ඔෆිස් එකේ කරන්න වැඩ නැත්තං කරන්න පුළුවන් දේවල්

ඔයාටත් ඔෆිස් එකේ කරන්න වැඩ නැති වෙලාවට කරන්න දෙයක් හිතාගන්න බැරිද? ඇත්තටම අපි මේ කියන දේවල් කරන එක ඔයාලට ඒ මොහොත ගෙවාගන්න උදවුවක් වේවි. මොකද ඉතිං වැඩ නැති වෙලාවට සමලිංගික කපල් කසාද බැඳපුවා බලනවට වඩා ප්‍රයෝජනවත් දෙයක් කරන එක හොඳයිනෙ. මොකද ඒවා අපිට මැජික් වුනාට දියුණු ලෝකෙට මැජික් නෙමෙයිනෙ. ඒ වගේම ෆේස්බුක් එකට වෙලා ඉන්නත් එපා. නිකං මොකටද අනුන්ගෙ දුක් කරගහගන්නෙ. අන්න ඒ නිසා අපි මේ කියන වැඩ ටික කරන්න ට්‍රයි එකක් දෙන්න.

 

1. මේස පිළිවෙල

අපි වැඩ කරන තැන අනුව අපේ ඔලුවෙන් වැඩේට වෙන්වෙන මනසේ උපයෝගීතාවය වැඩි වෙනවා. ඒ නිසා අපිට කාර්යාලයේ විවේක පාඩුවක් තියෙන වෙලාවට වැඩ කරන තැන මේසෙ පිළිවෙල කර ගන්න එක වටිනවා. කී බෝඩ් එකේ තියෙන ප්‍රේස්ට්‍රි කෑලි හලලා, පරණ කොළ කෑලි විසික් කරලා, මොනිටරේ සුදු පින්තූර දුඹුරු පාට වෙනකං බැඳිච්ච පැල්ලං මකලා, ඩෙස්ක් ඕගනයිසර් හරි විදියට තියලා, ඔයා බුදුන් වහන්සේගෙ පිළිම, යේසුස්වහන්සේගෙ පිළිම එහෙම තියාගෙන ඉන්නවානම් ඒවත් පිහිදලා, පවුලේ පින්තූර පිරිසුදු කරලා වටපිටාව ලස්සනට තියාගන්න.

 

2. රස්සාවට අදාළ වීඩියෝ

රස්සාව කියන්නෙ අපි කන්න බොන්න සල්ලි හොයාගන්න වැඩේනෙ. එහෙම දෙයක් වෙනුවෙන් යම් කාලයක් ආයෝජනය කළාට කිසිම පාඩුවක් නෑ. ඒ නිසාවීඩියෝ එකක්, උපයෝගීතාවය වැඩි කරගන්න, තවතවත් දැනුම පුළුල් කරගන්න, කෙටි ක්‍රම හොයාගන්න, රස්සාවට අදාළ වීඩියෝවක් දෙකක් බලන්න. ඔබේ රැකියා ක්ෂේත්‍රයට අදාළ වීඩියෝ ව​ගේම වෙබ් අඩවි ලිපිත් බොහෝවිට අන්තර්ජාලයේ තිබෙන්නට හැකි නිසා ඒ වෙනුවෙන් ඔබේ විවේකී කාලය යොමු කරන්නට ඔබට හැකියි.

 

3. ඔලුව රිලැක්ස් කරගන්න

එක දිගටම වැඩ කරලා පොඩි විවේකයක් ලැබුනාම හිත නිදහස් කරගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න. ඕනම මනසකට සල්ලි වෙනුවෙන් වුනත් වෙහෙසෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙන නිසා ඒ වෙහෙස නිවන නිදහසක් ඔබේ මනසට දෙන්න. ඔලුව නිදහස් කරගන්න කෙටි නින්දක් නිදන්න ඔබට හැකියාවක් තියෙනවා. ඒ වෙනුවෙන් ඇඳක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. නැතිනම් කෙටි වෙලාවක් මනස සැහැල්ලු කරන භාවනාවක නියැලෙන්න වගේම ඔබ ප්‍රියකරන ගීතයකට සවන් දෙන්නටත් හැකියාව ඔබට තියෙනවා.

 

4. ආයෙ එන වැඩවලට පෙර සූදානමක්

දැන් ඉතිං වැඩ ඉවර වුනා කියල ආයෙ වැඩ එන්නෙ නැතුව තියෙන්නෙ නැහැනෙ. ආයෙත් වැඩ එනව. අද නැතත් ආයෙ හෙට වැඩ එනව. එනිසා ඒවාට සූදානමක් තියාගෙන ඉන්න එක හොඳයි. සූදානමක් කියන්නෙ ඉතිං ​වර්ඩ් ඩොකියුමන්ට් ඕපන් කරගෙන ඉන්න එක නෙමෙයි. මේ කියන්නෙ ඊළඟට එන වැඩවලට ඕන කරන දත්ත ළංකරගෙන ෂේප් එකේ හදාගන්න. එතකොට ඉතිං වැඩ ආවම කරන්න ලේසියි. ඒ කියන්නෙ ඉක්මනින් වැඩ ඉවර කරගන්න පුළුවන් සහ ආයෙත් නුදුරේදීම කෙටි විවේක කාලයක් ලබන්න පුළුවන් කියන එක.

 

5. හාෆ් ඩේ

ඔෆිස් එකේ වැඩක් නැත්තං, කරන්න අලුතෙන් දෙයක් හිතෙන්නෙත් නැත්තං, නිකං කාලෙ කකා ඔෆිස් එකේ ඉන්නැතුව යන්න ගෙදර හාෆ් ඩේ එකක් දාලා. ගෙදර ගිහින් නින්දක් ගැහුවත් පාඩු නැහැනෙ. එහෙමත් නැත්තං යන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ගමනක්. අඩු තරමෙ අම්මලාව කෑම ටිකක් කන්න අලුත් රෙස්ටුරන්ට් එකකට එක්කගෙන යන්න. හාෆ් ඩේ එකක් දැම්මා කියල ඔෆිස් එකට පාඩුවකුත් නැහැ. නිකං ඔෆිස් එකේ ඉන්න එකනෙ.

 

6. තවකෙකුට උදවුවක්

තමුන් ඉන්නෙ හොඳ ඔෆිස් එකකනං තවකෙනෙකුට උදවුවක් කරන්න. හොඳ ඔෆිස් එකක් කියන්නෙ එකිනෙකා වෙනුවෙන් අනෙකා පෙනී හිටින තැනක්නෙ. අන්න ඒ නිසා ඒ වගේ උදවුවක් කරා කියල පාඩුවක් වෙන්නෙ නෑ. තව කෙනෙකුට උදවුවක් කරන්න කලිනුත් දෙපාරක් හිතන්න. මීට පස්සෙ ඒ වැඩත් අපේම වැඩ වෙයිද? එහෙමත් නැත්තං කළ හොඳ පස්සෙන් එළවගෙන ඇවිත් තව එවුන් වැඩ දෙයිද වගේ දේවල් හිතලා ඔය වගේ උදවුවක් කරන්න යන්න.

 

7. නරකම ඔෆිස් එකකනං

ඔයා ඉන්නෙ නරක ඔෆිස් එකකනං. ඒ කියන්නෙ එකිනෙකා වෙනුවෙන් කවුරුත් නැති, ලොක්කා වැඩ ගන්න පමණක් බලා ඉන්න, කවුරු හෝ නිකං ඉන්නව දැක්කොත් ඔලුව පිරෙන්න තව වැඩ පුරවන ඔෆිස් එකක්නං අනිවාර්යෙන්ම ඔයා අපි උඩ කියපු කිසිම දෙයක් කරන්නෙපා. ඔයා බොරුවට වැඩ වගේ පෙන්නන්න. කබඩ් ඇරගෙන බොරුවට ෆයිල් හොයන්න. කොහෙහරි ගිහින් කාත් එක්ක හරි ආයතනික දෙයක් ගැන කතාවක පැටලෙන්න. ඔෆිස් ෆෝන් එකෙන් ඔෆිස් ටෝකක් දාගෙන ඉන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *