඩි 15ක් පෙඟෙන්න අරින්න. ඊට පස්සෙ හාල් කප් 1ට වතුර කප් 1 1/4ක් වෙන්න වතුර තියල බත උයාගන්න. ෆ්‍රයිඩ් රයිස් එහෙකට වගේ නම් තෙල් ටිකක්, ලුණු ටිකක් දාලම බත උයාගන්න.
  • ලෝකල් බාස්මතී එකත් කලින් වගේම පෙඟෙන්න තියල හාල් කප් 1ට වතුර කප් 1 1/2ක් වෙන්න තියන්න.

 

3. ආප්ප සෝඩා/ බේකින් සෝඩා/ බේකින් පවුඩර් වල වෙනස මොකක්ද?

Image Source – worthcooking.net

ආප්ප සෝඩා එහෙමත් නැත්නම් බේකින් සෝඩා කියන්නෙ සෝඩියම් බයිකාබනේට්. මේ නම් දෙකෙන්ම හඳුන්වන්නෙ එකම දේ. සිල්ලර කඩ වල ආප්ප සෝඩා කියල විකුණන දේටමයි බේකින් සෝඩා කියන්නෙත්. විවිධ රෙසිපි වල ඔය නම් දෙකම පාවිච්චි වෙන නිසා පැටළිලි සහගතයි බොහෝ දෙනෙක්ට.

බේකින් පවුඩර් කියන්නෙ බේකින් සෝඩා නෙවෙයි. සෝඩියම් බයිකාබනේට් සහ ක්‍රීම් ඔෆ් ටාටාර් වල එකතුවක්. සාමාන්‍යයෙන් කේක් වලට පාවිච්චි කරන්නෙ බේකින් පවුඩර්.

 

4. කරවිල තිත්ත නැතුව උයන්නෙ කොහොමද?

Image Source – aththammageathbeheth.blogspot.com

එක එක පළාත්වල එක එක ක්‍රම මේකට පාවිච්චි කරනව. සමහරු කියනව කතා නොකර කපන එකෙන් තිත්ත නැති වෙනව කියල. මේන්න මේ ටික කරල බලන්නකො කරවිල වල තිත්ත නැතුව උයන්න. කරවිල හොද්ද ඒදල ලිපේ තියන්න කිට්ටු කරලම කරවිල ටික කපන්න ගන්න. ඒ කියන්නෙ උයන්න ඕන ළූණු, සුදුළූණු අනන් මනන් ඔක්කොම කපාගෙන අන්තිමට කරවිල ටික කපන්න. කරවිල තැම්බෙන්න තියන කොට පොල් වතුරෙන් තම්බ ගන්න එකෙනුත් තිත්ත රසය අඩු කරගන්න පුළුවන්.

 

5. කෑමකට ලුණු වැඩි උනොත්?

හොදි හදන එහෙකට ලුණු වැඩි උනොත් අමු අල පෙති කීපයක් දැම්මම ලුණු රස අඩු වෙනව. ළූණු තෙල් දැමිල්ලකට ලුණු වැඩි උනොත් තව ළූණු ටිකක් කපල එකතු කරගන්න. ෆ්‍රයිඩ් රයිස් එහෙකට, කහ බතකට ලුණු වැඩි උනොත් අමු අල පෙති කීපයක් බත් එකේ තැනින් තැනට ගහල ලන්ච් ශීට් එකකින් හොඳට කවර් කරල වහල තියන්න.

 

6. ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම් කිව්වට පුළුවන්ද?

ඉඳල හිටල බතට වතුර මදි වෙලා බත ඇට්ටකුණා එහෙම නැත්නම් අමු වෙනව. එහෙම වෙලාවට බත් එක හොඳට කූරු ගාල, උණු වතුර ටිකක් ඉහල, හැන්දකින් බත්ටික තද කරල, කෙසෙල් කොළයක් හරි ලන්ච් ශීට් එකක් හරි කවර් කරල තව ටික වෙලාවක් අඩු ගින්දරේ බත් එක පිසගන්න. රයිස් කුකර් එකේ නම් කීප් එකෙන් කුක් මෝඩ් එකට දාන්න.

 

7. කේක්/ වටලප්පන්/ පුඩින් වල පිළී ගඳ නැති වෙන්න හදන්නෙ කොහොමද?

Image Source – hungryforever.com

සමහරු කේක්, පුඩින්, වටලප්පන් එහෙම කන්න අකමැති පැණි රසට කැමති නැති නිසා නෙවෙයි, ඒවායින් එන බිත්තර පිළී ගඳට අකමැති නිසා. ගෙදරදී මේ දේවල් හදන කොට මෙන්න මේ ටිප් එක ඔයාලට වැදගත් වෙයි. ඔය මොන දේ හදන්නත් බිත්තර ගන්න කොට බිත්තරේ කහමදය අයිනේ තියෙන ඝණ සුදු පාට කොටස ඉවත් කරගන්න. ඒකෙන් තමා පිළී ගඳ එන්නෙ. බිත්තර ලොකු ප්‍රමාණයක නම් එකින් එකට අමාරු නිසා බිත්තර සේරම ගෑරප්පුවකින් ටිකක් ගසාගෙන යකඩ දැල් සහිත සිදුරු සිහින් පෙනේරයකින් පෙරාගන්න. බිත්තරේ ඝණ කොටස පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්.

 

8. පෙඟෙන්න දාන්න අමතක උන කඩල පහසුවෙන් තම්බගන්න පුළුවන්ද?

දාහකුත් එකක් වැඩ අස්සෙ පහුවදා උදේට පොඩ්ඩොන්ට ඉස්කෝලෙ ගෙනියන්න තම්බන්න හිටපු කඩල ටික පෙඟෙන්න දාන්න අමතක උනොත් එදාට කඩෙන් තමයි කන්න වෙන්නෙ. ප්‍රෙශර් කුකර් එකක් තියෙන කෙනෙක්ට නම් ඉක්මනින් තම්බ ගන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් නම් කඩල වලට බේකින් සෝඩා එහෙම නැත්නම් ආප්ප සෝඩා ටිකක් එකතු කරල තම්බගන්න. පෙඟෙන්න තිබ්බෙ නැතත් පහසුවෙන් තම්බගන්න පුළුවන්.

 

9. කේක් එක මැද අමුයි, මැදින් බහිනව, උඩින් පැලෙනව ඇයි ඒ?

Image Source – mycookingjourney.com

බටර් කේක් එකක් හදාගන්න ගියාම ගොඩ දෙනෙක්ට මතු වෙන ප්‍රශ්න ටිකක් මේ. මේ ටිකට හේතු කීපයක්ම බලපානව. මේ දේවල් ටික ගැන සැලකිලිමත් උනොත් මේ ප්‍රශ්න නැතුව කේක් එකක් හදාගන්න පුළුවන්.

  • ගන්න බේකින් පවුඩර් හුළං වැදිලද පරණ වෙලාද කියල බලන්න. එහෙම උනොත් කේක් එක පිපෙන්නෙ නෑ. මැදින් බහිනව. මැද අමු වෙනව.
  • බේකින් පවුඩර් පාවිච්චි කරන ප්‍රමාණ වැඩි උනොත් හරි කේක් තැටිය කේක් එකේ ප්‍රමාණයට මදි නම් හරි කේක් එක උඩින් පැලෙන්න පුළුවන්.
  • බටර්, බිත්තර සහ සීනි මිශ්‍රණය පමණට වඩා බීට් උනොත් කේක් එකේ තෙල් ගතියක් මතු වෙන්න පුළුවන්.
  • හැමවිටම කේක් එකක් බේක් කරන කොට අවන් එක උඩ සහ යට කොයිල් දෙකම රත් වෙන්න දාන්න. කේක් එක අවන් එකේ මැද රැක් එකෙන් දාන්න. පළවෙනි විනාඩි 20 පහු වෙනකම් අවන් එක දොර ඇර ඇර බලන්නත් එපා. ඒකෙන් වෙන්නෙ කේක් එක බහින එක.
  • නියමිත උෂ්ණත්වයට අවන් එක විනාඩි 10-15ක් ප්‍රී හීට් වෙන්න දාන්න. මේ කියන දේවල් හරියට කරගත්තොත් උඩින් කිව්ව ප්‍රශ්න ටික නැතුව ඔයාලට ලස්සන කේක් එකක් හදාගන්න පුළුවන්.

 

10. බනිස් කියල හැමදාම හදන්නෙ ගල් බනිස්ද?

බනිස් හදන්න ගියොත් හදන්නෙම ගල් බනිස් නම් මෙන්න මේ ටිප්ස් ටික ඔයාලට වැදගත් වෙයි.

  • ගන්න යීස්ට් පරණ වෙලාද හුලං වැදිලද කියල බලන්න. ලා රස්නෙ වතුර ටිකකට යීස්ට් ටිකක් දාල පිපෙනවද කියල බලන්න. ක්‍රියාකාරී වෙනව නම් යීස්ට් පරණ නෑ.
  • බනිස් අනන්න ගන්න කිරි හෝ වතුර ලා රස්නෙන් ගන්න. ඒ කියන්නෙ බබෙකුට දෙන කිරි තරම් මද උණුසුමක් ඇතුව ගන්න. රස්නය වැඩි උනොත් යීස්ට් වල ක්‍රියාකාරිත්වයට බාධා වෙනව.
  • හොඳින් පිටි මෝලිය අනාගන්න. අඩුවෙන් ඇනුවොත් බනිස් සොෆ්ට් එකට එන්නෙ නෑ.
  • පිටි මෝලිය පිපෙන්න තියන්න ඕන උණුසුම් තැනක. සීත දේශගුණයක් කාලගුණයක් තියෙනව නම් යීස්ට් වල ක්‍රියාකාරිත්වයට කරදරයි. එහෙම වෙලාවක උණු වතුර භාජනයක් අවන් එක ඇතුළෙන් තියල පිටි මෝලිය අවන් එක ඇතුළෙන් තියල වහන්න. අවන් එක ඔන් කරන්න නම් එපා ඔන්න.
zvr
Your Reaction

Comments