ඔයත් ඩ්‍රින්ක් එකක් දාලා ඉන්න වෙලාවට පරණ කෙල්ලට මේවා යැවුවද?

සමහර බොරුකාරයො එක්ක මේ අවංකයොන්ව පටලවාගන්න එපා කියල අපි මුලින්ම ඉල්ලා සිටිනවා. සමහරු තමුන් නිකං දුකට බීලා ඉන්න නිසා හිතට හිතෙන හැමදේම කියනව වගේ කොන්ද පණ නැති ලයින් එකෙන් කෙල්ලොන්ට ලයින් දානවා දකින්න පුළුවන්. හැබැයි ඒ අය ඇත්තටම බීලා නෑ. මේ කියන්නෙ ඇත්තටම බීලා අවුල් අදහස් එක්ක තමුන්ගෙ අතීත පෙම් කතාව අමතන අපේ කාලයේ තරුණයන්ගෙ දුක කතාව. තමුන්ගේ පැරණි පෙම්වතිය ගැන මත් ගතිය මැද්දෙ හිතේ පිරී තිබෙන හැඟුම් කෝටියම ලිහිලා යද්දි ඒවා ගිලිහෙන්නෙ ෆෝන් කෝල්වලින්, එස්එම්එස් වලින්, මෙසෙන්ජර් චැට්වලින්, එහෙමත් නැත්තං ෆේස්බුක් එකේ කමෙන්ට්ස්වලින්. අපි මේ කියන කතාව ඔබටත් පොදු කතාවක් වෙන්නට පුළුවන්. දැන් පසුතැවිලා වැඩක් නෑ. මෙහෙම දේවල් කාටත් සිද්ධ වෙන්න පුළුවන්නෙ.

 

1. වටින්ගොඩින්

Image Source – exbackpermanently.com

තමුන්ගෙ පැරණි පෙම්වතියට කියන කතා අතරෙ වටින් ගොඩින් කරන ඇඟවීම් තමයි වැඩිපුරම තියෙන්නෙ. මට එකපාරටම ඔයාව මතක් වුනා කියන එක තමයි සුලබම කතාව. ඒ තරමට මගෙ මුළු හිත පුරාම ඉන්නෙ ඔයා වගේ සීන් එකකින් තමයි ඒ කතා ගැලපෙන්නෙ. ඒ අතරෙ තියෙනව බර්ත්ඩේ එකට, ලවු ඇනිවසරියට දෙන කෝල්. ඊටත් පස්සෙ තියෙනව ස්ථාන සහ බැඳුණු සංසිද්ධි. මං මේ ඉන්නෙ මං එදා ඔයාට මුලින්ම කැමතියි කියල කියපු තැන හිටගෙන කියල කෝල් දෙන පැරණි ප්‍රේමාතුරයොත් ඉන්නව. ඊටත් පස්සෙ එනව සුලබම එක. ඔයා මට දීපු තෑගි තාම මගේ ගාව. මට ඒවා විසික් කරන්න හිත දෙන්නෙ නෑ. තාමත් මම ඒවා මගේ ළඟින්ම තියාගෙන ඉන්නව කියල ෆෝන් එක තිබ්බට පස්සෙ හිතට පොඩි ලැජ්ජාවක් ඇති වෙන්නත් පුළුවන්. ඩ්‍රින්ක් එකක් දැම්මම මේ විදියෙ දේවල් කරන්න පුළුවන් විදි ඕනතරං හිතට පහළවෙනවා. ඒක නවත්තන්න විදියක් නෑ.

 

2. තාමත් ආදරෙයි!

Image Source – memegenerator.net

හම්මා! බිවුවම චණ්ඩි වෙන අයියලාට පරණ ප්‍රේම කතාව මතක් වුනාම ඒ ගැම්මටම ගන්නව එයාට කෝල් එකක්. එයාලා ඉතිං කෝල් දීලා වටින් ගොඩින් කතා කිය කිය ඉන්නෙ නෑ. කෙලින්ම කතා කරල කියනව මම තාමත් ඔයාට කැමතියි. ඔයා කැමති නං අපි මේ අෆයා එක ආයෙ පටන්ගමු කියල. ගෑනු ළමයි සමහරක් දෙනා කෙලින් කතා කරන පිරිමින්ට කැමති වුනත්, බොහෝමයක් දෙනා මෙහෙම කට්ටියව මගහරිනවා. බොහෝවෙලාවට වෙරි මතෙන් මේ කියන දේවල් කිවුවට පස්සෙ පොඩි ලැජ්ජාවක් ඇති වුනත්, ඒ වෙලාවෙ එහෙම කිවුවෙ ඇත්තටම ආදරේ නිසා වෙන්නැති නේද කියල කට්ටියට හිතෙනවා.

 

3. කෑවා මාව!

Image Source – kjzz.org

හම්බෝ පරණ ආදර කතාවට කියන්න තියෙන නරකම කතාව තමයි මේ. දෙන්නත් එක්ක ලවු කරලා ​දෙන්න දෙන්නගෙන් වෙන් වුනාට පස්සෙ දෙන්නා දෙන්නාට චෝදනා කරගැනීම. බොහෝවෙලාවට දෙන්නම වැරදි වෙන්න පුළුවන්. සමහර වෙලාවට දෙන්නම වැරදි වැටහීමක වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං දෙන්නගෙන් එක්කෙනෙක් වැරදියි වෙන්න පුළුවන්. මොකෙන් මොකක් වුනත් ඒ ඒ සම්බන්ධකං දැන් නැත්තෙ ඒවා නොතිබිය යුතු නිසානෙ. හැබැයි ගියාට පස්සෙ ඒ ගැන ආයෙ බැන බැන යන එක අවුල්. හැබැයි ඉතිං ඔය ඇත්ත අරක්කු අඳුරන්නෙ නැහැනෙ. ඉතිං ඒක විසින් වැරදි දේ කටින් කියවන්න පොළඹවන්න පුළුවන්. අන්න ඒ වැරැද්ද සිද්ධ වෙන්න තියෙන ඉඩ අඩු කරගන්න එක බොන සැමගේ වගකීමක්.

 

4. රික්වෙස්ට්

මේකත් ටිකක් විතර දැනෙන අවුලක්. ලවු එක ඉරි තලලා ගිහින් දෙන්න දෙමහල්ලො වෙන් වෙලා ඉන්න අවස්ථාවක් ගැන හිතමු. කොල්ලා ඉන්නෙ මත් වෙලා. ඉතිං ඒ මත් වෙච්ච තරුණ පිරිමි හිතට හිතෙන්න ගන්නව තමුන්ගෙන් වෙන් වෙච්ච ගෑනිගෙ හොඳ. හැබැයි එයාගෙ ආදරේ තියෙන නොගැලපීම නිසාම එයා ළංවීම අවුලක්. හැබැයි ආදරේ කරන්න ළං නොවී එයා යාලුවෙක් විදියට ළංවුනොත් ෂෝක් නේද කියල හිතෙනවා. ඒ ඇතුළෙ චුට්ටං රාගික හැඟීමකුත් ගැබ්වෙලා නැතුවම නෙමෙයි. ඇයි ආදරේ කරන කාලෙ විඳපු ඒ දෙතොලේ රස සිහිවෙනවනෙ. ඉතිං යාලුවෙක් විදියට ළං වුනොත් ඒ තරමකින් වත් ඒ සුන්දර පහස විඳින රහස් සතුට හිත අස්සෙ තියාගෙනයි වෙරි වෙච්ච මනසින් ඔය පණිවුඩේ යවන්නෙ.

 

5. සතුටින්ද ඔයා?

Image Source – vectorstock.com

මේකනං කෙල්ලො පොඩ්ඩක් විතර වාත ගුණාංගයක් විදියට දකින තත්ත්වයක්. ඇයි ඉතිං කලින් කොල්ලා බීලා ඉන්න වෙලාවක තමුන්ට ආදරෙන් පණිවුඩයක් එවනව කියල දැනගත්තම කොයි කෙල්ලගෙත් හිතේ පොඩි ආඩම්බරකාර සතුටක් ඇති වුනත්, කොල්ල මෙසේජ් එකක් දාන්නෙ තමුන්ගෙ ඕපදූප හොයන්න කියල දැනගත්තම කේන්ති යනවනෙ. හැබැයි ඒක වෙන්නෙ මෙහෙමයි. කොල්ලො හදන්නෙ කෙල්ලගෙ හිතේ තාම ඉඩක් තියෙනවද කියල හොයාගන්න. ඒක එයාලා අහන්නෙ ඔයා දැන් සතුටින්ද? ඔයාට දැන් කොල්ලෙක් ඉන්නවද? වගේ දේවල් අහල. හැබැයි දකින පරක්කුවට ඕනම කෙල්ලෙකුට හිතෙන්නෙ මූ මේ ඔත්තු බලනව තමයි කියල. බොහො කෘරයි අහෝ මෙලොව ධර්මේ!

 

6. බ්ලැක්මේල්

Image Source – videoblocks.com

මෙන්න මෙවුවනං මහත්තයො වැරදි වැඩ. කෙල්ලෙකුයි කොල්ලෙකුයි ආදරේ කරන කාලෙ රාගයේ වෙලෙන්න යන්නෙ දෙන්න දෙන්නා ගැනම විශ්වාසෙ තියලනෙ. මෙවුවා ඒ විශ්වාසෙ පළුදු වෙන වැඩ. කොල්ලයි කෙල්ලයි නිරුවතින් හරි අඩ නිරුවතින් හරි ගන්න පින්තූර ඒ මොහොතෙ ගන්නෙ එක්කො හොරෙන්, එක්කො බලහත්කාරයෙන්, නැත්තං විශ්වාසයෙන්. මේ කොයි විදියෙන් පින්තූරෙ ගත්තත් ඒක දෙන්නට විතරක් සීමා කරගෙන පිටතට නිකුත් නොකර ඉන්න එක තමයි දෙන්නගෙම මනුස්සකම. හැබැයි ඩ්‍රින්ක් එකක් දාලා ඉවර වෙලා මේ පින්තූර යව යව කෙල්ලව බ්ලැක්මේල් කරන්න ගන්නවනං ඒ නපුංසකකමට අරක්කුවලට බැනල වැඩක් නෑ හොඳේ.

 

7. හපෝ මෙයානං!

Image Source – badgerherald.com

මේකත් සුලබ තත්ත්වයක්. කලින් එක ඕන කියලා කියන්නෙත් නැතුව, එයාට ආදරෙයි කියල කියන්නෙත් නැතුව, එයාව මතක් වෙනව කියල කියන්නෙත් නැතුව කොල්ලො කරන වැරදි වැඩක් තමයි ඩ්‍රින්ක් එකක් දාලා ඉවර වෙලා දැන් කෙල්ලගෙ වැරදි කියන එක. මේක හරිම නරක පුරුද්දක් වගේම මේක කරන මනුස්සයා ගැන අවුල් හැඟීමක් ඇති වෙන පුරුද්දක්. ඒ නිසා අරක්කු මතෙන්වත් මෙහෙම අවුලක් නොවෙන්න ඉන්න පුළුවන්නං ගොඩ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *