සංචාරකයින් ගියාම ලස්සන තැන් කඩන් වැටෙනවාද?

සංචාරකයින් වැඩිපුර යෑම මගින් සංචාරක ස්ථාන විනාශ වෙන බව පසුගිය කාලයේ ඇසුණු ලොකු කතිකාවතකි. එහි යම්තාක් දුරට සත්‍යයක් තිබේ. යම් ස්වභාවික ස්ථානයක් සංචාරකයින්ට හසු වීම මගින් එතැන යම් ආකාරයකින් හෝ හානියක් වේ. එහෙත් සංචාරකයින් යනු සුන්දර තැන් හඹායන්නෝය. ඒ තැන් උවමනාම විටක විනා සංචාරකයින්ට තහනම් කිරීම කිසිසේත්ම සංචාරකයින් නිසා සිදුවන පරිසර හානියට විකල්පයක් නොවේ.

 

1. සංචාරකයින් පොලිතින් සහ බෝතල දැමීම

Image Source – twitter.com

ශ්‍රී පාදස්ථානය මෙසේ සංචාරකයින් නිසා හානි වන ප්‍රබලම ස්ථානයකි. එහෙත් කණ්ඩායම් රැසක් කාලයක් තිස්සේ සිදුකරන ශ්‍රමදාන කටයුතු නිසාත් බලධාරීන්ගේ යම් යම් වැඩපිළිවෙල නිසාත් ශ්‍රී පාද රක්ෂිතයට එකතු වන පොලිතින්, ප්ලාස්ටික් යම්තාක් දුරකට හෝ අඩුකර ගැනීමට හැකි වී තිබේ. ශ්‍රී පාද පංසලේ සහ අනෙකුත් ආයතනවල කැපවීම තිබේ නම් ශ්‍රීපාදයට පිවිසෙන අවස්ථාවේදීම පොලිතින් ඉවත් කර ඒ වෙනුවට වෙනත් මලු ලබාදිය හැකිය. පෙර කාලයේ ගිය ජනයාට වඩා දැන් දැන් සිරිපාදයට ඇදෙන ජනයා බුද්ධිමත්ය. කුණු කසල පහළට ගෙන ඒම කෙසේ වෙතත් අඩු තරමේ කුණු බාල්දියකට දැමීම දක්වා හෝ ජනතාව දියුණු වී තිබේ. එවැනි පොලිතින් බෝතල් දැමීමේ නොමනා ක්‍රියාවන් පිළිබඳ ජනතාව දැනුවත් කොට ඔවුන්ටම උනන්දුවක් ඇති කළ යුතුව තිබේ.

 

2. අපේ පොත්වල පරිසර පාඩම්

Image Source – redcross.lk

පාසැල් පෙළ පොත්වල පරිසරය ගැන පාඩම් මාලා තිබේ. දියුණු රටවල ඇති අධ්‍යාපන ක්‍රම වලදී දරුවන් පාඩම් වලට මෙන්ම ප්‍රායෝගික ජීවිතයට හුරු කරවනු ලැබේ. එහිදී පන්ති කාමරය තුළදී කසල බැහැර කිරීම මෙන්ම කුඩා සංචාරයක් යන විට කසල ඉවත ලෑම ගැන දරුවන්ට කුඩා කාලයේදීම කියා දිය හැකිය. ඒ තුළින් අනාගතයේ ස්වාභාවික පරිසරයට මෙන්ම මහමග දෙපස, දුම්රිය මග දෙපස කසල එකතුවීම වැළැක්විය හැකිය. බදුල්ල කරා ඇදෙන දුම්රිය මගේ කොටසක් යන්නේ වනගත පළාතක් මතිනි. ඒ වනාන්තර කොටස් වලදී පවා දුම්රියේ යන ජනයා විසික් කළ පොලිතින් ප්ලාස්ටික් දකින්නට ලැබේ. එවැනි දේ කුඩා කලදීම පාසැල් තුළදී ප්‍රායෝගිකවම කියා දෙන්නේ නම් අනාගතයේ හෝ පරිසර හානි අවම වනු ඇත.

 

3. කූඩාරම් වෙනුවට වෙනත් නවාතැන් සැපයීම

Image Source – globallinktours.lk

නේපාලය කඳු නැගීම ජනප්‍රිය සංචාරක අත්දැකීමක් වූ රටකි. එරට කඳුකර මාර්ග වල කිලෝමීටර කිහිපයක් ගිය තැන ටී හවුස් නම් කුඩා කුඩා ගෙස්ට් හවුස් හමු වේ. ඒවායේ මූලික මට්ටමේ නවාතැන් පහසුකම් මෙන්ම ආහාර පානද සංචාරකයින්ට ලබා දේ. සෑම පුද්ගලයාම විශාල පොලිතින් කවර තොගයක බහාලන ආහාර තොගයක් සහ ටෙන්ට් එකක් ගෙනගොස් පරිසරය හැඩි කරනවාට වඩා ඒ වැනි පහසුකම් සැලසීම පරිසරයට හිතකරය. ඒ කුඩා නවාතැන් ආදියේ පහසුකම් සලසා ගන්නට ඉඩකඩ ඇති බැවින් අමතර ඉඩකඩක් ටෙන්ට් පිණිස වැය නොවේ. අපේද ජනප්‍රියම ට්‍රෙකින් වන වංගෙඩිගල, නකල්ස් ආදී ස්ථාන වල හෝ මූලික මට්ටමේ නවාතැන් පොලවල් ඉදි කරන්නේ නම් සෑම සති අන්තයකම එහි ගොස් කූඩාරම් අටවා අවට හැඩි කරන මෝස්තරය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගත හැකි වනු ඇති.

 

4. සංචාරකයින්ට පහසුකම් සැලසීම

Image Source – en.wikipedia.org

පසුගිය කාලයේ ආරුක්කු නවයේ පාලම බලන්නට සතිඅන්තවල විශාල ජනකායක් සිටි බව ඔබ දකින්නට ඇති. එම ආරුක්කු නවය පාලම ආසන්නයේ ඇති නිවාස වල වැසිකිලි පවා අපවිත්‍ර වී ඇති බව කියැවුණි. සැබැවින්ම සංචාරකයින් යනු ස්වාභාවික අවශ්‍යතා තිබෙන පිරිසකි. ඔවුන්ට වැසිකිලි පද්ධතියක් තනා දී එතැන යම් දියුණු තැනක් කිරීම බලධාරින්ගේ වගකීමකි. එසේම සංචාරකයින් සීයක් දෙසීයක් ආරුක්කු පාලමට පැමිණියහොත් එතැන ඇති පසුබිම අනුව එය මහා සෙනගක් ලෙස පෙනේ. අවට යම් ස්ථානයක් දුම්රිය මාර්ගය නැරඹීමට සැකසිය හැකිය. වැඩි සංචාරකයින් පිරිසකට ගැලපෙන ලෙස එවන් තැන් සංවර්ධනය කිරීම කළ යුතුය. එසේ නොකොට සංචාරකයින් වැඩිය කියා ඒ තැන් සංචාරකයින්ට තහනම් කිරීම සාර්ථක විකල්පයක් නොවේ.

 

5. අලුත් සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීම

Image Source – lucycalder.com

පිටරට සිට ලංකාවට පැමිණෙන සංචාරකයින්ට දන්නා ස්ථාන කිහිපයකි. නුවර, දකුණු හෝ ඊසාන දිග වෙරළ තිරය, සීගිරිය, ඇල්ල ඉන් ස්ථාන කිහිපයකි. ලංකාවේ ඊට වඩා සංචාරක වටිනාකම් ඇති ස්ථාන රැසක් තිබේ. තවත් සංචාරක ස්ථාන සංචාරකයින් උදෙසා ප්‍රවර්ධනය කිරීම කළ යුතුම දෙයකි. මෑතකදී තැනූ මොරගහකන්ද ජලාශය නක්ල්ස් කඳුකරය සමග මනරම් දර්ශනයක් මවා පායි. මෙවැනි තැනක බෝට්ටු සවාරි ඇතුළු විවේකය ගතකිරීමේ අවස්ථා වැඩිදියුණු කිරීම රජය මගින්ම කළ හැකි දේවල් වේ. සංචාරකයින්ට නැරඹීමට, විඳීමට ඇතිතැන් වැඩි වූ විට එකම ස්ථානයකට දාස් ගණන් ඇදීම මදක් අඩු වනු ඇත.

 

6. සංචාරක මෙහෙයුම් වලට නියාමනයක් ඇති කිරීම

Image Source – chasethewonders.com

දිය ඇල්ලක් ළඟ කුඩා ගල් ගුහාවකි. මෑතකදී පටන් ගත් ෆේස්බුක් සංචාරක නඩයකි. එහි පිරිස 40ක් පමණ ඒ ගුහාව බලන්නට ගොස් එහි රාත්‍රිය ගත කරති. ඒ ස්ථානය 40කට ඉන්නට පහසුකම් නැති තැනකි. එසේම පසුව එන සංචාරකයින්ට මේ නවාතැන් ගන්නා පිරිස දැඩි බාධාවකි. එවැනි ෆේස්බුක් සංචාරක නඩ නියාමනය වන ක්‍රමවේදයක් තවම නැත. ඔවුන් ෆේස්බුක් එකේ දැන්වීමක් දමා, පිරිසක් එකතු කරගෙන හිතුමනාපේ හිතුන හිතුන තැන් වල යති. ඉන්පසු ඒ සුන්දර තැන් අනෙක් පුද්ගලයින්ට යන්නට බැරි තරමට විනාශ කර පැමිණෙති. බොහෝවිට මේ කණ්ඩායම් එක් පුද්ගලයකුගෙන් සැලකිය යුතු ලාබයක් ලබන කණ්ඩායම්ය. ඔවුන් සංවේදී පරිසර පද්ධති වලට කරන හානිය පිටුදැකීම කෙසේ වෙතත් කසල ටික හෝ ඉවත් කිරීමට බලධාරීන්ට යම් මුදලක් ලැබිය යුතු වේ. එම නිසා මේ ඉන්ටනෙට් එකේ හතු පිපෙන්නාක් මෙන් ඇති වී තිබෙන සංචාරක නඩ රැගෙන යන්නන් නිවැරදිව කළමනාකරණය කළ යුතු ක්‍රමවේදයක් ඇතිකරගත යුතු වේ.

 

7. ඇත්තටම තහනම් කරන්නත් ඕනි වෙයිද?

Image Source – mfa.gov.lk

එක් සංවේදී තැනක සංචාරකයින් රැසක් සිටි පලියට ඊළඟ විසඳුම විය යුත්තේ ඒ තැන් සංචාරකයින්ට තහනම් කිරීම නොවේ. සංචාරයට හැමෝම කැමතිය. සෑම පුද්ගලයාම පරිසරයටද යම් ලැදියාවක් පවතී. සංචාරක පහසුකම් ඇතිකිරීම, වාණිජමය සංචාරක ආයතන නියාමනය කිරීම, සංචාරක ස්ථාන නිසි ලෙස කළමනාකරණය කිරීම ආදී දේ මගින් සංචාරකයින් මගින් සංවේදී ස්ථාන වලට ඇතිවන බලපෑම අඩුකරගත හැකි වනු ඇත.

සංචාරක කර්මාන්තය යනු තවදුරටත් දියුණු කළ හැකි කර්මාන්තයකි. සංචාරකයින්ට පහසුකම් සැලසීම යනු එක්තරා විෂයයකි. සංචාරක කර්මාන්තය අතින් වැඩි ආදායම් ලබන සෑම රටක්ම පාහේ තමුන්ගේ ඇති වටිනාකම් කළමනාකරණය කොට සංචාරකයින්ට විකිණීමට සමත් වී තිබේ. අපිට ස්වභාව සෞන්දර්යයෙන් පිරි වටිනා රටක් තිබේ.  ඒ ස්ථාන නිසි පරිදි කළමනාකරණය කොට සංචාරකයින්ට ඉදිරිපත් කළ හැකි විය යුතුය. එවිට සංචාරකයින්ද සතුටු වී පරිසරයත් ආරක්ෂා වෙන වටපිටාවක් නිර්මාණය වනු ඇත.

Cover Image Source – srilankamirror.com/ twitter.com

 

zvr
Your Reaction

Comments