වෙඩින් සීසන් එකට ෂොපින් යන්න කොළඹ අවට සාරි කඩ

අවුරුදුනම් කොහොමින් කොහොමින් හරි කාල ඉවර උනා කියමුකෝ. දැන් ඔන්න ඊළඟට එන්නෙ අතේ තියෙන සත පහ බිංදුවටම බස්සන වෙඩින් සීසන් එක. මැයි මාසෙ පටන් ගත්තම ආයෙත් අගෝස්තු පහුවෙනකන් එකදිගට වෙඩින් තමයි ඉතින්. ඔය කොහොම කිව්වත් අපි හැමෝම ආසයිනේ ඉතින් නෑදෑ හිතවත් කාගෙම හරි මංගල අවස්ථාවකට ආරාධනා කළාම පුළුවන් උපරිම ලස්සනට හැඩවෙලා යන්න. අන්න එහෙම හැඩට ඇඳගෙන යන්න සාරි එහෙම ගන්න තැනක් හොයන නෝනලට කොළඹ අවට තියෙන හොඳම සාරි කඩ ගැන විස්තරයක් තමයි මේ කියන්න යන්නෙ.

 

1. 7 ස්ටෝරීස් රන්ජනාස්

Image Source – theweddinghouse.lk

කොළඹ අවට තියෙන ලොකුම සාරි කඩවල් වලින් එකක් තමයි මේ. සාරි කිව්වට සාරි විතරක්ම නෙමෙයි. හස්බන්ඩ්ට, බබාලට ඕන ඔක්කොම ඇඳුම් එකපාර ගන්න පුළුවන් කඩයක් මේක. මනමාලිගෙ සාරියෙ ඉඳන් වෙඩිමට යන පොඩිමෑන් දක්වා ඔක්කෝටම ඇඳුම් තියෙනව. සාරි, ලෙහෙන්ගා, ෂල්වාර්ස් ඇතුළු සුපිරි කලෙක්ෂන් එකක් තියෙනවා. හුඟක්ම ඉන්දියන් ඩිසයින්ස් තමයි ඉතින්. මිල ගණන් උනත් ලොකු රේන්ජ් එකක තියෙනවා. තමන්ට වියදම් කරන්න පුළුවන් මුදලට සාරියක් තෝරාගන්න කියපු ෂොප් එකක් තමයි මේක. තියෙන්නෙ බම්බලපිටියෙ. හරියටම කිව්වොත් සෙන්ට් පීටර්ස් එක පහුකරගෙන කොළඹ පැත්තට මීටර් 200ක් විතර යද්දි වම් පැත්තෙ. ලොකුවට පේන බිල්ඩින් එකක් නිසා හොයාගන්නනම් පොඩ්ඩක්වත් අමාරු නැහැ.

 

2. ලිට්ල් ඒෂියා

Image Source – facebook.com

මේක වැල්ලවත්තේ තියෙන කඩයක්. සාරි කිව්වොත් ඉතින් කොටුව, වැල්ලවත්ත, බම්බලපිටිය තමයිනෙ. වැල්ලවත්ත පොලීසිය පහුකරන් දෙහිවල පැත්තට මීටර් 100ක් විතර යනකොට වම් පැත්තෙන් තමයි මේ ලිට්ල් ඒෂියා එක තියෙන්නේ. මේකෙත් සාරි විතරක්ම නෙමෙයි, ගෙදර හැමෝටම ගන්න ඇඳුම් තියෙනවා. හැබැයි ඉතින් ඉන්දියන් විදිහට කුර්තා එහෙම තමයි. නෝනලාටනම් සාරි, ලෙහෙන්ගා, චෝලි, ෂල්වාර්ස් ඕන එකක්. මිල ගණන්නම් රු. 10,000.00න් උඩ වගේ තමයි පටන් ගන්නෙම. ගියොත් ආයෙත් සාරියක් අරන් මිසක් එන්නනම් හිතෙන්නේ නැහැ හැබැයි.

 

3. අප්සරාස්

Image Source – facebook.com

අප්සරාස් කියන්නෙ සාරි පාරාදීසයක්. මේකත් හුඟක්ම ඉන්දියන් කලෙක්ෂන් තියෙන කඩයක්. ඇතුළට යන්න යන්න හිතාගන්න බැරි තරම් සාරි තියෙනවා. කඩේට ඇතුල්වෙනකොට තියෙන පොඩි කඩයක් කියල හිතෙන සිතුවිල්ල විනාඩියක් යද්දි වෙනස් වෙනවා. මේ අප්සරාස් එක තියෙන්නෙ පිටකොටුවේ දෙවන හරස් වීදියෙ. සාරි විතරක් නෙමෙයි, සාරි ජැකට් වලට ගන්න විවිධ ෆැබ්රික් වර්ග, බ්‍රයිඩ්ස් මේඩ්ලට සාරි මැටීරියල්ස් වගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මේ අප්සරාස් කියන්නෙ ඔය රූපලාවන්‍ය ශිල්පීන් අතර එහෙම හුඟක් ප්‍රසිද්ධ සාරි කඩයක්. තමන්ට වියදම් කරන්න පුළුවන් මුදල අනුව සාරියක් අරන් එන්න පුළුවන්.

 

4. ගනේෂ් ටෙක්ස්ටයිල්ස්

Image Source – facebook.com

ගනේෂ් ටෙක්ස්ටයිල්ස් කියන්නෙ සාරිම කඩයක් නෙමෙයි. සාරි, කැෂුවල් ඇඳුම්, පොඩ්ඩොන්ට සහ මහත්තුරුන්ට ඇඳුම් වගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. හැබැයි සාරි ගන්න යන නෝනලා නොවරදවා යන තැනක් තමයි මේක. ලස්සන ඉන්දියන් සාරි කලෙක්ෂන් එකක් තියෙන තවත් ෂොප් එකක්. මේක තියෙන්නෙ පිටකොටුවේ මේන් ස්ට්‍රීට් එකේ. මිල ගණනුත් බොහොම සාධාරණයි.

 

5. අස්ලාම් මාර්කට්

Image Source – faezahismail.com

සාරි ගැන කියල අස්ලාම් මාර්කට් ගැන නොකිය ඉන්නෙ කොහොමද? අස්ලාම් මාර්කට් කියන්නෙ එක කඩයක් නෙමෙයි. සාරි ෂොප්ස් මහා ගොඩක් තියෙන මාර්කට් එකක්. මේ තැනනම් පිටකොටුවේ කේයිසර් වීදියේ තමයි තියෙන්නේ. ඕන කෙනෙක්ගෙන් ඇහුවම ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. පොඩි කොරිඩෝවක් දිගේ ඇතුළට යද්දි දෙපැත්තෙන්ම පොඩි පොඩි සාරි කඩවල් පිරිලා. පොලේ ගියා වගේ තමයි ඉතින්. “නෝනා අපේ කඩේට එන්න” කිය කිය පස්සෙන්ම එනව. ඒවට අහුනොවී තමන්ට හොඳයි කියල හිතෙන තැන්වලින් බලල ගෙවන ගාණට උපරිම වටින සාරියක් අරන් එන්න පුළුවන්. හුඟක් ඇය දන්නෙ පහළ තට්ටුව විතරයි. ඒත් උඩට තව තට්ටු තුනක් මේ ෂොප්ස් තියෙනව. කියන මිලට එකපාර කැමති නොවී ටිකක් කේවල් කළහම සෑහෙන්න ප්‍රමාණයක් මිලත් අඩුකරගන්න පුළුවන් තැනක් මේක.

 

6. සේලින්

Image Source – faezahismail.com

සේලින් කියන්නෙ හෑන්ඩ්ලූම් සාරි ලවර්ස්ලට කියාපු තැනක්. සාරිම විතරක් නෙමෙයි, ගොඩක් හෑන්ඩ්ලූම් ප්‍රඩක්ට්ස් සහ ෆැබ්රික්ස් මෙතන තියෙනව. තැන කිව්වොත් තිඹිරිගස්යායේ ෆයිෆ් රෝඩ් එකේ ටිකක් ඇතුළට වෙන්න තමයි තියෙන්නෙ. හොඳ පෙනුම සාරි තියෙනව වගේම තමයි මෙතන මිල ගණනුත් ටිකක් විතර ඉහළයි. හෑන්ඩ්ලූම් කියන්නෙ කොහොමත් ටිකක් මිල අධික මැටීරියල් එකක්නෙ. මැෂින් වලින් තරම් වියන්න පහසු නොවෙන නිසා ගණන් අසාධාරණයි කියන්නත් බැහැ ඉතින්.

 

7. බැට්ස් ස්ටයිල්ස්

Image Source – timeout.com

හැමදාම අඳින ඉන්දියන් ඩිසයින්ස්, වර්ක්ඩ් සාරි එපා වෙලා වෙනස් අළුත් ඩිසයින්ස් හොයන අයට මෙන්න නියම ෂොප් එකක්. ෂොප් එක තියෙන්නෙ තිඹිරිගස්යාය හන්දියෙමයි. මෙතන හුඟක්ම තියෙන්නෙ සිල්ක් බතික් සාරි. මිල ගණන් ටිකක් ඉහළ උනත් වෙන තැනක හොයාගන්න නැති ලස්සනම කලෙක්ෂන් එකක් තියෙන තැනක් තමයි Batztyles කියන්නෙ.

 

ඔය කියපු ෂොප්ස් වලට අමතරව ෆේස්බුක් වලින් වගේ ඔන්ලයින් ෂොපින් කරනවනම් Tanash, AIANA කියන්නෙත් ලස්සන සාරි කලෙක්ෂන් එකක් තියෙන ෂොප්ස්. ඉතින් ළඟ එන වෙඩින් සීසන් එක ලයිෆි අපිත් එක්ක ඉන්න නෝනලාට හැපි ෂොපින් සීසන් එකක්ම වේවා එහෙනම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *