තමන් ගැන ආත්ම විශ්වාසය තියෙන කොල්ලෙක් මේ දේවල් කවදාවත් කරන්නෙ නෑ!

දැන් ඔය කොන්‍ෆිඩන්ස්, එහෙම නැත්තං ආත්ම විශ්වාසය කියන එකත් මාර අමුතුම සීන් එකක්. ගොඩක් දෙනෙක්ට ආත්ම විශ්වාසය බොහොම අඩුයි. එහෙම අය නිරන්තරයෙන්ම තමන්ගේ හැකියාවන් ගැන සැක කරනවා. තමන්ට කරන්න පුලුවන් දේවල් අන්ෂුවර්. රස්සාවේ ඉස්සරහට යන්න රිස්ක් එකක් ගන්නෙ නෑ. කෙල්ලෙක්ට එහෙම හිත ගිහින් තිබුණත් අඩු ගාණේ ගිහින් කැමතිද කියලා අහන්නවත් ඉස්සර වෙන්නෙ නෑ, බයයි. වෙන එකක් තියා ආත්ම විශ්වාසය ඉතාම අඩු මනුස්සයෙක්ගේ හැසිරීමෙන්, ක්‍රියාකලාපයෙන්, මූණෙන් විතරක් නෙවෙයි ඇවිදින විදියෙන් පවා ඒක පේනවා.

හැබැයි හොඳ දෙයක් තියෙනවා මෙතන. සමහරු ආත්ම විශ්වාසය උපතින්ම අරගෙන එනවනේ. හැබැයි ඕනම ආත්ම විශ්වාසයෙන් හීන මනුස්සයෙක්ට තමන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න පුලුවන්. ඒක හරියට දෙයක් කරන්න ඉගෙන ගන්නවා වගේ. ඉගෙන ගත්තාට පස්සේ ප්‍රැක්ටිස් කරන්න ඕන. ටික කාලයක් ප්‍රැක්ටිස් කලාට පස්සේ ආත්ම විශ්වාසය කියන එක තමන්ගේම කොටසක් වෙනවා.

ඉතින් අද අපි මේ කියන්න යන්නේ හොඳ ආත්ම විශ්වාසයක් තියෙන මනුස්සයෙක් අතින් කවදාවත් සිද්ධ නොවෙනවා කියන්න පුලුවන් තරමේ වැරදි කීපයක් ගැන. මේ වැරදි ගැන දැනගත්තට පස්සේ ඒවා නොකරන්න වගබලා ගන්න පුලුවන්. අන්න ඒකත් ආත්ම විශ්වාසය වර්ධනය වෙන්න හොඳ ක්‍රමයක්.

 

1. අනෙක් මිනිස්සුන්ව පහත හෙළීම

Image Source – giphy.com

දැන් අපි කියමු දන්න අඳුනන පිරිසක් සෙට් වෙලා ඉන්නවා. එහෙම තැනකදී ඉතින් එක එකාව බයිට් කරන එක ලොකු සීන් එකක් නෙවෙයිනේ. යාලු‍ෆිට් එකට වෙන දේවල්. හැබැයි ඔය තැන් වල සමහරු ඉන්නවා අර සාමාන්‍ය බයිට දෙන එකට එහා ගිහින්, අනික් මනුස්සයෙක්ව බොහොම පහත හෙලන්න උත්සාහ ගන්න. මේ වගේ කෙනෙක් ට්‍රයි කරන්නේ අර මනුස්සයාව බිංදුවටම දාන්න, පාච්චල් කරන්න, සමච්චලේට ලක් කරන්න. මේක කරන්නේ ඒ මනුස්සයාගේ හැඩරුව, ගතිගුණ, පවුල් පසුබිම, ඉගෙනුම, ‍රැකියාව, සාර්ථකත්වය වගේ දේවල් වල තියෙන අඩුපාඩු උලුප්පලා පෙන්නලා වෙන්න පුලුවන්. ආන්න එහෙම මනුස්සයෙක්ව පහත හෙළන්න, සමච්චල් කරන්න දඟලන මිනිස්සු ඉන්නවා නේද. උන්ට තියෙන්නේ තමන්ට ආත්ම විශ්වාසය අඩු අවුලක්! මේ අය තමන් ගැන අනාරක්ෂිතයි.

 

2. පුරසාරම

Image Source – wegoinginuk.com

ආත්ම විශ්වාසය තියෙන පිරිමියෙක් නොකරන දෙයක් තමයි ලොකු සීන් පුරසාරම් කීම සහ ෂෝ ඕෆ් කියලා කියන පෙන්නිල්ල. හොඳ ආත්ම විශ්වාසයක් තියෙන පිරිමියෙක්ට තමන් ගත්තු අලුත් කාර් එකේ ඉස්සරහා ඉඳලා, පැත්තෙන් ඉඳලා, බොනට් එක උඩ ඉඳලා, රූෆ් එක උඩ ඉඳලා, කාර් එක යටට රිංගලා ගත්තු ෆොටෝ තොග ගාණෙන් ෆේස්බුක් දාන්න ඕන නෑ. හැමදාමත් ජිම් එකේ ගත්තු ෆොටෝස් වලින් ෆීඩ් එක පුරවන්න ඕන නෑ. යන හැම අස්සක මුල්ලකම චෙක් ඉන් දදා යන්න ඕන නෑ. කතා කරනකොට තමන්ගේ උපයන ගාණ ගැනවත්, තමන්ගේ අධ්‍යාපනය ගැනවත්, තමන්ගේ සාර්ථකත්වය ගැනවත් පම්පෝරි ගහන්න වුවමනා නෑ. කොටින්ම කියනවා නම් තමන් ගැන සුරක්ෂිත හැඟීමක් තියෙන මනුස්සයෙක්ට තමන් ගාව තියෙන දේවල් ගැන ලෝකෙට කෑ ගහලා කියන්න වුවමනා නෑ!

 

3. තමන් ගැන අනික් මිනිස්සුන්ගෙන් සහතික ඕන නෑ!

Image Source – wikihow.com

ඔය සමහරු ඉන්නවා, ස්වභාවයෙන්ම හරියට ප්‍රශංසාවන්ට ලැදියි. ඒක ලොකු අවුලක් නෑ. හැබැයි ඔය හැම වෙලේම තමන් හොඳායි කියලා හැමෝගෙන්ම අහගන්න උත්සාහ කරන ඩයල් ඉන්නවා නේද, මේ අයට තියෙනවා ආත්ම විශ්වාසය ගැන ප්‍රශ්නයක්. තමන් ලස්සනයි, තමන් සාර්ථකයි, තමන් මාරයි, තමන් පොර කියලා අනෙක් අය ලව්වා කියෝගන්න උත්සාහ කරන මනුස්සයෙක්ගේ ඇතුළාන්තයේ තියෙනවා තමන් ගැන දැඩි අනාරක්ෂිත හැඟීමක්. කොටින්ම කිවුවොත් තමන් පොර කියලා ෂුවර් නැති මනුස්සයෙක් තමයි අනෙක් මිනිස්සු ලව්වා තමන් පොර කියලා කියවගන්න උත්සාහ කරන්නේ!

හැබැයි තමන් ගැන ෆුල් කොන්‍ෆිඩන්ස් තියෙන මනුස්සයෙක්ට අනික් මිනිස්සු තමන් ගැන කියන්නේ මොනවද කියන එක අදාළම නෑ!

 

4. මං හරි සංවේදී, මට විවේචන දරන්න බෑ!

Image Source – giphy.com

තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙන මනුස්සයෙක් තමන්ගේ වැඩ කටයුතු බොහොම සීරියස් ගන්නවා. ඒ නිසාම තමන්ගේ වැඩ කටයුතු නීට් එකට ඉවර කරන්න ඒ අය වගබලා ගන්නවා. හැබැයි එහෙම කළාට පස්සේ ඒ අය දන්නවා තමන් වැඩි හරියට කළා කියලා. ඒකේ අඩුපාඩු තියෙන්න පුලුවන්. තවත් කෙනෙක් ඒ අඩුපාඩු පෙන්නන්න පුලුවන්. ඒත් කොන්‍ෆිඩන්ස් මෑන් කෙනෙක් ඒ විවේචන වලින් සැලෙන්නේ නෑ. එහෙම මනුස්සයෙක්ට අර ධනාත්මක විවේචන, වැඩදායී විවේචන හරි වටිනවා. ඒ අය ඒවා සතුටෙන් භාරගන්නවා. එහෙම නැතුව තමන් හෙන සංවේදීයි කියලා හිතාගෙන විවේචන දරන්න බැරුව නටන්නේ නෑ.

 

5. අනේ සොරි, සොරි අනේ, සොරි හොඳේ!

Image Source – giphy.com

මෙන්න මේක පොඩ්ඩක් කල්පනාවෙන් කියවන්න ඕන පොයින්ට් එකක්. තමන් ගැන ආත්ම විශ්වාසය තියෙන මනුස්සයෙක් තව කෙනෙක්ව පහත හෙළන්නෙ නෑ. ඒ වගේම තමන් අතින් වැ‍රැද්දක් වුණු මොහොතකදී, ඒක වැ‍රැද්දක් කියලා තමන්ට තේරුණු වහාම ඒ ගැන කණගා‍ටුව ප්‍රකාශ කරන්න, සමාව ඉල්ලන්න, සොරි කියන්න පැකිළෙන්නෙත් නෑ. ඒක තමන්ගේ ආචාරශීලීත්වය, ආත්ම විශ්වාසය සහ මිනිහෙක් විදියට තියෙන හොඳ කම. හැබැයි සමහරු ඉන්නවා, ඕනම දේකට සොරි කියාගත්තු ගමන්. උදාහරණයක් විදියට ගත්තොත්, කෙනෙක් අපිට වැඩක් කරලා දෙන්න කියනවා. ඒක අපිට කරන්න වෙලාවක් නෑ. එතකොට අපි කරන්න ඕන ඒ අදාළ කෙනාට පැහැදිලි කරලා දෙන්න ඕන, මේ කාලසීමාව ඇතුළතදී මේ වැඩේ කරලා දෙන්න ප්‍රායෝගිකව බැරි බව. ඒක අනික් කෙනා තේරුම් ගන්න ඕන. හැබැයි අපි ඒක කියලා තව පැය දෙකක් තිස්සේ අපිට වැඩේ කරන්න බැරිවීම ගැන සමාව ඉල්ලනවා නම්? ආන්න ඒ කියන්නේ අපේ ආත්ම විශ්වාසයේ ප්‍රශ්නයක් තියෙනවා. තව උදාහරණයක්. අපි මනුස්සයෙක්ගේ ඇ‍ඟේ හැප්පෙනවා. එතකොට අපි වහාම, ආචාරශීලීව සමාව ඉල්ලනවා. ඉන් පස්සේ ඒක ඉවරයි. අපි අපේ වැඩේට යනවා. හැබැයි කෙනෙක් දිගින් දිගටම සමාව ඉල්ලනවා නම්, ඒ මනුස්සයා පස්සෙන් ගිහිල්ලත් කණගා‍ටුව ප්‍රකාශ කරනවා නම් අන්න ඒ කෙනාගේ පෞරුෂත්වයේ තියෙනවා පොඩි ආත්ම විශ්වාසය නැති අඩුවක්!

මතක තියාගන්න. මේකෙන් කියන්නේ ආචාරශීලී නොවෙන, අශිෂ්ට මිනිහෙක් වෙන්න කියන එක නෙවෙයි. වරදක් වුනොත් වහාම , හෘදයාංගමව කණගා‍ටුව ප්‍රකාශ කරන්න, සමාව ඉල්ලන්න. හැබැයි ඒක එතනින් ඉවර කරන්න. විශේෂයෙන්ම මිනිස්සුන්ගේ මූණු හොඳ කරන්න තමන් නොකරපු දේකට සොරි කියන්න යන්න එපා. ආන්න ඒක ආත්ම විශ්වාසය නැති මනුස්සයෙක්ගේ ලක්ෂණයක්!

 

6. දේවල් වෙන විදියකට සිද්ධ වෙයි…

Image Source – giphy.com

මෙන්න, ආත්ම විශ්වාසය තියෙන මනුස්සයෙක් සහ නැති මනුස්සයෙක් අතර වෙනස පැහැදිලිවම පේන තැනක්. ආත්ම විශ්වාසය තියෙන මනුස්සයෙක් කවදාවත් ජීවිතේ නිකම්ම වෙන්න දීලා අත් බැඳගෙන බලාගෙන ඉන්නෙ නෑ. ආත්ම විශ්වාසය තියෙන මනුස්සයෙක් තමන් ගැන දන්නවා. තමන්ගේ ප්‍රබලතා සහ දුර්වලතා දන්නවා. අන්න එතකොට ජීවිතේ දේවල් සිද්ධ කරගන රිස්ක් එකක් ගන්න ආත්ම විශ්වාසය තියෙන මනුස්සයෙක් පැකිළෙන්නෙ නෑ. හැබැයි තමන් ගැන විශ්වාසය නැති මනුස්සයෙක් තමන්ගේ සුරක්ෂිත රවුමෙන් එළියට අඩිය තියන්න බයයි. ඉස්සරහට ගිහින් තමන්ගේ අනාගතේ හදාගන්නේ නෑ. ආන්න ඒ වැ‍රැද්ද කවදාවත් කරන්න එපා!

 

7. එයත් හොඳින්, මෙයත් හොඳින්!

Image Source – giphy.com

දැකල තියෙනව නේද අපි ආශ්‍රය කරන සමහර මිනිස්සු ඉන්නවා කා එක්කත් හොඳින් ඉන්න උත්සාහ කරන? ඕක මෙහෙමයි. සමහර මිනිස්සු කාටවත් කරදරයක් නෑ, කා ගැනවත් කේලමක් කියන්නේ, නරකක් හිතන්නේ නෑ. තමන්ගේ වැඩේ කළා, යන්න ගියා. ඒ අය කා එක්කත් හොඳයි. කා එක්කත් තරහක් නෑ වගේම අමුතු යාලුකමකුත් නෑ.

හැබැයි තව සමහර කොටසක් ඉන්නවා, මේ අයත් හැමෝම එක්ක හොඳින් ඉන්න උත්සාහ කරනවා. හැබැයි මේ අය වැරදි දෙයක් වැරදියි කියලා පෙනුනත් ඒක ගැන කිසිම දෙයක් කරන්නෙ නෑ. අපි කියමු මේ වගේ හාදයෙක්ගේ යාලුවෙක් ඉන්නවා. දැන් වෙනත් කෙනෙක් අර යාලුවා ගැන මේ හාදයා ඉන්න තැන දොස් කියනවා, නරක කතා කරනවා. දැන් අපේ කතාවේ ඉන්න හාදයා දන්නවා තමන්ගේ යාලුවා එහෙම නෑ කියලා, මේක වැරදි වැටහීමක් කියලත් දන්නවා. හැබැයි ඒ ගැන වචනයක් කියන්නෙ නෑ. පුලුවන් නම් අර මනුස්සයත් එක්කම එක්කහු වෙලා තමන්ගේ යාලුවට බණිනවා. ඇයි? අර මනුස්සයාගේ හොඳ හිත තියාගන්න. එහෙම කරලා ගිහින් යාලුවා එක්කත් හොඳින් කතා කරනවා.

මෙන්න මේ විදියේ මිනිස්සුන්ගේ ආත්ම විශ්වාසය බොහොම අඩුයි. ඒ නිසා හැමෝම හොඳින් තියාගන්නයි උත්සාහ කරන්නේ. හැමෝම හොඳින් තියාගන්න තමන්ගේ ප්‍රතිපත්තියක් වුනත් පාවලා දෙන එක, වැ‍රැද්දක් දකින තැනක වුනත් කට පියාගෙන ඉන්න එක මේ අයට අවුලක් නෑ.

 

8. ඊයා!

Image Source – giphy.com

ඔව්. සරලවම කිවුවොත් තමන් ගැන ෆුල් කන්‍ෆිඩන්ස් තියෙන මනුස්සයෙක් ඊයා වැඩ කරන්නෙ නෑ. අරයා මෙයා ගැන ඕපාදූප හොයන එක, ඒවා කිය කියා ඇවිදින එක, අරයගේ මෙයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් වල ඒ අය කරලා තියෙන දේවල් හොයන එක, ලයිෆ් ගෝල්ස් ගණන් කරන එක, එහෙම කරලා ඒවාට ඉරිසියා කරන එක වගේ දහසකුත් එකක් “ඊයා” වැඩ ආත්ම විශ්වාසයෙන් පිරිපුන් පිරිමියෙක් කරන්නෙ නෑ!

Cover Image Source – bustle.com/ goalcast.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *