බටහිර රටවල තියෙන ඩේටින් කල්චර් එක ලංකාවට ගැලපෙන විදියට හදාගමුද?

දැන් ඔය ඩේටින් කියන සීන් එක ලංකාවේ නැති තරම් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ කියන්නේ ලංකාවේ තියෙන්නේ එක්කෝ ෆේස්බුක් එකේ හරි ඉන්ස්ටග්‍රෑම් එකේ හරි දැකලා, එතන ඉඳන් ඔන්ලයින්ම ලව් එක ගෙනියන සිස්ටම් එකක්. නැත්තං කෙල්ලෙක්ව දැකලා හිත ගිහින්, කෙල්ලගේ පස්සෙන් ගිහිල්ලා අමාරුවෙන් කෙල්ලව යාලු කරගන්න සිස්ටම් එකක්. නැත්තං කෙල්ලට හිත ගියාට පස්සේ කෙලින්ම කෙල්ලගේ ගෙදරට ගිහින් ‘නැන්දම්මේ දුව දෙනවද?’ කියලා අහන සිස්ටම් එකක්. ඔය හැම සිස්ටම් එකේම තියෙනවා පොඩි අවුලක්. ඒ තමයි දෙන්නට දෙන්නා දැන ඇඳින ගන්න තියෙන ඉඩකඩ අඩු වීම.

හැබැයි ඔය අපි හොලිවුඩ් ෆිල්ම් වල එහෙම දකින බටහිර ඩේටින් සංස්කෘතිය සිරා කියලා හිතෙන්නේ ඔන්න ඔය වෙලාවට. උදාහරණයක් විදියට දෙන්නට දෙන්නා අඳුන ගන්න කල් “අයි ලවු යූ නංකි” කියන්න කවුරුත් හදිසි වෙන්නෙ නෑ. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඔය බටහිර රටවල සංකර සීන් අපිට ගැලපෙන්නෙ නෑ කියලා. අපි කියන්නේ අපි ලංකාවටත් ගැලපෙන විදියට ඩේටින්ග් සංස්කෘතියක් හදාගමු කියලා.

ඒක කරන්නේ මෙන්න මෙහෙමයි!

 

1. මුලින්ම හිත ගියාට පස්සේ

Image Source – videoblocks.com

හිත යන එක ඕනම විදියකට වෙන්න පුළුවන්නේ. එක්කෝ ෆේස්බුක් එකේ දැකලා හිත යන්න පුළුවන්. එහෙම නැතිනම් බස් එකේදී දැකලා හිත යන්න පුළුවන්. ඔය කොයි විදිය වුනත් හිත ගිය තැන මාලිගාව කියලා ඔන්න ඉතින් කෙල්ලගෙන් එක්කෝ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලනවා පරණ තාලෙට. එහෙම නැත්තං නම අහගන්නවා, ෆේස්බුක් එකේ සර්ච් කරලා බලලා ඇඩ් කරගන්න. එහෙමත් නැත්තං වැඩකරන තැනක් එහෙම දන්නවා නම් වටින් පිටින් විස්තර හොයලා බලනවා. එතනට එනකල් ලංකාවේ විදිය කිසිම අවුලක් නෑ.

 

2. මුණගැහෙන්නත් කලින්ම ආදරෙයි

Image Source – fairobserver.com

මෙන්න මේක තමයි දැන් කාලේ ලව් වල තියෙන ප්‍රධාන ගැටළුව. ගොඩක් වෙලාවට දැන් කාලේ ෆේස්බුක් එකෙන් තමයි කෙල්ලෝ කොල්ලෝ අඳුනගන්නේ. ඒකත් ගැටළුවක් නෑ. හැබැයි ඉන් පස්සේ මුණගැහෙන්නත් කලින්ම ලව් එක පටන් ගන්නවා. දෙන්නට දෙන්නා දැකලා තියෙන්නෙත් ෆේස්බුක් එකේ දාන ෆොටෝ වලින් විතරයි. හැබැයි ඔය වගේ ක්ෂණික නූඩ්ල්ස් ලව් දිග දුර යන්න තියෙන ඉඩ බොහොම අඩුයි. මොකද දෙන්නට දෙන්නා ‘ඉන් අ රිලේෂන්ෂිප්’ කියලා ස්ටේටස් දැම්මට දෙන්නට දෙන්නා ගැන හරියට නොදන්නවා වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.

 

3. පළවෙනි ඩේට් අවුට් එක

Image Source – 10india.com

සාමාන්‍යයෙන් ලංකාවේ පළවෙනි ඩේට් අවුට් එක නැතිනම් මුලින්ම දෙන්නා මුණගැහෙන දවස විවිධාකාර වෙන්න පුළුවන්. කලාතුරකින් සමහරු කෙලින්ම ඩිස්ටි ඩිඩිං එකෙන්ම පළවෙනි දවස පටන් ගන්නත් පුළුවන්. හැබැයි පොදුවේ ගත්තහම ගොඩක් දෙනෙක් පළවෙනි ඩේට් අවුට් එකේදී කොහේ හරි මුණගැහිලා කතාබහ කරන්න වගේ දෙයක් තෝරගන්නවා. අන්න ඒක තමයි ක්‍රමය. හැබැයි ඒක තව පිළිවෙලට කරන්න පුළුවන්. ඒ කියන්නේ කෝපි එකක් හරි, ඒ බැරිනම් තේ එකක් හරි බොන්න දෙන්නත් එක්ක යන්න පුළුවන්. ලන්ච් එකකට හරි ඩිනර් එකකට හරි යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන කාරණාව මේකයි. මේ යන්නේ ඇත්තටම කාලා බීලා එන්නම නෙවෙයි. මෙතන මූලික අදහස වෙන්නේ දෙන්නට දෙන්නා එක්ක කතාබහ කරන්න, දෙන්නට දෙන්නා දැනහැඳින ගන්න ඉඩක් ලබාගන්න එක.

හැබැයි පළවෙනි මුණගැහීමෙදී වුනත් “මම ඔයාට ආදරෙයි” කියන්න හදිස්සි වෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ.

 

4. එයා නෙවෙයි කෙනා!

Image Source – youtube.com

සමහර වෙලාවට පළවෙනි මුණගැහීමෙන්ම දැනෙන දෙයක් තමයි තමන්ට සෙට් වෙන කෙනා මෙයා නෙවෙයි කියන එක. ඒ කියන්නේ කසාද බැඳිල්ලක් ගැන නෙවෙයි අපි කියන්නේ. සාමාන්‍යයෙන් ආදර සම්බන්ධතාවයකට යන්න වුනත් තමන්ට ඉන්ටරස්ට් වෙන කෙනෙක් වෙන්න ඕනනේ. සමහර වෙලාවට ඔය ෆේස්බුක් එකෙන් එහෙම සෙට් වුණු සම්බන්ධයක් නම්, ඇත්තට දැක්කට පස්සේ  ඒක හරියන්නෙ නෑ කියලා හිතෙන්න පුළුවන්. කාරියක් නෑ. මනුස්ස සොබාවයනේ ඔව්වා. හැබැයි ඩේට් අවුට් එක මැද්දෙන් කඩන්න හදන්න එපා. ඒක කැතයි. ඩේට් අවුට් එක එන්ජෝයි කරන්න. හොඳ හිතින් වෙන් වෙලා යන්න. හැබැයි ඊට පස්සේ ෆෝන් ආන්සර් නොකර ඉන්නත් එපා. ‘අපි දෙන්නා නෙවෙයි දුර ගමනකට ගැලපෙන්නේ’ කියලා එයාට කෙලින්ම කියන්න.

මේක අනික් පැත්තට වුනත් සිද්ධ වෙන්න ඕන එහෙමම තමයි.

 

5. දෙවෙනි ඩේට් අවුට් එක

Image Source – techinasia.com

සාමාන්‍යයෙන් පළවෙනි ඩේට් අවුට් එක හොඳට ගියා නම්, දෙවෙනි ඩේට් අවුට් එකට යන්න පුළුවන්. හැබැයි පළවෙනි ඩේට් අවුට් එකට පස්සේ හත් අවුරුද්දක් ඉඳලා හරියන්නෙ නෑ දෙවෙනි ඩේට් අවුට් එකට යන්න. පළවෙනි එක ගොඩ නම් දෙවෙනි සතියේවත් දෙවෙනි ඩේට් අවුට් එක දාගන්න තියෙන්නේ. මේ ඩේට් අවුට් එකේදී අර පළවෙනි එකේ තරම් හිත නොසන්සුන් නැතුව, වඩා රිලැක්ස් එකේ කතා බහ කරලා, එන්ජෝයි කරලා එන්න පුළුවන්. තාමත් හැබැයි ආදරෙන් පිස්සු වැටෙන්න නම් කල් වැඩියි. මේ වෙනකොටත් කොල්ලෙක් තමන් එක්ක ඩේට් අවුට් එකට එන කෙල්ල ගැන පිස්සු වැටිලා නම්, ඒ කියන්නේ එක්කෝ කොල්ලා උපරිම ඩෙස්පරේට් තත්ත්වෙක ඉඳලා තියෙන්නේ. නැත්තං කෙල්ල සුපර් හොට්. ඉතින් ඔය දෙකෙන් කෝක වුනත් දීර්ඝ කාලීන දෙයක් වුවමනා නම් ඔය දෙකම හරියන්නෙ නැහැනේ.

දෙවෙනි ඩේට් අවුට් එකේදී තමන් දෙන්නා ගැන තවත් වැඩිදුර තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. සමහර වෙලාවට මේ වෙනකොට පුද්ගලික දෙයක් කියන්න වුනත් විශ්වාසයක් දැනෙන්න පුළුවන්.

 

6. තුන, හතර, පහ

Image Source – menshealthindia.com

ඇත්තටම දෙවෙනි ඩේට් අවුට් එකත් සාර්ථකව අවසාන වෙලා තුන් වෙනි වටයට එනවා කියන්නේ දෙන්නට දෙන්නා කැමතියි කියන එක තමයි. හැබැයි මතක තියාගන්න, ‘මම ඔයාට හරි කැමතියි’ කියන්නේ ‘මම ඔයාට ආදරෙයි’ කියන එක නෙවෙයි. කොහොම වුනත් තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි ඩේට් අවුට් වෙන කොට දෙන්නට දෙන්නා එකට ඉන්න සෑහෙන කම්ෆර්ටබල් වෙලා. කිසි අසීරුවක්, අමුත්තක් දැනෙන්නේ නැති තරමට ඇවිල්ලා. ඕන නම් දෙන්නත් එක්ක ෆිල්ම් එකක් වුනත් බලන්න යන්න පුළුවන් ලෙවල් එකක තමයි දෙන්නම මේ වෙනකොට ඉන්නේ.

හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ වෙනකොට දෙන්නම තමන්ගේ නිර්ව්‍යාජ මුහුණු එකිනෙකාට පෙන්නන්න ඕන. ඒ කියන්නේ රඟපාලා හරියන්නෙ නෑ. එතකොට කවදාවත් අනික් කෙනාට තමන් රැවටුනා කියලා හිතෙන්නේ නෑ. ඒ එක්කම දෙන්නට වඩාත් පුද්ගලික කාරණා, සෙක්ස් වගේ දේවල් ගැන එහෙමත් මේ වෙනකොට විවෘතව කතා බහ කරන්න පුළුවන් වෙන්න ඕන.

 

7. හය වෙනි ඩේට් එක! ඉතින් ඊට පස්සේ?

Image Source – travelpleasing.com

හය වෙනි ඩේට් එකට එනකල් කපල් එකක් දුරක් ඇවිත් කියන්නේ ඇත්තටම සැලකිය යුතු තරම් ඉදිරි ගමනක්. මේ වෙනකොට අර කැමැත්ත කියන එක ඇත්තටම ලිංගික ආකර්ෂණයක්ද, යාලුවෙක් වගේ ඉන්න තියෙන කැමැත්තක්ද නැතිනම් ආදරයක්ද කියන එකත් වැටහෙන්න පටන් අරගෙන. සාමාන්‍යයෙන් හොලිවුඩ් ෆිල්ම් එකක නම් හය වෙනි ඩේට් එක වෙනකොට දෙන්නා ඇඳටත් ගිහිල්ලා.

කොහොම වුනත් දෙන්නා අවංකවම, රඟපාන්නේ නැතුව මේ තරම් දුරක් ආවා නම්, ඒ කියන්නේ දෙන්නටම එකිනෙකා ඇත්ත ජීවිතේ ඇත්තටම ඉන්න විදිය ගැන ඕකේ. ආන්න ඒ කියන්නේ දෙන්නට දිග දුර ගමනක් යන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙනකොට ඇත්තටම ආදර හැඟුම් දැනෙනවා නම්, “මං ඔයාට ආදරෙයි” කිව්වට කමක් නෑ.

එතකොට ඊළඟ මාසේ කසාදෙද? පිස්සු කෙලින්න එපා. මෙතනින් එහාට තමයි හරියටම ආදර සම්බන්ධතාවය පටන් ගන්නේ. කසාදෙකට යන්න නම් තව කාලයක් ඒ ආදර සම්බන්ධතාවය එළ කිරි වගේ යන්න ඕන. අන්න එතකොට මට මේකි/මේකා නැතුව ඉන්න බෑ වගේ එකක් දැනෙනවා නං, අන්න කසාදේ ගැන හිතන්න කාලෙ හරි කියන්න පුළුවන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *