මගේ කෙල්ල මාව පාවිච්චි කරනවද? ඒක කොහොමද දැනගන්නේ?

හරි, සරලවම කතන්දරේ හිතලා බලමු. මොකද්ද මනුස්සයෙක් අපිව පාවිච්චි කරනවා කියන්නේ? ඒ කියන්නේ කෙනෙක් තමන්ගේ පුද්ගලික හෝ තමන්ට අදාළ වෙන යම් ලාභ ප්‍රයෝජන වෙනුවෙන් මනුස්සයෙක්ව දිගින් දිගටම තියාගෙන සිටීම. එතකොට මේ තියාගන්න පාවිච්චි කරන උපක්‍රමය එක්කෝ ව්‍යාජ ආදරයක් වෙන්න පුළුවන්, නැතිනම් ව්‍යාජ යාලුපිට් එකක් වෙන්නත් පුළුවන්. ඇයි මේ ව්‍යාජ ආදරේ, ව්‍යාජ යාලුපිට් එක කියන්නේ? ඇයි ඇත්තටම ආදරයක් තියෙනවා නම් කෙනෙක් තව කෙනෙක්ව ලාභ ප්‍රයෝජන වෙනුවෙන් විතරක් ආස්සරේ කරනවද? නැහැනේ.

හැබැයි එකක්. අපි ආදරේ කරන අයගෙන්, යාලුවන්ගෙන් සමහර වෙලාවට උදවු ඉල්ලනවා. ආදරේ කරන අයට, යාලුවන්ට උදවු ඕන වෙලාවට උදවු කරනවා. ඒත් මේ “පාවිච්චි කරනවා” කියන කතන්දරේ ඊට හාත්පසින්ම වෙනස්. කොහොමද ඒ වෙනස හොයාගන්නේ? කොහොමද කෙල්ලෙක් අපිට ඇත්තටම ආදරෙයිද නැතිනම් අපිව පාවිච්චි කරනවද කියලා දැනගන්නේ?

 

1. ෆ්‍රෙන්ඩ්සෝන්

Image Source – viewthevibe.com

මේක ටිකක් සංකීර්ණයි. දැන් ෆ්‍රෙන්ඩ්සෝන් වෙනවා කියන්නේ මේකයි. ඔන්න කොල්ලා කැමතියි කෙල්ලෙක්ට. කෙල්ල කොල්ලට කැමතියි. හැබැයි බෝයිෆ්‍රෙන්ඩ් කරගන්න නෙවෙයි, යාලුවෙක් විදියට ආස්සරේ කරන්න. ඉතින් කෙල්ල කියනවා “අපි යාලුවෝ වගේ ඉමු” කියලා!

දැන් කොල්ලත් යාලු ලෙවල් එකේ ඉන්නවා, කෙල්ලත් අවංකවම යාලුවෙක් විදියට සීමා පන්නන්නෙ නැතුව කොල්ලව ආශ්‍රය කරනවා කියමු. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ගැටළුව පටන් ගන්නේ, කෙල්ල කොල්ලාව ෆ්‍රෙන්ඩ්සෝන් එකේ තියාගෙන යූස් කරන්න ගියහම. ආන්න ඒක තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමේ තමයි ෆ්‍රෙන්ඩ්සෝන් එකේ සීමා මායිම් තේරුම් ගන්න එක.

ෆ්‍රෙන්ඩ්සෝන් එකේ කොල්ලව තියලා, කෙල්ල හැමදාම රෑට තමන්ගේ දුක කියන්න, තමන්ගේ ප්‍රශ්න කියන්න කොල්ලට කතා කරනවා නම්, බෝයිෆ්‍රෙන්ඩ් එක්ක වගේම තො‍ඳොල් වෙන්න, හුරතල් වෙන්න හදනවා නම්, කොටින්ම කොල්ලාව ෆ්‍රෙන්ඩ්සෝන් එකේ තියලා තිබ්බට කොල්ලා එක්ක ෆෝන් එකෙන් එහෙම කතා කරනකොට බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් වගේ මානසික සුවය බලාපොරොත්තු වෙනවා නම්, ඒ කියන්නේ කෙල්ල කොල්ලව යූස් කරනවා කියන එක තමයි.

හැබැයි වෙන කොල්ලෙක් එක්ක සෙට් වුණු දවසක මේ ෆ්‍රෙන්තො කොල්ලට හුලං!

 

2. උදවු ඉල්ලන්න තමයි මතක් වෙන්නේ!

Image Source – kucukpastane.com

සාමාන්‍යයෙන් කොල්ලන්ට බොහෝම හුරුපුරුදු අත්දැකීමක් තමයි මේක. ඔන්න කෙල්ලෙක් ඉන්නවා. කොල්ලා කෙල්ලට ක්‍රෂ්. ඉතින් කොල්ලා කෙල්ලට තුන්තිස්පැයේ කතා කරනවා. හැබැයි කෙල්ල නිකම් ඉන්න වෙලාවකට කොල්ලට කෝල් කරලා හායි හලෝ කියන්නවත්, ඔයාට කොහොමද අහන්නවත් යන්නෙ නෑ. හැබැයි කෙල්ල මේ කොල්ලට කෝල් කරනවා මොකක් හරි වැඩක් කරගන්න වුවමනා වුණු වෙලාවට. නැතිනම් උදව්වක් ඕන වෙලාවකට. මේ වැඩ සහ උදවු හදිසියේ රීලෝඩ් එකක් දාන්න කියන එකේ ඉඳලා හදිසියක් වෙලා රුපියල් පන්දාහක් එකවුන්ට් එකට දාන්න පුළුවන්ද අහන එක දක්වා, මොකක් හරි තොරතුරක් දැනගන්න එකේ ඉඳලා තමන්ගේ වැඩක් කොල්ලා ලව්වා කරගන්න එක දක්වා යනවා. වෙනදට උන්නද මලාද බලන්නෙ නැති, ඒත් උදවුවක් ඕන වෙලාවට නලව නලව කතා කරන මෙහෙම කෙල්ලෝ අනිවාර්‍යයෙන්ම හලලා දාන්න ඕන!

ඒ විතරක් නෙවෙයි, ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ විදියේ කෙල්ලෝ කොල්ලව පාවිච්චි කරනවා විතරක් නෙවෙයි, කොල්ලා කරන දේ සතපහක අගයක් තියෙනවා කියලා හිතන්නෙත් නෑ.

 

3. සල්ලි ගාණක් ඇත්තෙම නෑනේ ඔයාට?

Image Source – giphy.com

සාමාන්‍යයෙන් අපි දන්නවනේ දෙන්නත් එක්ක කොහේ හරි ගිහින් මොනවා හරි කෑවා බිව්වා වුනත්, වෙන දේකට වුනත් සල්ලි ගෙවන්නේ පිරිමියා කියලා ඔය ජෙන්ටල්මන්ස් කෝඩ් එකේ තියෙනවා කියලා. සමහර කපල් වල දෙන්නත් එක්ක සමෝසමේ බෙදාහදාගෙන තමයි ඕන කෑම බිලක් ගෙවන්නේ. තවත් සමහර කපල්ස් වල කොල්ලා මේ ජෙන්ට්ල්මන්ස් කෝඩ් එක උපරිමයෙන් රකින නිසා මිනිහම තමයි බිල් ගෙවන්නේ. ඒකට පුරුදු වුණු කෙල්ලෙක්, කොල්ලා එක්ක ඉන්නකොට තමන්ගේ වොලට් එක අදින්න හදන්නෙ නෑ.

හැබැයි ඇත්තටම අපිට ආදරේ කෙල්ලෙක්, අපිට බිල ගෙවන්න දීලා ඉන්නවා තමයි. හැබැයි අහලා බලනවා අපි ගාව සල්ලි තියෙනවද කියලා ෂේප් එකේ. ඕනෑවට වැඩියෙන් දරන්න බැරි බිල් දාන්නෙ නෑ. කොල්ලා ඕනවට වඩා ලෝස් නැතුව වියදම් කරනකොට වුනත්, කොල්ලට පොඩ්ඩක් සකසුරුවම්කම පුරුදු කරන්න උත්සාහ කරනවා, දෙන්නගේම අනාගතේ ගැන හිතලා.

අන්න එහෙම නොවෙන, අපි බිල ගෙවලා සල්ලි නැතුව පයින් ගෙදර ගියත් ගාණක් නැති, කොල්ලා අතේ තියෙන්නේ කීයක්ද කියලවත් නොහිතා මෙනු එකේ තියෙන ගණන් වැඩිම දේවල් ටික ඕඩර් කරන කෙල්ලෙක් නං පුතේ එයා ඔයාව යූස් කරනවා තමයි!

 

4. එයාට ඕනෑ වෙලාවට!

Image Source – gph.is

සාමාන්‍යයෙන් දෙන්නෙක් ආදරේ කරනකොට ඒක දෙපැත්තටම වාහන යන පාරක් වෙන්න ඕනනේ. ඒ කියන්නේ ආදරේ කියන්නේ ගනුදෙනුවක් නොවුනත්, ඒක දෙපැත්තටම තියෙන්න ඕන. හැබැයි හිතමු ඔන්න කෙල්ලෙක් ඉන්නවා, එයා කොල්ලගේ කෝල් එකකට මලාට ආන්සර් කරන්නෙ නෑ. කොල්ලා කොච්චර කිවුවත් කොල්ලා කියන දවසකට කොල්ලව හම්බුවෙන්න යන්නෙ නෑ. හැබැයි තමන්ට කම්මැලි වෙලාවට කොල්ලට කෝල් කරනවා. කොල්ලා ජනාධිපති එක්ක මීටිමක හිටියත් ඒ කෝල් එක ගන්න ඕන. එතකොට මුණගැහෙන එක වුනත් තමන්ගේ ඔක්කොම රාජකාරි ඉවර කරලා, යාලු මිත්තරයෝ එක්ක කරන වැඩත් ඉවර කරලා, තව වෙලාවක් ඉතුරු වුනොත් විතරක්, ගෙදර ඉන්න තමන්ට කම්මැලියි කියලා හිතුනොත් විතරක් ඔන්න කොල්ලට කියනවා අද හම්බෙමු කියලා!

මෙන්න මේකත් එක්තරා විදියට පාවිච්චි කිරිල්ලක් තමයි පුතාලා!

 

5. අහං ඉන්න, අහගෙන ඉන්න!

Image Source – dialteg.org

මේ කතන්දරේ අපි පළවෙනියටම කියපු ෆ්‍රෙන්ඩ්සෝන් සීන් එකටත් සම්බන්ධයි. දැන් කෙල්ලට මොකක් හරි දවසේ ප්‍රශ්නයක් වුනොත්, හිත රිදුනොත්, දුක හිතුනොත්, ස්ට්‍රෙස් වුනොත් ඔන්න කොල්ලට කතා කරනවා. කොල්ලා එතකොට ඔන්න හිත හදනවා. හරි, අවුලක් නෑනේ!

හැබැයි අපි කියමු කොල්ලට මොකක් හරි හිත් අමාරුවක් වෙනවා කියලා. කොල්ලට ඕන කතා කරන්න කෙනෙක්. තමන් එක්ක ඒ මොහොතෙදී ඉන්න කෙනෙක්. “හැමදේම හරියයි සුදෝ” කියන්න කෙනෙක්. ඒකට ඔලුවට එන්නේ ඉතින් මුලින්ම කෙල්ලවනේ. ඔන්න කතා කරනවා. හැබැයි කොල්ලා හිතේ අවුලෙන් කියලා දැනගත්තහම කෙල්ල කරන්නේ කොල්ලත් එක්ක ඉන්න එකවත්, හිත හදන්න උත්සාහ කරන එකවත් නෙවෙයි. මොකක් හරි පචයක් ගහලා ෆෝන් එක තියන්න ට්‍රයි කරන එක. සමහර වෙලාවට ආයෙමත් කොල්ලට කතා කරන්නෙත් දවසක් දෙකක් පන්නලා. ඒ කියන්නේ කොල්ලා ආයෙ නෝමල් වෙන්න ඉඩ තියලා.

මේවත් ඉතින් බොහොම දරුණුවට කෙරෙන මානසික පාවිච්චි කිරීම් තමයි! කෙල්ලෙක් අපිට යාලුවෙක් විදියට හරි, ආදරවන්තියක් විදියට හරි කැමති නම්, එයා ආසයි අපි කියන දේවල් අහගෙන ඉන්න. අපිට දුකක් ඇති වෙන වෙලාවට වෙන කොහෙවත් නොගිහින් අපි ඒ අය ගාවට එනවට.

 

6. නෑ කිසිම උණුසුමක්!

Image Source – youtube.com

සමහර වෙලාවට ඔන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි දැන ඇඳින ගන්නවා. කොල්ලා ටික කාලයක් යනකොට කෙල්ලට ෆුල් ලව්. ඉතින් ඔන්න කොල්ලා කෙල්ලට සෑහෙන්න කිට්ටු වෙනවා. හැබැයි කෙල්ල කොල්ලට වැඩි කිට්ටුවක් නෑ. හැබැයි ඈතින් ඉන්නෙත් නෑ. ඔහොම ගිහිල්ලා කොල්ලා දවසක යාලුවෙන්න ඇහුවොත් කෙල්ල ගොඩක් දුරට ඒකටත් හා කියලා යාලු වෙනවා. හැබැයි ඉතින් එච්චර තමයි. එතනින් එහාට කොල්ලට කෙල්ලගෙන් කිස් එකක් තියා අතින් අල්ලන්නවත් වෙන්නෙ නෑ. අඩු තරමින් ආදරෙන් වචනයක් අහන්න ලැබෙන්නෙ නෑ. මං ඔයාට ආදරෙයි වගේ දෙයක්වත් කෙල්ල බැරිවෙලාවත් කියන්නෙ නෑ. සමහර වෙලාවට කොල්ලා ඇහුවොත් එහෙම ඇයි මම ඔයාට ආදරේ තරම් ඔයා මට ආදරේ පෙන්නන්නෙ නැත්තෙ කියලා, “අනේ අයියේ මම එහෙම ආදරෙයි කියන විදියේ කෙනෙක් නෙවෙයිනේ” කියලා කියයි. නැත්තං “මම ආදරේ කරන විදිය ඒක නෙවෙයි” කියයි.

හැබැයි ඇත්තටම කතාව මේකයි. ආදරේ කියන එකත් එක්ක ආදර වචනයක් දෙකක් ඔටෝමැටිකලි එනවා. ආදරේ කරන කෙනාගේ අතින්වත් අල්ලන්න හිතෙනවා. එහෙම ඒවා එන්නෙ නැතිනම් එතන තියෙන්නේ ආදරයක් නෙවෙයි. කෙල්ල කොල්ලත් එක්ක එතනදී ඉන්නේ පාලු මකාගන්න හරි, ටයිම් පාස් කරගන්න හරි මිසක් ආදරේට නම් නෙවෙයි!

 

7. මෙච්චර කල් ගිහිල්ලත් යාලුවෝ දන්නෙ නෑ!

Image Source – stocksy.com

දැන් අපි කියමු ප්‍රේම සම්බන්ධතාවයක් මාස අවුරුදු ගණන් දිග දුර ඇදෙනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ තමයි අපි අනෙක් කෙනාගේ පවුලේ අය ගැන, යාලු මිත්තරයෝ ගැන, වැඩ කරන තැන මිනිස්සු ගැන අඳුනාගන්න එක. හැබැයි සමහර කෙල්ලෝ ඉන්නවා, කොල්ලව නිකමටවත් තමන්ගේ යාලු මිත්තරයන්ට අඳුන්වලා දෙන්නෙ නෑ. හරි, ගෙදරට අඳුන්වලා දෙන්න තාම බයයි කියමු. ඔෆිස් එකට අඳුන්වලා දුන්නොත් අනවශ්‍ය ප්‍රශ්න කියමු. ඒත් සාමාන්‍යයෙන් කල් ගියපු ලව් එකක් යාලුවන්ට නොකියා ඉන්නෙ නැහැනේ.

ඔන්න ඔය කාරණේ එක්ක අපි උඩින් කියපු තවත් කාරණේකුත් දෙකකුත් සෙට් වෙනවා නම් ඔන්න කන්ෆර්ම්, කෙල්ල ඔයාව යූස් කරනවා තමා!

දැන් මේ ලියලා තියෙන්නේ කෙල්ලෙක් කොල්ලෙක්ව පාවිච්චි කරනකොට කොහොමද දැනගන්නේ කියන එකනේ. එතකොට ඒ කියන්නේ කොල්ලෝ කෙල්ලන්ව පාවිච්චි කරන්නෙ නැහැයි කියලද? අපොයි නෑ. කොල්ලොත් කෙල්ලන්ව යූස් කරනවා අන්තිම කැත විදියට. හැබැයි ඒක අපි වෙන දවසකට තිබ්බා.

අපේ ෆේස්බුක් පේජ් එකේ කමෙන්ට් එකක් දාගෙන කියලා යන්න කෙල්ලෝ කොල්ලන්ව යූස් කිරීම ගැන ඔයාලගේ අදහසත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *