කික්ස්ටාටර් එකෙන් එන්න තියෙන අපූරු නිෂ්පාදන කීපයක්!

ගොඩක් දෙනෙක් දන්නෙ නැති දෙයක් තමයි ක්‍රවුඩ් ෆන්ඩින් කියන්නේ. ඒක මෙහෙම දෙයක්. අපි හිතමු මට අදහසක් තියෙනවා බහුකාර්‍ය කී ටැග් එකක් හදන්න. හැබැයි ඒක වාණිජ වශයෙන් නිෂ්පාදනය කරන්න මට සල්ලි නෑ. ආන්න එතකොට මම මිනිස්සුන්ට කියනවා මට මෙහෙම අදහසක් තියෙනවා, ඒත් ඒක නිෂ්පාදනය කරන්න සල්ලි නෑ කියලා. එතකොට මිනිස්සු මට සල්ලි දෙනවා. මම ලබාදෙන්න ඕන අවම නිශ්චිත මුදලකුත් නියම කරනවා. එතකොට මම ඒ සල්ලි ප්‍රාග්ධනය විදියට එකතු කරගෙන, ඒ කී ටැග් එක හදනවා. හැබැයි අර මට සල්ලි දීලා කී ටැග් එකක් කලින් වෙන් කරගත්තු අයට මම කී ටැග් දෙන්න ඕන. ඕක තමයි සරලවම ක්‍රවුඩ් ෆන්ඩින්ග් කියන්නේ. ඕකටම හදපු වෙබ් අඩවි තියෙනවා. එතනිනුත් ජනප්‍රියතම වෙබ් අඩවියක් තමයි කික්ස්ටාටර් කියන්නේ!

දැන් කික්ස්ටාටර් ප්‍රොජෙක්ට් එකක නිෂ්පාදනය කරන බඩුවක් ගන්න හිතාගෙන කලින්ම සල්ලි දැම්මොත්, මට සල්ලිත් නෑ, බඩුත් නෑ වගේ සීන් එකකට එහෙම මූණ දෙන්න වෙන එකක් නැද්ද? ඇත්තම කිවුවොත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි කික්ස්ටාටර් වගේ වෙබ් අඩවියක් උපරිමයෙන් උත්සාහ කරනවා එහෙම විශ්වාසයක් නැති ප්‍රොජෙක්ට් තමන්ගේ වෙබ් අඩවියට ඇතුළත් කර නොගන්න. කොහොම වුනත් අපි බලමු කික්ස්ටාටර් එකේ තියෙන කූල්, හැබැයි සරල ප්‍රොජෙක්ට්ස් කීපයක් ගැන. අහුවෙන්නේ නැතුව කික්ස්ටාටර් එකෙන් ඵලප්‍රයෝජන ගන්න හැටිත් අපි අන්තිමටම කියනවා!

 

1. Rain Straw

සාමාන්‍යයෙන් අපි පැණි බීම බෝතලයක් ගත්තහම අපිට බීම බටයක් නැත්නම් ස්ට්‍රෝ එකක් කඩෙන් දෙනවා. අපි ඒකෙන් බීම ටික බීලා, ස්ට්‍රෝ එක විසි කරලා එනවා. හැබැයි ඉතින් ගෙදරදී බොනකොට ස්ට්‍රෝ නැහැනේ. ආන්න එතකොට ඕන නම් බීම බට පැකට් එකක් ගෙනැත් තියාගන්න පුළුවන්. ඒක ඉතින් ලොකු තේරුමක් නෑ. එහෙම නැතිනම් නැවත පාවිච්චි කරන්න හැකි බීම බට ගන්න ඕන. අන්න ඒවා පළවෙනි දෙවෙනි තුන්වෙනි පාර පාවිච්චි කරන්න පුළුවන් වුනාට, කාලයක් යනකොට තනි විසබීජ ගුහාවක් වෙනවා. ඇයි පිරිසිදු කරන්න බැහැනේ.

ආන්න ඒ වගේ ප්‍රශ්නෙකට විසඳුම විදියට තමයි මේ “රේන් ස්ට්‍රෝ” එක හදලා තියෙන්නේ. කෙලින්ම දෙකට වෙන් කරන්නත්, ආයෙ එකතු කරන්නත් පුළුවන්. පාවිච්චි කළා, දෙපළු කළා, හොඳට පිරිසිදු කළා, ආයෙ පළු දෙක එකතු කළා, සරලයි!

 

2. The World’s Most Eco-Friendly Shoe

SOLE x United By Blue Jasper කියලා කියන්නේ ලෝකේ තියෙන උපරිමයෙන්ම පරිසර හිතකාමී සපත්තු කුට්ටම කියලා තමයි මේකේ නිෂ්පාදකයෝ කියන්නේ. මේ චුක්කා සපත්තු කුට්ටම පරිසර හිතකාමී විතරක් නෙවෙයි, ඒක මාරම විශේෂ ලුක් එකක් තියෙන්නේ. කැෂුවල් ඕනම තැනකට මේක සුපර්. මේ ෂූස් දෙක හදලා තියෙන්නේ ඉහළ තත්ත්වයේ, තිරසාර, පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වලින් නිසා කල් පැවැත්මත් සහතිකයි. මේකට යොදාගෙන තියෙනවලු ප්‍රතිචක්‍රීකරණය කරපු පොරොප්ප, බයිසන් කෙඳි, මෙරිනෝ වූල්, රයිස් රබර්, ඇල්ගී පෙණ සහ උණ බම්බු වර්ග.

 

3. Stealth Wallet

දැන් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන අය ගොඩක් වෙලාවට සල්ලි දාන පර්ස් එකේ තමයි කාඩ් ටික දාගෙන යන්නෙත්. තව සමහරු කාඩ් වොලට් එකක කාඩ් ටික දාගෙන යනවා. හැබැයි මේ ඔක්කොම දාගන්නෙ කොහෙද? කලිසම් සාක්කුව පුම්බගෙන යන්න බැහැනේ. ආන්න ඒ නිසා ඉතාම සිහින් නිමාවකින් යුක්ත කාඩ් වොලට් වැදගත් වෙන්නේ. කික්ස්ටාටර් කැම්පේන් එකක් විදියට යන මේ වොලට් එක රේසර් බ්ලේඩ් එකක් තරම් නොවුනත්, ඊට ආසන්න තරම් සිහින් නිමාවකින් යුක්ත වෙනවා. මේ වොලට් එක හදලා තියෙන්නේ අති නවීන හමුදා බොඩි ආමර් හදන අමුද්‍රව්‍ය වලින් කියලා තමයි නිෂ්පාදකයෝ කියන්නේ. ඒ නිසාම මේ වොලට් එක වානේ වගේ 15 ගුණයක් ශක්තිමත්. ඒ වගේම සැහැල්ලුයි. RFID ආරක්ෂාවත් මේ වොලට් එකට තියෙන නිසා, වොලට් එක ඇතුළේ තියෙන කාඩ් වලට ආරක්ෂාවත් හොඳයි.

 

4. SwitchPod

සාමාන්‍යයෙන් අපි ස්මාට්ෆෝන් එකෙන් වුනත්, ලොකු කැමරාවකින් වුනත් ෆොටෝස් ගන්නේ අතේ තියාගෙනනේ. සාමාන්‍යයෙන් නම් ඒක ප්‍රශ්නයක් නොවුණත්, අඩු ආලෝක තත්ත්වයන් තියෙන වෙලාවක හරි, බොහොම ස්ථාවර ඡායාරූපයක් ගන්න වෙන වෙලාවට හරි, වීඩියෝ ෂූට් කරන වෙලාවට හරි අතේ තියාගෙන ෆොටෝස් ගන්න හරි රෙකෝඩ් කරන්න හරි බෑ. ඒකට ට්‍රයිපොඩ් එකක් ඕන. හැබැයි ඉතින් ස්මාට්ෆෝන් එක හරි කැමරාව හරි අරගෙන යන ලේසියෙන් ට්‍රයිපොඩ් එක අරන් යන්න බෑ. ට්‍රයිපොඩ් එකක් සාමාන්‍යයෙන් ලොකුයි. හැබැයි මේ SwitchPod එක ඉතාම කුඩායි, පහසුවෙන් ඕනම කැමරාවක් හරි ස්මාට්ෆෝන් එකක් හරි එක්ක පාවිච්චි කරන්න පුළුවන්. බොහොම පහසුවෙන් අතින් අල්ලගෙන පාවිච්චි කරන්න පුළුවන්. එහා මෙහා ගෙනියන්නත් පුළුවන් විදියට හුරුබුහුටි නිමාවකින් යුක්තයි. ඕන නම් වඩාත් පහසු සෙල්‍ෆි ස්ටික් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්.

 

5. IMStick

දැන් කාලේ අපිට ස්මාට්ෆෝන් එක නැතුව ජීවිතයක් ගැන හිතන්නවත් බැරි තරමට ස්මාට්ෆෝන් එක ජීවිතේට කිට්‍ටුවන්ත වෙලානේ තියෙන්නේ. අපි බයිසිකල් පදින්න ගියත්, ජිම් එකට ගියත්, වෙන වැඩක් කරන්න ගියත් ෆෝන් එක වුවමනා වෙනවා. කුස්සියට ගියහම සමහර වෙලාවට රෙසිපි එකක් බලාගන්න ස්මාට්ෆෝන් එක වුවමනා වෙන්න පුළුවන්. බයිසිකල් පදිනකොට ජී.පී.එස් ඔන් කරලා තියාගන්න ස්මාට්ෆෝන් එක වුවමනා වෙනවා. මේ හැමදේටම නියමෙටම හරියන ගැජට් එකක් තමයි IMStick කියන්නේ. මේකේ තියෙන පැතලි රවුම උඩ ෆෝන් එක බොහොම ආරක්ෂාකාරීව සවි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙන වයර් වලින් බොහොම ආරක්ෂාකාරීව ඕනම තැනකට හයි කරලා තියන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ වයර් වලින් ස්මාට්ෆෝන් එක හිටවලා තියන්නත් පුළුවන්.

 

6. MOFT – World’s First Invisible Laptop Stand

ලැප්ටොප් එකක් පාවිච්චි කරනකොට ඒක රත් වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ නිසා තමයි කූලින් ෆෑන් එකක් පාවිච්චි කරන්න කියන්නේ. හැබැයි කූලින් ෆෑන් එකකින් වෙන්නේ ලැප්ටොප් එකට ෆෑන් වලින් හුළං වදින එක විතරක් නෙවෙයි. ලැප්ටොප් එක කෝණිකව පොඩ්ඩක් ඉස්සෙන නිසා හොඳ වායු සංවහනයකුත් වෙනවා. ඒ වගේම ලැප්ටොප් එක එහෙම පොඩ්ඩක් උස්සලා පාවිච්චි කරන එකේ භාවිතයට පහසුවකුත් තියෙනවා. අත්වලට, බෙල්ලට සහ උරහිස් වලට පහසු කෝණයකට වැඩ කරන්නත් ඉඩ ලැබෙනවා. අන්න ඒකට ගැලපෙනම ගැජට් එක තමයි MOFT කියන්නේ. මේක ලැප්ටොප් එකේ පතුලට අලවන්න පුළුවන්. ඉන් පස්සේ අවශ්‍ය වෙලාවට උස්සලා හයි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕන නැති වෙලාවට ඒක ලැප්ටොප් එකේ පතුලේ හයි කරලා තියෙනවා කියලවත් පේන්නෙ නෑ. එතකොට මේක ලෝකේ එකම අදෘෂ්‍යමාන ලැප්ටොප් ස්ටෑන්ඩ් එක කියන එක බොරු නෙවෙයි!

 

7. Cascade Cables

සාමාන්‍යයෙන් ස්මාට්ෆෝන් එකකට චාජ් වෙන්න හරි, ඩේටා හුවමාරු කරගන්න හරි ගහන කේබල් එකක් ඒ තරම් දිග නැහැනේ. සමහර වෙලාවට ප්ලග් පොයින්ට් එක තියෙන තැන ඉඳලා කේබල් එක දිග මදි නිසා ෆෝන් එක චාජ් වෙන්න ගහලා බිම තමයි තියන්න ඕන. ඒ වගේ අපහසුතා වලට කියාපු ප්‍රොඩක්ට් එක තමයි මේ. මේක ඇත්තටම අයිෆෝන් අයිතිකාරයින්ට වැදගත් විදියට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ USB C to Lightning කේබල් එකක් විදියට මේක හදලා තියෙන්නේ. වැදගත්ම දේ වෙන්නේ මේක අඩි හයක් දිගු වීම. ඒ වගේම ශීඝ්‍ර ආරෝපණයට සහ ශීඝ්‍ර දත්ත හුවමාරුවටත් එකසේ සහාය ලබාදීම.

 

ක්‍රවුඩ් ෆන්ඩින්ග් ගැන කථා කරනකොට ඔලුවෙ තියාගන්න ඕන කාරණා කීපයක් තියෙනවා.

එකක් තමයි මේ ප්‍රොඩක්ට්ස් ඉදිරිපත් කරන පුද්ගලයෝ හරි පුද්ගල කණ්ඩායම් හරි ඇත්තටම කවුද කියන එක. ඒ අය ගැන ප්‍රමාණවත් විස්තර හොයාගන්න බැරි නම් සල්ලි නොදා ඉන්න එක නුවණට හුරුයි.

ඒ වගේම අනවශ්‍ය විදියට සංකීර්ණ නිෂ්පාදන වලට සල්ලි යොදවන්නෙ නැතුව ඉන්න එකත් ඥාණවන්තයි. මොකද කෑන් ඕපනර් එකක් හරි දුනු පිහියක් හරි හදන එක, රේඩියෝ එකක් හරි බ්ලූටූත් ස්පීකර් එකක් හරි හදන එක විශ්වාස කරන්න පුළුවන්. හැබැයි මිනිස් හඬින් කථාකරන ඥාණවන්ත රොබෝ කෙනෙක් වගේ නිෂ්පාදන වරදින්න තියෙන ඉඩ වැඩියි.

ඒ වගේම ඒ නිෂ්පාදන වලට අනෙක් අයගෙන් තියෙන ප්‍රතිචාරය, අනෙක් අය දාලා තියෙන කමෙන්ට්ස් එහෙමත් චෙක් කරන එක හොඳයි.

ඒ වගේම උඩ පෙන්නලා තියෙන නිෂ්පාදන වලට හරි, ඒවලට ෆන්ඩ් කිරීමට හරි, ඒවා සාර්ථක වෙලා ෆන්ඩ් කරපු අයට නිෂ්පාදන ලැබෙනවාද නැද්ද කියන එක ගැන හරි ලයිෆි අපේ සම්බන්ධයක් හෝ වගකීමක් නැති බවද කාරුණිකව සලකන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *