යෝනි සුන්නත ගැන දැනගනිමු

මේ මාතෘකාව වැඩි වශයෙන් ලංකාව ඇතුළේ කතා වෙන්නේ නෑ, ඒත් සමහර වාර්තාවලට අනුව රහසිගතව මේ දේ ලංකාවේ ඇතුළෙත් සිද්ධ වෙනවලු. නමුත් ඒ ගැන නිශ්චිත දත්ත නෑ. පුරුෂ සුන්නත් කිරීම ගැන අපේ සමාජය දැනුවත්. ඒ ගැන විහිළුවක ස්වරූපයෙන් ඉඳන් විද්වත් සාකච්ඡා දක්වා පරාසයක කතාබහ ඇතිවෙලා තියෙනවා. ඊට සමාන අවධානයක් සහ අවබෝධයක් “ස්ත්‍රී සුන්නත” ගැන නොමැති නිසා අපි හිතුවා මේ පිළිබඳව සටහනක් තියන්න.

 

1. ස්ත්‍රී සුන්නත පටන් ගත්තේ කොහෙන්ද?

Image Source – unicefusa.org

මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් ලබා දෙන්න ඒ ගැන අධ්‍යයනය කරන කිසිම පාර්ශවයකට අපහසු වෙලා තියෙනවා. නමුත් ඇතැම් අය සැක කරන්නේ පුරාණ ඊජිප්තුව මේ චාරිත්‍රය ඇති වුණු රට කියලා. ඒකට නිදසුන් විදිහට මේ අය දෙන්නේ මමීකරණයට ලක්වුණු සමහර කාන්තා මළ සිරුරුවලත් මේ ලක්ෂණ තියෙනවා සහ ඇතැම් චිත්‍ර සහ මූලාශ්‍රවලත් යම් යම් ඉඟි ස්ත්‍රී සුන්නත ගැන ලැබෙනවා කියලා. රෝමයේ වහල් ස්ත්‍රීනුත් මේ සුන්නත්කරණයට ලක් වුණා කියලා කියනවා.

 

2. ස්ත්‍රී සුන්නත පැතිරුණු රටවල්

Image Source – unicefusa.org

ස්ත්‍රී සුන්නත පැතිරුණු රටවල් ප්‍රධාන වශයෙන්ම අප්‍රිකානු රටවල් සහ මැද පෙරදිග ආසියානු රටවල්. නමුත් මේකෙන් අදහස් වෙන්නේ නෑ යුරෝපා සහ ඇමරිකානු මහද්වීපයේ රටවල මේ ස්ත්‍රී සුන්නත්කරණය වෙන්නේ නෑ කියලා. උදාහරණයක් විදිහට ස්වීඩනය, ඩෙන්මාර්කය, ඉතාලිය සහ මහා බ්‍රිතාන්‍යයෙත් මේ දේ සිද්ධ වෙන බවට වාර්තා වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පවා වසරකට අවම වශයෙන් 10,000 ක වත් ගෑනු ළමයින්ට මේ අත්දැකීමට මුහුණ දෙන්න වෙනවලු.

 

3. ස්ත්‍රී සුන්නතට බලපාන හේතු

Image Source – maineexaminer.com

බොහෝ අය හිතුවට සුන්නත්කරණයට ආගමික හේතුන් විතරක් බලපානවා කියලා, ඒක අර්ධ සත්‍යයක්. විශේෂයෙන් අප්‍රිකානු කලාපයේ රටවල මේකට බලපාන්නෙ සංස්කෘතික හේතුන්. සමහර අප්‍රිකානු රටවල පරිපූර්ණ කාන්තාවන් විදිහට සලකන්නේ සුන්නත්කරණයට ලක් වුණු කාන්තාවන්. මේ නිසා සමාජීය බලපෑම නිසා සුන්නත්කරණයට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම සමහර අප්‍රිකානු රටවල ඒ සඳහා භාවිතා වෙන වචනවල සුලමුල හෙව්වොත් “පිරිසිදුකම ලබනවා” වගේ අර්ථයක් දෙන්නේ. ඒ වගේම සුන්නත් කරන ලද ස්ත්‍රීයක් පමණක් විවාහ කර ගත යුතුයි කියලා ඒ ඒ සමාජවල පිරිමින් අතර මතයක් මුල් බැසගෙන තියෙනවා. ඒ  නිසා සුන්නත්කරණය විවාහයටත් අත්‍යාවශ්‍ය සාධකයක් විදිහට සලකන්නේ. ඒ වගේම සුන්නත් කිරීමෙන් පස්සේ ස්ත්‍රියක් ලස්සන වෙනවා කියලත් අප්‍රිකා රටවල විශ්වාසයක් තියෙනවා.

මේ වගේ ආගමික සහ සංස්කෘතික බලපෑම් සංක්‍රමණිකයන් හරහා යුරෝපයටත් යනවා. නමුත් සමහර යුරෝපීය කාන්තාවන් නම් මේ සඳහා යොමු වෙන්නේ ලිංගික ක්‍රියාවලියෙදි උපරිම ආස්වාදය ලබාගන්න පුළුවන් කියන මිථ්‍යාව නිසා.

නමුත් ස්ත්‍රී සුන්නත සම්බන්ධයෙන් බොහෝ දෙනා නොඅදහන දේ තමයි ස්ත්‍රී සුන්නතක් ගැන කිසිම ආගමික මූලාශ්‍රයක කියවෙන්නේ නෑ කියන එක. නමුත් ස්ත්‍රී සුන්නත සිද්ධ කරන බොහෝ දෙනා සිතන්නේ එය තමන්ගේ ආගමෙන් නියම කරලා තියෙන දෙයක් කියලා. මේ තත්ත්වයට තවත් එක් හේතුවක් වෙන්නේ බිම් මට්ටමේ ආගමික නායකයන් පවා සමාජීය චාරිත්‍රයක් විදිහට සලකලා මේ ආගමික නොවන චාරිත්‍රයට ඇතැම්විට සහය ලබා දීම

 

4. ස්ත්‍රී සුන්නත සිද්ධ කරන විදි

Image Source – unicefusa.org

ස්ත්‍රී සුන්නත සිද්ධ වෙන විදි හතරක් ගැන කියවෙනවා. පළවෙනි ක්‍රමයෙදි සිද්ධ වෙන්නේ කාන්තාවකගේ භගමණියේ කොටසක් හෝ සම්පූර්ණයෙන් කපා දැමීම. දෙවෙනි ක්‍රමයේදි සිද්ධ වෙන්නේ භගමණියට අමතරව ඒ වටා ඇති සම් කොටසත් කපා දැමීම. තුන්වෙනි ක්‍රමයේදි සිද්ධ වෙන්නේ යෝනි සිදුර මසා දැමීම. හතරවෙනි ක්‍රමයේදි සිද්ධ වෙන්නේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතියට හානි කිරීම.

 

5. ස්ත්‍රී සුන්නත නිසා ඇතිවන කෙටිකාලීන බලපෑම්

Image Source – time.com

ස්ත්‍රී සුන්නත බොහෝ විට සිද්ධ වෙන්නේ ගැහැණු ළමයින් කුඩා කාලයේ. මූලිකව එවැනි වේදනාවක් දරා ගැනීම ඔවුන්ට අපහසු වෙනවා. දරාගත නොහැකි වේදනාවක් සමගම දැඩි රුධිර වහනයක් සිද්ධ වෙනවා. ඒ සමගම තද උණ ගතිය වගේම මුත්‍රා කිරීමේ අපහසුතාත් ඇති වෙනවා. මේ තුවාලයත් සමගම අවට ප්‍රදේශ ද තුවාල වීමේ වැඩි අවදානමක් තියෙනවා. තුවාල සුව වීමේදී පවා ඇතැම්විට සංකූලතා ඇති වෙන්න පුළුවන්. භයානකම දේ වන්නේ මේ ඇතැම් අවස්ථාවල මරණය පවා මින් සිදු විය හැකි වීමයි.

 

6. ස්ත්‍රී සුන්නත නිසා ඇතිවන දිගුකාලීන බලපෑම්

Image Source – ibtimes.co.uk

ස්ත්‍රී සුන්නත නිසා ඇතිවෙන්න පුළුවන් සුලබම දිගු කාලීන බලපෑම වෙන්නේ මුත්‍රා කිරීමේ අපහසුව සහ වේදනාව. ඔසප් වීමේදි ඇතිවෙන අපහසුතා වගේම ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව විවිධ ගැටලු ඇතිවෙනවා. දරු ප්‍රසූතියකදි සාමාන්‍ය කාන්තාවකට වඩා වැඩි වේදනාවක් දැනීම වගේම අධික රුධිර වහනයත් සිද්ධ වෙනවා. ඒ වගේම මළ දරු ප්‍රසූතිය වගේම ප්‍රසූතියේදී මවගේ මරණය සිදුවීම වුණත් වෙන්න පුළුවන්.

අපි කලින් සඳහන් කරපු යෝනි සිදුර මැසීමේ ක්‍රමයට සුන්නත්කරණයට ලක්වුණු කාන්තාවට ඊටත් වඩා භයානක ඉරණමකට මුහුණ දෙන්න වෙනවා. සෑම ලිංගික සංසර්ගයකදී සහ දරු ප්‍රසූතියකදීම මැහුම් කපා යෝනි සිදුර විවෘත කිරීමත් යලි මැහුම් දැමීමත් සිද්ධ වෙනවා. එවැන්නියක් විඳින වේදනාව ගැන තවදුරටත් ලිවීම අනවශ්‍යයයි කියලා අපි හිතනවා.

 

7. ස්ත්‍රී සුන්නතට එරෙහිව

Image Source – unesco annual report

ස්ත්‍රී සුන්නතට එරෙහිව 1950 ගණන්වල ඉඳන් විරෝධයක් එල්ල වෙන්න ගත්තේ යුරෝපා රටවල කාන්තාවන්ගෙන්. මේ විරෝධතාවල කූටප්‍රාප්තිය වුණේ 1997 දී ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කියන ප්‍රබල ජාත්‍යන්තර සංවිධාන තුනම ඒකාබද්ධව ස්ත්‍රී සුන්නතට එරෙහිව නිවේදනයක් නිකුත් කිරීම. මේ හරහා ස්ත්‍රී සුන්නතට වැට බැඳීමේ වැඩ පිළිවෙලකුත් ආරම්භ වුණා. ඇතැම් අප්‍රිකානු රජයන් ස්ත්‍රී සුන්නත්කරණයට එරෙහිව අණ පණත් පවා සම්මත කළා. නමුත් අදාළ රටවල පහළ ස්ථරවල සහයෝගය නොමැතිව මෙය සියයට සීයක්  සාර්ථක කර ගැනීමට අපහසු වෙලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මේ වෙනකොට මීට එරෙහිව යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය ස්ත්‍රී සුන්නත පිටුදැකීමේ වැඩපිළිවෙලක් සඳහා තමන්ගේ වැඩි අවධානය යොමු කරලා තියෙනවා.

මේ ලිපිය ගැන ඔබේ අදහස් සඳහා පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එක අපි වෙන් කරලා තියෙනවා. එහි යමක් සටහන් කරන්නේ නම් බෙහෙවින් අගය කරනවා.

 

Cover Image Source – countercurrents.org/ www.ibtimes.co.uk

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *