මගුලක් බැලීමේදී මෙච්චර දේවල් හොයන්නේ ඇයි?

මගුලක් බැලීම කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒකට නෑයොයි, අපියි, තව කියන ඒජන්තවරුයි ලොකු මහන්සියක් වෙනවා. ඇත්තටම ඔහොම කේන්දර ඇතුළු ඔක්කෝම බලලා කරන මගුලුත් අවුල් වෙනවා. ඒත් මගුලක් කියන්නේ ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇයි මගුලක් ගනිද්දි අපි ඔච්චර දේවල් හොයන්නේ? අපි ඒ ගැන ටිකක් හොයා බලමු.

 

1. පවුලේ නම්බුව

Image Source – pinterest.com

කුල මල හොයලා, ජාතිය එහෙම බලලා තමයි මගුලක් සාමාන්‍යයෙන් තීන්දු කරන්නේ. මේවා කාලයට අනුව එතරම් වටින්නේ නැති අවස්ථාත් තියෙනවා. ඒත් දෙන්නෙක් එකතු වීම කියන්නේ ඒ දෙන්නා විතරක් එක වහලක් යටට වීමම නෙමෙයි. අපේ ආසියානු වටපිටාව තුළ පවුල් බැඳීම් වැඩියි. එතකොට යම් විදියකින් වැරදි විදියේ කටයුත්තක් කෙරුණොත් එතනින් ඒ පවුලේ වගේම පවුලට ගෑවුන අයගෙත් නම සවුත්තු වෙනවා. ඒ විදියට සමාජයේ අපිට ලැබෙන යම් පිලිගැනීම අවදානමට ලක් වෙන්න හැකි නිසා මගුල් තුලා කරගැනීමේදී කුල මල ඇතුළු බොහෝ දේවල් හොයනවා.

 

2. අපේ පුතාට/දුවට ගැලපෙනම කෙනා

Image Source – pinterest.com

දෙමාපියෝ තමුන්ගේ දරුවන්ට මගුල් හොයද්දි තමුන්ගේ පුතා දුවට ගැලපෙන්නේ මොන වගේ කෙනෙක්ද කියලා හොඳටම හොයනවා. කණට ඇහෙන්නවත් කතා කරන්නේ නැති හරිම සංසුන් දෝනියැන්දා කෙනෙක් මහ සද්දෙන් කතා කරන මරුමුස් පෙනුමැති ටිකක් වැඩිමහළු මනුස්සයෙකුට ජෝඩු කරන්න ගොඩක් දෙමාපියෝ කැමති නැහැ. ඒ වගේම තමුන්ගේ පුතා ටිකක් සෙල්ලක්කාරයෙක් නම් හතර පෝයට සිල් ගන්න ටයිප් කෙල්ලෙක් ඒ දෙමාපියන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒ වගේ තමුන්ගේ පුතාට දුවට හොඳම කෙනා තෝරාදෙන එක දෙමාපිය වගකීමක් නිසාත් මගුලක් බලනකොට වැඩිපුර විස්තර හොයා බලනවා.

 

3. අපේ වස්තුව, දේපල, ධනය ආරක්ෂා වෙයිද?

Image Source – historyofceylontea.com

කලිනුත් කිව්වා වගේ දෙන්නෙක් එකතු වීම කියන්නේ ඒ දෙන්නා විතරක්ම නෙමෙයි. ටිකක් යහමින් අතමිට තියෙන පවුල් වල කෙල්ලන්ගේ කාර් වලට දුප්පත් කොල්ලෝ යට වෙනවා. ඉන් පස්සේ ඒ ප්‍රේම කතා ලියලනවා. ඒවා ඇත්තටම කතාන්දර වලට හොඳයි. සෑම වස්තුව ධනය තියෙන දෙමාපියෙක්ම උත්සාහ කරන්නේ තමුන්ගේ මට්ටමේ හෝ ඊටත් පොඩ්ඩක් වැඩියෙන් තියෙන තැනකට තමුන්ගේ පුතාව දුවව කසාද බන්දන්න. එහෙම නැතිව ධනය වස්තුව නැති, හැමදේම නාස්ති කරන මාදිලියෙ කෙනෙක් අනාගතේ පවුලට සම්බන්ධ වුනොත් තියෙන දේවල් වඩා වර්ධනය කරගැනීම කෙසේ වෙතත් ඉක්මනින්ම නැති නාස්ති වෙන්න පටන් ගන්නවා.

 

4. අපේ පුතාට/දුවට අනාගතේ සැපෙන් ඉන්න පුළුවන්ද?

Image Source – hanover.com

බටහිර සමාජයේ නම් දරුවො ලොකු මහත් කරලා උගන්නලා ඉවර වුනාම ගොඩක් දෙමාපියෝ වගකීමෙන් නිදහස් වෙනවා. ඔවුන් දරුවන්ට තනියම හැමදේම කරගන්න ඉඩ කඩ ලබාදෙනවා. ඒත් අපේ රටේ තත්ත්වය ඊට වඩා වෙනස්. අපේ දරුවා නොගැලපෙන කටයුත්තකට මැදි වුනොත් ඒක එයාලගේ ජීවිතයට බලපාන්න පුළුවන්කම තියෙනවා. කොටින්ම දුක් විඳින්න බලාගෙන තමුන්ගේ පුතා දුවව කසාද බන්දන්න කිසිම දෙමාපියෙක් නෑයෙක් කැමති නැහැ. සමහර විට කසාද බඳින වයසේ ඉන්න අයගේ හෝමෝන වලට මේවා තේරෙන්නේ නැහැ. එයාල ප්‍රේම සුවය හැමදෙයක්ම කියලා හිතනවා. ඒත් ටිකක් වැඩිමහලු වැඩිහිටියන් සහ නෑයෝ අනාගතේ කියන්නේ බැඳීමකටම විතරක් ගොඩදාගන්න බැරි දෙයක් කියලා අත්දැකීමෙන් දන්නවා.

 

5. දික්කසාද ප්‍රශ්න

Image Source – goodmandivorce.com

කිසිම කෙනෙක් දික්කසාද වෙන්න බලාගෙන කසාද බඳින්නේ නැහැ. ඉතාම කලාතුරකින් කෝටිපති ව්‍යාපාරිකයින්ගේ අත ගන්නා නිරුපිකාවන් නම් දික්කසාද වුනත් කෝටි ගණන් වන්දි ගන්න බලාගෙන කසාද බඳිනවා ඇති. දික්කසාදයක් කියන්නේ පවුලට අවමානයක්. අනෙක් අතින් දික්කසාද ඉබේ පහළ වෙන්නෙ නැහැ. ඒ හා බැඳුණු ප්‍රශ්න ගොඩාක් එනවා. දරුවෝ ඉන්නවා නම් ඔවුන් නැති වෙනවා. කොටින්ම කසාදය අවස්ථාවේ තියෙන සංහිඳියාව සහ සැනසීමෙන් බොහෝ දුර ගිය මානසික පීඩාවක් තමයි දික්කසාදය. ලංකාව වගේ රටක දික්කසාදය නීතියෙන් අමාරුයි. ලෝයර්ලා අල්ලලා මාස ගණන්, අවරුදු ගණන් රස්තියාදු වෙන්න වෙනවා. ඒ කළත් සමහර වෙලාවට ප්‍රතිඵල නැහැ. දෙදෙනාටම වෙන් වීම අවශ්‍ය වුනත් ලංකාවේ නීතිය අනුව දික්කසාදය ලේසි නැහැ. අර කතාවක් තියෙන්නේ කලබලෙන් විවාහ වන්නා නිවිහැනහිල්ලේ පසුතැවේ කියලා. ආන්න ඒ කතාව ඇත්තටම අවබෝධ වෙන තැනක් තමයි කලබලේට විවාහ වෙලා දික්කසාද වෙන්න සිදුවීම.

 

6. පවුල් වලින් ලැබෙන සහයෝගය

Image Source – goodmandivorce.com

වෙන ඕන දෙයක් කියලා හඳපානේ යමුද දෙන්නා කියලා සිංදුවක් තියෙනවා. ඒත් එහෙම ගියොත් අපිට දෙමාපියන් නෑයන්ගෙන් තියෙන උදව් පදව් නැතිවෙනවා. අපිට කරදරයක් වුනත් කියාගන්න කෙනෙක් නැතිවෙනවා. ලංකාවේ පොඩි වැඩකට පොලිසියට ගියා, ලෙඩකට ඉස්පිරිතාලේ ගියා කියලා හිතන්න. ඒ තැන්වලදි වුනත් අපිට දන්න කියන අඳුරන කෙනෙක් ඉන්නවා නම් වැඩේ පහසුයි. ඒ වගේම ඉඩම් මිලදී ගැනීම, යාන වාහන ගැනීම වගේ දේවල් තරුණ වයසෙදිම කරගන්න දෙමාපිය නෑදෑ අනුග්‍රහය තදටම බලපානවා. ඉතින් කවුරුහරි හොයාල බලන් නැතුව හිතුමනාපේ කසාද බැන්දා කියන්නේ අර පවුල් පසුබිමින් අපිට ලැබෙන බෙනිෆිට්ස් පැකේජ් එක කැන්සල් වෙලා යනවා.

 

7. දෙන්නා දෙමාල්ලෝ සතුටින් සිටීමට

Image Source – pnwfamilytherapy.com

තනිකඩ කාලේ අපේ ජීවිතයේ බර දන්නේ අපේ ඇඳේ තියෙන මෙට්ටය, වාඩිවෙන පුටුව විතරයි. ඒත් කසාදයකින් පස්සේ අපේ බර වයිෆ්ට හස්බන්ඩ්ට ෂෙයා වෙනවා. එයාලගේ බර අපිට එනවා. ඉතින් ගෙවන ජීවිතේ සතුටින් ගෙවන්න අපේ විවාහය තදින්ම බලපානවා. ජීවිතයේ වැඩිකාලයක් අපි ඉන්නේ ගෙදර. ඒ ගෙදර ඉතින් බිරිය එක්ක සැමියා එක්ක හැමදාම වලිනම්, හැමදාම නොසලකා හැරීම් නම් අපිට මේ ජීවිතේ කිසිම ලල් එකක් කිසිම රහක් නැති තැනක් වෙනවා. සමහර විට අපේ තියෙන සම්බන්ධතාවයට මුළු ලෝකයම එරෙහි වෙන්න පුළුවන්. ඒත් දෙන්නට දෙන්න කැමති නම්, දෙන්නට දෙන්න ගැලපෙනවා නම් ලෝකෙ පැත්තකින් තියලා එහෙම අය එකතුවෙනවා. ඒක අභියෝගයක්. ඒත් කොහොම හරි ගේම ගහලා ආදරය ප්‍රේමය තුළින් ලෝකය ජයගත් අයත් ගොඩක් ඉන්නවා.

මගුල් බලද්දි හොයනවා. කෙල්ලෙක් කොල්ලෙක් යාලුවෙද්දි හොයනවා. සම්බන්ධයක් අතර තුරදි හොයනවා. මේ හොයන හැමදෙයක්ම විකාර නෙමෙයි. ජීවිතය සාර්ථක වෙන්න අනෙකා ගැන අවධානයෙන් සොයා බැලීමත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මගුලක් බලද්දි දෙමාපියන් හෙව්වත්, නෑයො හෙව්වත්, අපි ගිහින් හෙව්වත් ඒවයින් තියෙන වැදගත්කම ඔයාලට මේ හරහා හොඳට අවබෝධ වෙන්න ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *