5G එන්න ගොඩක් කල් යන්නේ ඇයි?

පරම්පරාව කියන එකට ඉංගිරිසියෙන් කියන්නේ ජෙනරේශන්. 5G කියන්නේ 5 වැනි පරම්පරාව. දැනට 4G දුරකථන ජාල ලෝකය පුරා ජනප්‍රිය වෙලා තියෙනවා. 5G කියන්නේ එතනින් එහාට පැතිරුණු ටිකක් ප්‍රබල සංකල්පයක්. දැනට කොරියාවේ, ඇමරිකාවේ, චීනයේ එහෙම 5G සාර්ථකව අත්හදා බලමින් යනවා. ලංකාවෙත් මොබිටෙල් සහ ඩයලොග් සමාගම් දෙක අප්‍රේල් මුලදී 5G පහසුව මුලින්ම නිකුත් කළා.

 

1. 5ජී වල මොකද්ද අමුත්ත?

Image Source – technofaq.org

4ජී වල 150 Mbps දක්වා උපරිම වේගයකින් දත්ත හසුරුවන්නට හැකියාව තියෙනවා. 5ජී වෙද්දි ඒ අගය ගිගාබිට් පර් සෙකන්ඩ් එනම් Gbps දක්වා වැඩිවෙනවා. දැනට මිලිසෙකන්ඩ් දෙසීයක විතර ලේටන්සි එකක් 4ජී නෙට්වර්ක් වලත් තියෙනවා. ලේටන්සි කියන්නේ සරලවම අපි යමක් ජාලය හරහා කරද්දි ප්‍රතිචාර දක්වන්න යන කාලය. මේ ලේටන්සි ඉතාම අඩු අගයකට 5ජී වලදි අඩු වෙනවා. එතකොට අපිට ඉතාම ඉක්මනින් ජාලය එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව ලැබෙනවා.

ඊට අමතරව 5ජී අමුත්තාගේ තියෙන අලුත්ම විශේෂාංගය තමයි තවත් ඩිවයිස් එක්ක ගනුදෙනු කරන්න තියෙන හැකියාව. ඉදිරියේදී රියදුරු රහිත කාර් එනවා, දුරබැහැර සිටන් ශල්‍යකර්ම කරන ඉස්පිරිතාල එනවා, තවත් තැනකින් ඔපරේට් වෙන ෆැක්ටරි එනවා. ඒ වගේ දේවලට අවශ්‍ය ජාල පහසුව වයර්ලස් තාක්ෂණයෙන්ම ලබාදෙන්න 5ජී සැදී පැහැදී සිටිනවා. ඒ වගේම 5ජී ආවට පස්සෙ ඩ්‍රෝන තාක්ෂණයෙනුත් මීට වඩා වැඩ ගන්න පුළුවන් වේවි කියලා කියනවා.

 

2. 5ජී වල දුබලකම්

Image Source – bgr.com

5ජී වල එකපාර ඩේටා විශාල ප්‍රමාණයක් හසුරුවනවා. ඔයාලට මතක නම් 4ජී ලංකාවට එද්දිත් ටවර් කලින්ට වඩා කිට්ටුවෙන් තියෙන්න ඕනාය කියලා කියවුනා. ඒ වගේම ලංකාවෙත් 4ජී හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් දීපු මුල් කාලේ ටවර් එකේ ඉඳන් කිලෝමීටරයක් ඈතට වුනත් හරියට ජාල පහසුකම ලැබුනේ නැහැ. ඉතින් 5ජී වෙද්දි තත්ත්වය තව ටිකක් දරුණුයි. සමහර වාර්තා කියන විදියට 5ජී වලදි අදාළ ටවර් එක හෝ සිග්නල් ස්පොට් එකේ ඉඳලා මීටර පන්හයසීයක් ඇතුළේ තමයි 5ජී වල සිග්නල් පරාසය තියෙන්නේ. ඉතින් එතකොට ඉතාම ළඟ ළඟ අපේ ටෙලිෆෝන් කණු, උස ලයිට් කණු තියෙන දුරින් වගේ තියෙන්නට උවමනා කරනවා. ඒකට විශාල වියදමකුත් යනවා.

 

3. සෞඛ්‍යමය ගැටළු

3ජී 4ජී වලදි දත්ත එහෙ මෙහෙ ගෙනියන්න පාවිච්චි කරන්නේ එච්චර සැර නැති තරංග. තාක්ෂණිකව කිව්වොත් තරංග ආයාමය සෙන්ටිමීටර ගණන් වල තරංග තමයි 3ජී 4ජී වලදි අපේ ෆෝන් එකට ඩේටා එන්න පාවිච්චි වුනේ. ඒත් 5ජී වලදි ඊට වඩා බොහොම කෙටි තරංග පාවිච්චි වෙනවා. ඒ කියන්නේ ඒ තරංග වලින් මිනිසාට සහ කුරුල්ලන් ඇතුළු සතුන්ට වෙන්න පුළුවන් බලපෑම වැඩිවෙනවා. මේ ගැන තවමත් ලොව වටා පර්යේෂණ කරමින් යනවා.

 

4. වියදම

Image Source – stuff.co.nz

එක ස්පොට් එකකින් කවර් කරන්න පුුළුවන් වෙන්නේ මීටර 500ක දුරක් නම් නගරබද බිල්ඩින් වලින් වැහිල තියෙන තැන් කවර් කරන්න විශාල හොට්ස්පොට් තොගයක් ගහන්නට වෙනවා. ඒ වගේම ගෙවල් ඈතින් ඈතින් තියෙන ගම්බද පළාත්වලට කොයි කාලේ 5ජී දෙන්න ලැබේද කියලා ඇමරිකාව පවා සැක පහල කරනවා. කලින් වගේ ටවර් එකෙන් හැමදේම කරන්නේ නැතිව එක් විශාල ටවර් කිහිපයකින් කුඩා තැන් කිහිපයකට සංඥා බෙදාහැරීමෙන් 5ජී නෙට්වර්ක් එක නිර්මාණය කරනවා. මේකෙදි කලින්ට වඩා අවකාශයක්, සහ උපකරණ රැසක් අවශ්‍ය වෙනවා. ඒ නිසා 5ජී සෙට් කරන්න කලින් 4ජී සහ 3ජී ස්ථාපනය කරන්නට ගියාට වැඩි මුදලක් වියදම් වෙනවා.

 

5. දත්ත ආරක්ෂාව

Image Source – newsroom.intel.com

දැනට අපේ ෆෝන් එකේ සහ කම්පියුටරයේ තියෙන දත්ත මොබයිල් නෙට්වර්ක් එකක් හරහා හුවමාරු වෙනවා. 5ජී ආවම අපේ ගෙදර තියෙන උපකරණත් සම්බන්ධ වෙලා දැනට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් ජාලය හරහා හුවමාරු වෙනවා. මෙතැනදි අපේ දත්ත වල ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්නට ඕනා. යම් දේශපාලනික ගැටුම් සහ තාක්ෂණය වැඩිදියුණු නොවීමේ ගැටළු චීන හුවාවේ ආදී සමාගම් වලට තියෙනවා. මේ 5ජී තාක්ෂණයේ සෙකියුරිටි තත්ත්වය ගැන විශ්වාස නැහැ කියලා හුවාවේ සමාගමේ 5ජී වලට ඇමරිකාවෙන් වැට බැඳලා තියෙනවා. චීන හුවාවේ සමාගම එක්ක ඇමරිකාවට සෙකියුරිටි වලට වඩා වෙනත් ප්‍රශ්න තියෙනවා කියලත් ඇතැම් අය මත පළ කරලා තියෙනවා. කොහොම වුනත් මේ අලුත් ජාල පසුබිමේදි ජාල ආරක්ෂාව ගැන කතාබහ ඇතිවෙනවා. ඒ නිසාත් 5ජී එන්න හිතනවාට වඩා කලක් යාවි.

 

6. ඩිවයිස්

ලංකාවේ නම් තාමත් 4ජී වලටවත් හැමෝම මාරුවෙලා නැහැ. තවමත් 3ජී වලින් දත්ත පහසුව ලබාගන්න සුලු පිරිසකුත් ඉන්නවා. ඉතින් 5ජී ආවම ඒ පසුබිමට ගැලපෙන්න ඩිවයිස් අලුත් වෙන්නට ඕනා. පසුගිය සතියක ඇපල් සමාගමත් 5ජී වලට යන්න ප්‍රකට ක්වල්කොම් සමාගමත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා තිබුනා. ස්මාට් කාර් සහ වෙනත් උපාංග ගැන කියද්දිත් ඒවාත් 5ජී වලින් වැඩ කරන්න නම් ඒ හා සම්බන්ධ වෙන උපාංග තිබෙන්නට ඕනා. මේ උපාංග එක මට්ටමකට ඇවිත් අපේ අතට ලාබදායී ගණනකට මිලදී ගන්නට හැකි වෙන්නත් තව අවුරුද්දක් දෙකක් වත් යාවි. ඇත්තටම අයි ෆෝන් එක්ස් වගේ එකකට 5ජී ආවට අපේ රටේ වැඩිදෙනෙක්ට ඒවා පාවිච්චි කරන්න වත්කමක් නැහැ. ඇන්ඩ්‍රොයිඩ් මිඩ් රේන්ජ් ෆෝන් වලටත් 5ජී ආපු කාලෙක තමයි ඔන්න අපේ රටේ 5ජී ජාලයකින් නියම ඵල ප්‍රයෝජන ගන්න ලැබෙන්නේ.

 

7. අවශ්‍යතාවය

Image Source – defence.pk

ලංකාව ගනිමු. ලංකාවේ තවම රියදුරු නැති කාර් තියා හොඳ ඉවසිලිවන්ත රියදුරෙක්ට පවා සිහියෙන් පාරේ යන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. ඒ කියන්නෙ අපි ස්මාට් කාර් වලින් බොහෝ ඈත තමයි ඉන්නේ. විවිධ වැඩ කටයුතු වලට ඩ්‍රෝන පාවිච්චිය, කර්මාන්ත වලට 5ජී පාවිච්චිය වුනත් අපිට බොහෝම දුරයි. කොටින්ම අපේ පසුබිම අනුව තවත් දශකයක් විතර යනකල් අපේ රටේ මූලිකව ෆෝන් සහ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට තමයි ජාල පහසුව පාවිච්චි වෙන්නේ. ඉතින් මේ තියෙන තත්ත්වය අනුව අපේ මූලික දුරකථන සමාගම් කිහිපයම 4ජී වල උපරිම පහසුව රටේ වැඩිකොටසකට දෙන්න අසමත් වෙලා තියෙනවා. එතනින් එහාට ඇත්තටම 4ජී වලින් එහා ගිය වේගයක් අපේ රටේ පාරිභෝගිකයින්ට උවමනාවක් තියෙනවද කියලත් ගැටුමක් තියෙනවා. ඔය විදියටම ලෝකයෙත් විවිධ කතාබහ ඇතිවෙමින් තියෙනවා. ඇත්තටම අපිට 4ජී මදිද? නගරබද නම් හොට්ස්පොට් වලින් එන වයිෆයි ආදිය අපිට මදිද? ආදී කතා බහ ඇතිවෙලා තියෙනවා.

 

8. තාක්ෂණය මුලින්ම යොදාගැනීම

5ජී කියන්නේ විශාල පරාසයක වැඩිදියුණු වීමක්. අපේ රටත් ලෝකෙත් එක්ක යන්න මේ දියුණු තාක්ෂණ අවශ්‍ය වෙනවා. ඒත් මුලින්ම එන අත්හදාබැලීම් වලට අපි දායක වෙන එක අපිට වාසියක්ද කියලා නැවත නැවත හිතන්නට ඕනා. ඒ වගේම වියදම සහ තවමත් අලුත්වෙමින් යන තාක්ෂණය නිසා 5ජී ඇවිත් හරිහැටි පැලපදියම් වෙන්න තවත් අවුරුදු හතර පහක් යාවි කියලා තමයි අන්තර්ජාල ටෙක් වෙබ් අඩවි වලත් තියෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *