වයසින් වැඩි ලව් එකක් බැලන්ස් කරන්න කොල්ලෙක්ට වැදගත් ටිප්ස් 7ක්

ආදරේට කොහෙද මචං වයස් සීමා තියෙන්නේ. ෂුවර් නැද්ද? එහෙමනම් අහලා බලන්න අයිශ්වර්යා අක්කිගෙනුයි අභිෂේක් බච්චන් අයියගෙනුයි. නැත්තං ජෙනිෆර් ලොපේස් ඇන්ටිගෙනුයි කැස්පර් ස්මාට් මල්ලිගෙනුයි ඇහුවත් කමක් නෑ. ඒ දෙන්නගේ වයස් පරතරේ අවුරුදු 18 ක්! එහෙම නැතිනම් ඉතින් මෑතකාලේ අපිට තියෙන හොඳම උදාහරණේ නික් ජෝනාස් මල්ලියි, එයාට වඩා අවුරුදු දහයකින් වැඩිමල් ප්‍රියංකා චොප්රා අක්කියි තමයි. දැන් ඔය උදාහරණ දිහා බලලා සිංගල් අක්කිලා හිත හදාගෙන ඉන්නවා තමන්ගේ උරුමක්කාරයා තාම ඕලෙවල් පංතියේනේ දෙයියනේ කියලා. සමහර වෙලාවට පහේ ශිෂ්‍යත්වෙට ලැහැස්ති වෙනවා වෙන්නත් පුලුවන්. එතකොට මල්ලිලා අයියලාත් නංකිලාට බැල්මට් දාන එක අතෑරලා අක්කිලා ශෝයි කියලා මේ දවස් වල කියනවා!

හරි, ඇත්ත කතන්දරේ මේකයි. ආදරේට ඇත්තටම වයස බාධාවක් කියලා අපිට කියන්න බෑ. ඒත් ඉතින් කැම්පස් එකේ කියන විදියට ඔය අක්කා මල්ලි පන්නේ ලැම්බට් ලව් එකක් කරනවා නම් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන ප්‍රායෝගික දේවල් ටිකක් තියෙනවා. අපි විශ්වාස කරන්නේ ආදරයක් හැමදාමත් පවතිනවා නම් තමයි ඒක ලස්සන කියලා. හැබැයි මෙහෙම ගෑණු ළමයා වයසින් වැඩි අවස්ථාවක් ආවොත්, එතනදී ප්‍රයෝගික තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕන දෙන්නම. ආන්න ඒකට උපදෙස් කීපයක් තමයි මේ දෙන්න හදන්නේ.

 

1. සම්බන්ධතාවේ මොකද්ද ඇත්තට?

මෙන්න මේක බොහොම සංවේදී කාරණාවක්. දැන් ඔය සමාජේ අපි දකින සම්බන්ධතා විවිධාකාරයිනේ. ආදර සම්බන්ධතා සමහර ඒවා පවතිනවා ආදරේ මත. ඒවා ලෝකෙන් හංගන්න දේකුත් නෑ. හැබැයි සමහර ආදර සම්බන්ධතා ලොවට හොරා තමයි යන්නේ. සමහර සම්බන්ධතා සෙක්ස් වලට විතරයි. අපි කලිනුත් ඉතින් ඔය ඇන්ටි පාරවල් කියාගෙන පටන් ගන්න එව්වා ගැන කියලා තියෙනවනේ. හැබැයි දැන් වයසින් වැඩිමහල් කාන්තාවක් හෝ ගැහැණු ළමයෙක් එක්ක ලව් කරනවා නම් අනිවාර්යයෙන්ම මුලින් මේ මොකද්ද සම්බන්ධය කියලා දෙන්නා වාඩි වෙලා කතාබහ කරලා තේරුම් ගන්න ඕන. ලෝකෙට නිර්භීතව මුහුණ දීලා විවාහයක් වෙනකල්ම යන්න, නැතිනම් ලිවින්ග් ‍ටුගෙදර් වගේ වැඩකට යන්න, දෙන්නම ඒ තීරණේ ගන්න ඕන. සම්බන්ධතාවය රහසේ පිපෙනා මල් වගේ හඳ එළියේ කරගෙන යනවා නම් ඒත් දෙන්නම එකඟ වෙන්න ඕන.

 

2. අපේ අනාගතේ…

Image Source – harperbazaar.com

අර උඩින් කියපු කාරණාව කතාබහ කරගත්තනේ. දැන් එතනින් නැගිටින්නේ නැතුව ඊළඟ කාරණාවත් කතාබහ කරගමු. ඒ තමයි ඇත්තටම අපේ අනාගතේ මොකද්ද කියන එක. දැන් ප්‍රියංකා අක්කා අර නික් මල්ලියව බැන්දේ ජීවිත කාලෙම තමන් ගාව තියාගන්න මිසක්, ප්‍රියංකා අක්කිට තව අවුරුදු පහළොවක් විතර වයස් ගියහම මල්ලි මාරු වෙලා යන්න නෙවෙයිනේ. හැබැයි කණගා‍ටුවට කාරණාව මේකයි. සමහර වෙලාවට වයසින් වැඩිමහළු කාන්තාවක් හෝ ගැහැණු ළමයෙක් එක්ක ආදර සම්බන්ධයකට එළඹෙන කොල්ලෙක් අවංක වෙන්නෙ නෑ. සමහර වෙලාවට කොල්ලගේ හිතේ තියෙන්නේ මේ වාහනෙන් ඩ්‍රයිවින් ලයිසන් ගන්න ට්‍රයල් පෙන්නලා, ටික කාලයක් අත හුරු කරගෙන ෂේප් එකේ තමන්ටම කියලා අලුත් ඉංග්‍රීසි නොම්බරයකින් එක්ස් ට්‍රේල් එකක් බස්සන්න වෙන්න පුලුවන්, ආන්න ඒවා කැතයි.

දෙන්නම කතා බහ කරන්න ඕන මොකද්ද අනාගතේ කියලා. දෙන්නා කසාද බඳිනවා නම් ප්‍රශ්නයක් නෑ. ලිවින් ‍ටුගෙදර් නම්, ඒක කොයි තරම් කාලෙකටද, මොනවද දෙන්නගේ කොන්දේසි කියන ඒවා ගැන බොහොම විවෘත කතාබහක් ඕනා.

 

3. අක්කි බබා! මං බබා!!

Image Source – lunchclick.co

දැන් අපි කියමු අවුරුදු තිහක් වයස කොල්ලෙක් බඳින්න යන්නේ තිස් එකක් වයස කෙල්ලෙක්ව කියලා. ඇත්තටම වයසින් අවුරුද්දක් වැඩිමහල් වුනා කියලා කෙල්ල කොල්ලට වඩා මාර විදියට මුහුකුරා ගිහින් නැති වෙන්න පුලුවන්. මොකද දෙන්නම ඇත්තටම මෙතනදී සම වයසේ වගේ තමයි. හැබැයි ඉතින් මොනව වුනත් අක්කිනේ. ආන්න ඒ අක්කි සීන් එකේ තියෙනවා පොඩි ආතල් එකක්. අන්න ඒ ආතල් එක නිසාම සමහර වෙලාවට කොල්ලා බබා වෙන්න හදනවා. හැබැයි මෙහෙම ලැම්බට් ලව් එකක් වැඩ කරන්න නම් කොල්ලා බබා වෙලා බෑ පු‍තෝ! කොල්ලා කෙල්ලට වඩා දහයක් වයසින් බාල වුනත්, කොල්ලා ජීවිතේ තේරුම් ගත්තු, මුහුකුරා ගියපු ඩෑල් එකක් වෙන්න ඕන. එහෙම නැතිනම් දීර්ඝ කාලීනව ලව් එක හබක් වෙන්න ඉඩ වැඩියි. මොකද කොල්ලා සහ කෙල්ල තීරණ ගන්න ඕන තැන්වලදී කොල්ලා ‘අනී මං බබා! අක්කි බබාට ඌන දෙයක්’ ලෙවල් එකේ හිටියොත් හරියන්නෙ නෑනේ!

 

4. දරුමල්ලෝ!

Image Source – moneycrashers.com

ඉස්සර නම් දොස්තරවරු කියන්නේ ගෑණු ළමයෙක් ඉතාම ඉක්මනට කසාද බැඳලා ළමයි හදන්ඩෝනේ, එහෙම නැතිනම් පහු වෙනකොට කරදරයි කියලනේ. දැන් ඉතින් ඉස්සර වගේ අවුරුදු දහ අටෙන් බන්දලා දෙන්න, විසි දෙකෙන් ළමයි හදන්න ඕන නෑ. හැබැයි ඉතින් කාන්තාවක් ගොඩාක් වයස්ගත වෙන්න කලින් දරුවෙක් ගැන හිතන එක හොඳයි. මොකද වෛද්‍යමය වගේම මානසික සංකූලතා පුලුවන් තරම් අඩු කරගන්න පුලුවන්. අන්න එතකොට වයසින් ටිකක් වැඩි ගෑණු ළමයෙක්ව විවාහ කරගන්න බලාපොරොත්තු වෙනවා නම්, දෙන්නම මේ දරුමල්ලෝ කියන කාරණාව ගැන හිතලා බලන්න ඕන. කතාබහ කරලා තියෙන්න ඕන. තමන්ගේ කියලා කාල වකවානු සැලසුමකට වැඩ කරන්නත් ඕන.

 

5. වයස කොහොම ගියත් කොල්ලයි කෙල්ලයි වගේ!

Image Source – telegraph.co.uk

ගොඩක් වෙලාවට ඔය කපල් එකක් දැක්කහම ලංකාවේ මිනිස්සුන්ගේ කැත පුරුද්දක් තියෙනවා, ඒ කපල් එකේ දෙන්නගේ පෙනුම ගැන එහෙම කමෙන්ට්‍රි දෙන්න. ගොඩක් වෙලාවට මෙතනදී අප්සැට් සීන් එකක් විදියට පේන්නේ ගෑණු ළමයාගේ පෙනුම පොඩ්ඩක් වයස්ගතයි නම් තමයි. “කොල්ලට වඩා කෙල්ල වයස පාටයි” කියලා ඔය නැන්දලා මූණ ඇඹුල් කරගෙන කියන්නේ, ලංකාවේ තියෙන කපල් එකක කොල්ලා වැඩිමල් වෙන්න ඕන කියන සම්ප්‍රදායත් එක්කලා තමයි. හැබැයි ඉතින් අපිට මිනිස්සුන්ගේ කටවල් නවත්තන්න වත්, ඔය ඇ‍ටුවන් බැහැපු සම්ප්‍රදායන් මිනිස්සුන්ගේ ඔලුවලින් එක පාර ගලෝලා අයින් කරන්නවත් බෑ. හැබැයි අපිට පුලුවන් දෙන්නගේ පෙනුම ගැන හිතන්න. මේක වයසින් වැඩිමහළු ගෑණු ළමයට විතරක් නෙවෙයි වැදගත් වෙන්නේ. දෙන්නටම. පෙනුම කියන දේ නිවැරදි ආහාර පාන වලින්, නිරන්තර ශාරීරික ව්‍යායාම වලින් සහ රූපලාවණ්‍ය සත්කාර වලින් ඔප් නංවන්න පුලුවන් දෙයක්. ආන්න ඒ නිසා දෙන්නට හැට පැන්නත් කෙල්ලයි කොල්ලයි වගේ ඉන්න හිතාගත්තා නං හරි!

 

6. කවුද ඒ කතා කර කර හිටපු දඟර උඩිච්චි???

Image Source – twitter.com

සාමාන්‍යයෙන් ආදරේ ගැන කතා කරනකොට ඉරිසියාව කියන්නේ ඒක ගත්තොත් මේක නොමිලේ වගේ හම්බුවෙන දෙයක්නේ. හැබැයි වයසින් වැඩි ගැහැණු ළමයෙක් සහ වයසින් අඩු පිරිමි ළමයෙක් එක ජීවිතයක් පටන් ගත්තහම, එක්කෙනෙක්ගේ හරි හිතේ ඒ ගැන අනාරක්ෂිත හැඟීම් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙලා ඇදිලා එන්න පුලුවන් නොහිතන තැනකදී. උදාහරණයක් විදියට ගත්තොත්, කොල්ලා ලාබාල කෙල්ලෙක් එක්ක ඕනෑවට වඩා ඇයි හොඳයි කම් තියෙනවා වගේ පේනකොට ඒක වයසින් වැඩිමහළු බිරිඳට ඇහේ ක‍ටු අනිනවා වගේ වෙන්න පුලුවන්. එතකොට වයසින් වැඩි බිරින්දෑ ඒ වගේම පරිණත මනුස්සයෙක් එක්ක කොකන් පානවා දැක්කොත් අර ලාබාල සැමියාට ඌරු ජුවල් යන්න පුලුවන්. මේ සීන් දෙකටම හේතුව දෙන්නාගේ හිතේ තියෙන අනාරක්ෂිත හැඟීම්. කෙල්ල හිතනවා “මම එයාට වයස වැඩී” කියලා. කොල්ලා හිතනවා “මම එයාට මෝරලා මදි” කියලා. අන්න ඒ නිසා ඔය අනාරක්ෂිත හැඟීම් ගැන පරිස්සම් වෙන්න. දෙන්නට දෙන්නා අතරේ තියෙන ආදරේ ගැන විස්වාසේ තියන්න.

 

7. අපි දෙන්නට අපි දෙන්නා!

Image Source – greatist.com

අන්තිම කාරණේ සරලයි. ශ්‍රී ලංකාව වගේ රටක, විසි එක්වෙනි ශතවර්ෂයේ හිටියත්, වයසින් වැඩි ගෑණු ළමයෙක්ව කසාද බඳිනවා කියපු ගමන් එන ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න එන්නේ තමන්ගේම පවුල ඇතුළෙන් වෙන්න පුලුවන්. සමාජේ විවිධ පාර්ශවයන්ගෙන් වෙන්න පුලුවන්. හැබැයි මතක තියාගන්න. දෙන්නම විවාහ වෙන නීත්‍යානුකූල වයසේ නම් ඉන්නේ, දෙන්නට නීති ප්‍රශ්න හෝ වෙනත් ආයතනික ප්‍රශ්න එන්නේ නෑ. හැබැයි පවුලෙන්, සමාජෙන් එන්න පුළුවන් පීඩනය ගැන දෙන්නම හිතේ තියාගන්න ඕන. ඒකට දෙන්නත් එක්කම එකට අත් අල්ලගෙන මුහුණ දෙන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැතුව කෙල්ලට රටේ නැති ටෝක්ස් දීලා කැමතිකරවාගෙන, බලාපොරොත්තු ඇති කරලා ඉන් පස්සේ “අනේ අපේ ගෙදරින් කැමති නෑ” කියලා කියන්න නම් මොකටද මචං ඔය පිරිමි කම?

ආන්න ඒ නිසා දෙන්නත් එක්ක එක ගමනක් යන්න හිත හදාගත්තා නං, ඉස්සරහට ගල් මුල්, කෂිලි බිෂිලි ආවොත් එව්වටත් දෙන්නත් එක්කමය කියලා උත්තර දෙන්න බලාගෙනයි වැඩේ පටන් ගන්න ඕන.

එච්චරයි.

මේ අපි කියපු ලැම්බට් ලව් ගැන අදහසක් හරි අත්දැකීමක් හරි තියෙනවද? එහෙමනම් කමෙන්ට් එකක් දාලා අපිට කියන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *