අලුතින් හදන ඔබේ නිවසේ කල්පැවැත්ම උදෙසා මේ දේවල් කිරීම අනිවාර්යයි!

ඔබේ සිහින නිවස හදන්න හිතපු වෙලේ ඉඳන් සැලකිලිමත් වෙන්න ඕන දේවලුයි සිහිනය ගොඩනගමින් යන අතරතුර සැලකිලිමත් වෙන්න ඕන දේවලුයි ගැන අපි කලින් ලිපි දෙකකින්ම කතා කළා මතක ඇතිනෙ. අද මේ කියන්න හදන්නෙ එහෙම ගොඩ නගන සිහින නිවසේ කල් පැවැත්ම ගැන ඔයාල සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගැන. සිහින නිවහන ගොඩනැගුවට පස්සෙ ඒක නපුරු සිහිනයක් නොවී ඔබේ සුවපහසු නවාතැන බවට පත් කරගන්න නම් අවම නඩත්තුවක් අවශ්‍යවෙන විදියට ගේ හදනකොටම මෙන්න මේ දේවල් ගැන හිතන එක පහසුවක්.

 

1. ජනෙල් සහ දොර උළුවහු ආවරණය කිරීම

පරණ විදියට වටේටම පියස්ස හිටින්න වහලය ගහල හදන ගේකට නම් මේ කියන දේ ඒ තරම්ම අදාළ වෙන්නෙ නෑ. මේ කියන්නෙ මොඩර්න් ටයිප් එකට බොක්ස් ස්ටයිල් ගෙවල් හදන අයට අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන කරුණක්. ගෙදර ලස්සන පෙනුම ගැන විතරක් හිතනකොට අපිට නිවසේ කල් පැවැත්ම ගැන අමතක වෙන්න පුළුවන්. ඒ නිසා ලස්සනත් රැකගෙන කල්පැවැත්මත් තියාගන්න නම් දොර ජනෙල් එන තැන් වලට ඉහලින් ස්ලැබ් එකෙන්ම පිටට එන විදියට ටෙම්පර්ඩ් ග්ලාස්/ කොන්ක්‍රීට් වැස්මක් දාන්න අමතක කරන්න එපා. ඒක ඔබේ නිවසේ පෙනුමට ගැලපෙන පරිදි සකස් කරගන්න ගෘහ නිර්මාණ ශිල්පියා එක්ක කතා කරගන්න. ලංකාව කියන්නෙ අවුරුද්දෙන් බාගයක් වහින අවුරුද්දෙන් බාගයක් පායන රටක් නිසා පිටතට දාන ලී දොර ජනෙල් වල කල් පැවැත්ම ගැන සැලකිලිමත් වෙන්න.

 

2. ජනෙල් උළුවහු පේන්ට් කිරීම

ලී දොරවල් ජනෙල් දාන කොට අනිවාර්යයෙන්ම ලී දිරාපත්වීම, ගුල්ලන් ගැසීම නතර කරන Woode Preservative පාවිච්චි කරන එකෙන් සහ වෝටර්බේස් පොලිශ් එකක් පාවිච්චි කරන එකෙන් ලී වැඩි කාලයක් හොඳ තත්ත්වයෙන් තියාගන්න පුළුවන්. අවුරුද්දකට දෙකකට සැරයක් තමන්ටම ගාන්න පුළුවන් මේන්ටේනන්ස් කෝට් එකක් ගාන එකෙන් අව්වට වැස්සට අහුවෙන දොර ජනෙල් වල ආයු කාලය දික් කරගන්නත් පුළුවන්.

 

3. බිත්ති වෝටර්පෲෆ් කිරීම

ඒ කාලෙ නම් වෙදර්ශීල්ඩ් පේන්ට් එකක් ගෑවම ඔක්කොම හරි කියල හිතුවට දැන් මොඩර්න් ටයිප් එකට හදන ගෙවල් වල බිත්ති වෙදර්ශීල්ඩ් පේන්ට් එකකින් විතරක් ආරක්ෂා කරන්න අමාරුයි. වහලක පියස්සකින් වැහෙන්නෙ නැති බොක්ස් ටයිප් ගෙවල් වල බිත්ති අව්වට වැස්සට නිරන්තරයෙන් නිරාවරණය වෙනව. මේ නිසා වෝටර්පෲෆින් සීලර් එකක් සහ ඊට උඩින් වෝටර්පෲෆින් පේන්ට් එකක් පාවිච්චි කරන එක වැදගත්. පිටත බිත්ති සහ නානකාමර වල බිත්ති මේ විදියට පේන්ට් කරන එකෙන් වතුර උරාගැනීමෙන් ඇතුළත බිත්ති වල දියසීරාවන් ඇතිවීම සහ බිත්ති දිරාපත්වීම වළක්වගන්න පුළුවන්.

 

4. ස්ලැබ් වෝටර්පෲෆ් කරන්න

රූෆ්ටොප් එකක් එන විදියට නිවස සැළසුම් කරනව නම් ස්ලැබ් එක වෝටර්පෲෆ් කළ යුතුමයි. රූෆ්ටොප් එකක් නැතත් කොටස් අදියර දෙකකින් නිම කරන තට්ටු දෙකේ නිවසක නම් පහළ මහලය නිම කරල ස්ලැබ් එක දාල කාලෙකට පස්සෙ උඩ තට්ටුව හදන්න හිතන කොටත් ස්ලැබ් එක වෝටර්පෲෆ් කරන එක අනිවාර්යයයි. ස්ලැබ් එකෙන් වතුර තෙතමනය පහළට නො එන්නත්, ස්ලැබ් එකට උරාගන්න වතුර ස්ලැබ් එකේ කම්බි නොදිරන්න වගේම ස්ලැබ් එක ඇතුළෙන් යොදන වයරින් එකට හානි කර විදුලි කාන්දු ඇති නොවෙන්නත් ස්ලැබ් එකක් නිසි විදියට වෝටර්පෲෆ් කරන එක වැදගත්. බඩු ගෙනත් දුන්නට බාස් මේ වැඩේ හරියට කරනවද කියල බලන එකත් කළ යුතුමයි. සම්මත ක්‍රමයට වෝටර්පෲෆ් ආලේප කරන්න කියන්නෙ දිග අතට සහ හරස් අතට එකවර කෝට් දෙකක් අලේප කිරීමෙන්. කුඩා සිදුරක්වත් ඉතුරු නොවී සම්පූර්ණයෙන් සීල් වෙන්නෙ එහෙම ආලේප කිරීමෙන්.

 

5. බාත් රූම් වෝටර් පෲෆ්

නානකාමර වල බිත්ති වලට කලින් කිව්ව වගේ සීලර් පේන්ට් එකක් පාවිච්චි කරනව වගේම බිත්තියෙන් බාගයක් උසට සහ සම්පූර්ණ බිම ආවරණය වෙන්න වෝටර්පෲෆ් කරන්න. ඔයාල දැකල ඇති සමහර නිවෙස් වල නානකාමරයට යාබද බිත්ති වල දියසීරාව ඇවිත් බිත්ති පෙඟිල තියෙනව. එහෙම නැත්නම් නානකාමරය උඩ තට්ටුවේ නම් ඊට පහළ තට්ටුවේ ඉඳන් බලන කොට ස්ලැබ් එකේ තෙත පැල්ලම් හැදිල පුස් බැඳිල තියෙනව. මෙන්න මේ තත්ත්වයන් ඇති වීම වළක්වාගන්න තමයි නානකාමර වල වෝටර්පෲෆින් එක හරි විදියට කරගන්න එක වැදගත් වෙන්නෙ. ඔය විදියට වතුර කාන්දු වෙන එකෙන් ගෙයි ලස්සන නැති වෙනව වගේම බිත්ති පෙඟිලා, ටයිල් බොල් වෙලා නිතරම අලුත්වැඩියාවන් කරන්න සිද්ධ වෙනව.

 

6. බාත් රූම් ස්පේස් එක

මේක හුඟ දෙනෙක් අවධානයක් යොමු නොකරනම දෙයක්. ඒත් නිවසක ජීවත් වෙන්න ගත්තම නිරන්තරයෙන්ම ගෘහණියන්ට වදයක් වෙන තැනක් තමයි නානකාමරය. ගේ හදන්න ගත්තම නම් හිතෙන්නෙ ඔය නාන්න, රෙදි හෝදන්න, ටොයිලට් යන්න ඔය හැටි සුකුරුත්තන් ඕන නෑ කියල. ඒත් නිකමට හිතන්න. වාතාශ්‍රය හොඳින් නොලැබෙන, නිතරම තෙමුණ බිමක් තියෙන, නිතර පුස් බැඳෙන නානකාමරයකට ඔයාල කැමතිද? නැහැනෙ? මෙන්න මේ නිසා නානකාමරය හොඳින් වාතාශ්‍රය ලැබෙන විදියට සැලසුම් කරන්න. පුස් ගඳ නැති හොඳින් වියළුන නානකාමරයකට වාතාශ්‍රය වැදගත්. නාන කොටසෙන් වතුර නානකාමරය පුරා නොයන්න කියුබිකල් එකක් සකසගන්න. ඒවගේම නාන කොටස අඟල් දෙකක් විතර පහත් කරල සකසන එකෙනුත් වතුර නානකාමරය පුරා යන එක වැළකෙනව.

 

7. කුස්සියේ වාතාශ්‍රය සහ ආලෝකය

කුස්සිය කියන්නෙ නිවසක හදවත. පිරිසිදුකම ඉහළින්ම රැකෙන්න ඕන තැනක්. මේ නිසා කුස්සියට අනිවාර්යයෙන්ම හොඳින් ආලෝකය සහ වාතාශ්‍රය ලැබිය යුතුමයි. උයන පිහින දේවල දුම ගේ ඇතුළෙ නොරැඳෙන්න සහ දවාලටත් ලයිට් එකක් ඔන් කරන්න සිද්ධ නොවෙන විදියට ආලෝකය සහ වාතය සංසරණය වෙන්න කුස්සිය සැලසුම් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *