ඔයත් සෙක්සිස්ට් පිරිමියෙක්ද කියලා අඳුනගන්න පුලුවන් තැන් 7ක්!

සාමාන්‍යයෙන් සෙක්සිස්ට් කියන වචනේ ඇහුන ගමන් ලංකාවේ ගොඩක් දෙනෙක් හිතන්නේ ඒක සෙක්ස් වලට සම්බන්ධ දෙයක් කියලා තමයි. හැබැයි සෙක්සිස්ට් කියන්නේ ඇත්තටම සෙක්ස් එක, ඒ කිව්වේ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන පුද්ගලයෙක්ට වෙනස්කම් කරන, කොන් කරන, පහත් කරලා සලකන කෙනෙක්ට කියන ඉංග්‍රීසි නම. අපිත් මෙතන ඉඳන් ලේසියට සෙක්සිස්ට් කියන වචනෙම පාවිච්චි කරමු. හැබැයි ඕනෑම පුද්ගලයෙක්, ඒ කියන්නේ පිරිමියෙක් වගේම ගැහැණියක් වුනත් සෙක්සිස්ට් කෙනෙක් වෙන්න පුලුවන්. හැබැයි අද අපි කතා කරන්නේ ගැහැණියට වෙනස් විදියට සලකන පිරිමියෙක්ව අඳුනගන්න පුලුවන් ක්‍රම. ඒ කියන්නේ තමන් සෙක්සිස්ට් කෙනෙක්ද කියලා පිරිමියෙක්ටම තීරණය කරගන්නත්, ඉන් පස්සේ තමන්ගේ ඒ ආකල්ප වෙනස් කරගන්නත් උදවු වෙන දේවල් කීපයක් ගැන. පිරිමින්ට වෙනස් විදියට සලකන සෙක්සිස්ට් ගැහැණු ගැන ඊළඟ දවසකින් කතා කරමු.

1. හේයි සෙක්සි!

Image Source – bestlifeonline.com

බොහොම බහුලව දකින්න ලැබෙන සෙක්සිස්ට් හැසිරීමක් තමයි “හේයි සෙක්සි”, “හේයි හොට්නස්” වගේ වචන වලින් නොදන්න කාන්තාවක් ආමන්ත්‍රණය කරන එක. මේකම තමයි “කෑල්ල”, “පට්ට කඳ”, “මරු ගෙඩිය” වගේ ඇමතුම් වලිනුත් කියවෙන්නේ. පිරිමියෙක් තමන්ගේ ආදරවන්තියට හරි බිරිඳට හරි “සෙක්සි” කියලා ආමන්ත්‍රණය කරන එක වෙනම කතාවක්. හැබැයි නොදන්න ගෑණු ළමයෙක්ට එහෙම ආමන්ත්‍රණය කරන එකත්, අර කැට් කෝලින් කියලා කියන පාරේ දකින අහඹු කාන්තාවකට බොහොම නරක, අපහාසාත්මක ලිංගික යෙදුම් වලින් ආමන්ත්‍රණය කරන එකත් ලොකු වෙනසක් නෑ.

මේකේම තවත් දෙයක් තමයි හරියට අඳුනන්නේවත් නැති කාන්තාවකට “ස්වීටි”,”ඩාර්ලින්”, “බේබ්” වගේ ආමන්ත්‍රණයන් යොදන එක. ඕකම තමයි සිංහලට එන්නේත් “සුදූ”, “රත්තරං”, “පැටියෝ” වගේ වචන වලින්. ඉතා හිතවත්, ආදරයක් තියෙන, වෙනත් සමීප සබඳකමක් තියෙන දෙන්නෙක් අතර මේ වගේ වචන වලින් ආමන්ත්‍රණයන් සිද්ධ වෙන එක ගැටළුවක් නෙවෙයි. හැබැයි කෙනෙක් එක්ක පැය දෙකක් චැට් කරලා මෙහෙම අමතනවා නම් ඒක ගැටළුවක්.

කාන්තාවක් අගය කරන්න පුලුවන් ආචාර ශීලී විදි තියෙනවා. “ඔයා බොහොම ලස්සනයි” කියන එක එක විදියක්. හැබැයි “ඔයා මාර සෙක්සි” කියන එක ආචාරශීලී විධියක් නෙවෙයි!

 

2. කාන්තාව කියන්නේ සුන්දර වස්තුවක්!

Image Source – flickr.com

“මට ඇත්තටම කාන්තාව කියන්නේ රස විඳිය යුතු සුන්දර වස්තුවක්”! මෙහෙම කියන මිනිස්සු ඉන්නවා නේද, උන් මාර සෞන්දර්යවාදියෝ නෙවෙයි. උන්ට කියන්නෙත් සෙක්සිස්ට් කියලම තමයි. ඇයි? අර කාන්තාව වස්තුවක් කරපු තැනම තමයි අවුල තියෙන්නේ. ඇත්තටම මේක බොහොම සියුම්ව තේරුම් ගන්න ඕන තැනක්. කාන්තාවක් කියන්නේ පිරිමියෙක්ට සුන්දරව පෙනෙන කෙනෙක් තමයි. ඒක අනෙක් පැත්තටත් එහෙමයි. ඒකනේ ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය කියන්නේ. හැබැයි ඉතින් ඔය රසවිඳින සීන් එකට මුවා වෙලා කාන්තාව කියන්නේ ලිංගික වස්තුවක් විදියට දැකීමට කියන්නේ සෙක්සිස්ට් කියලා තමයි. මෙතනදී කාන්තාව කියන්නේ පුරුෂයින්ගේ ලිංගික අවශ්‍යතා සන්තර්පණය කරන්නටම නිර්මාණය වෙලා ඉන්න කොටසක් කියන ආකල්පය තමයි පැහැදිලිව පේන්න තියෙන සෙක්සිස්ට් කතන්දරේ. එතකොට ගැහැණිය කියන්නේ හරිම සෞන්දර්යාත්මක වස්තුවක්ය, ඒ අය දිහා රසවත් විදියට බලන්න ඕනය කියලා හිතන එක තමයි පැහැදිලිව නොපෙනෙන සෙක්සිස්ට් කතන්දරේ. හැබැයි ඔය දෙකම වැඩි අඩු වශයෙන් කාන්තාවට වෙනස් ලෙසින් සැලකීම් තමයි. කාන්තාව කියන්නෙත් පිරිමින් වගේම මනුස්සයෝ. එච්චරයි කතාව!

 

3. කලින් කෙල්ල බ්ලඩි බිච් කෙනෙක්!

Image Source – giphy.com

සාමාන්‍යයෙන් කෙල්ලෙක් එක්ක ඩේට් අවුට් එකකට ගියහම කොයි කොල්ලත් හැසිරෙන්නේ සාන්ත දාත්ත තීන්ත කූඩු වගේ තමයි. දැන් ගොඩක් වෙලාවට අපි හැමෝටම අතීත කතන්දර තියෙනවනේ. කොල්ලෙක් තමන් එක්ක ඩේට් අවුට් එකකට ගියපු කෙල්ලත් එක්ක ඔය පරණ කතන්දර ඇදිලා ආපු වෙලාවක “මගේ කලින් කෙල්ල බ්ලඩි බිච් කෙනෙක්”, එහෙම නැතිනම් “කලින් යාලුවෙලා හිටපු එකී වේසියක්” වගේ කතන්දර කියනවා නම් ඒ කියන්නේ මේ කොල්ලා දාර සෙක්සිස්ට් කෙනෙක් කියන එක තමයි. මෙතනදී ඔය පරණ කෙල්ලට ඔච්චර නාම කතන්දර කියන්න හේතුව ඒ කෙල්ල මේ කොල්ලව අන්තිම කැත විදියට අත ඇරලා ගියපු එක වෙන්න පුලුවන්. හැබැයි ඩේට් අවුට් එකට ආපු කෙල්ලත් එක්ක පරණ කෙල්ලට අරම බණිනවා කියන්නේ තමන් එක්ක ඩේට් අවුට් එකට ආපු කෙල්ලට ගරු කරන්නේ නෑ කියන එක තමයි.

අනික් කාරණාව, ගොඩක් මෙහෙම තමන්ගේ කලින් කෙල්ලට අන්තිම කැත විදියට බණින කොල්ලෝ එහෙම බණින්නේ කලින් කෙල්ල තමන්ට නරක විදියට සලකපු නිසාම නෙවෙයි. ගොඩක් වෙලාවට වැ‍රැද්ද කොල්ලගේ අතේ වුනත්, කෙල්ල යන්නේ තමන් එක්ක ඉන්න බැරි වුනත් අන්තිමට මේ විදියේ සෙක්සිස්ට් ඩයල් කලින් කෙල්ලට බණින්නේ වේස පදේ කියලා තමයි. එතකොට දැන් ඩේට් කරන කෙල්ල ඩේට් අවුට් එකෙන්ම කොල්ලට අකමැති වුනොත් එහෙම ඒ කෙල්ලට අහගන්න වෙන්නේත් ඔය කතාවම වෙන්න පුලුවන්!

 

4. මම කැමති නෑ මගේ වයිෆ් රස්සා කරනවට!

Image Source – coding-girls.com

මෙන්න ඉතාම සුලභ පන්නයේ සෙක්සිස්ට් මිනිස්සු. මේ අයගේ ඔලුවේ තියෙනවා ගැහැණු සහ පිරිමි අයට වෙන් වුණු ‍රැකියාවන්. ගොඩක් වෙලාවට මේ වගේ අය කියන්නේ “මම කැමති නෑ මගේ වයිෆ් රස්සාවක් කරනවට” කියලා තමයි. එතකොට ඒකෙන් කියවෙන්නේ වයිෆ් ඉන්නේ ගෙදර වැඩ කරන්න, ළමයි හදාගන්න වගේ දේවලටය, තමන් ඉන්නේ හම්බු කරන්නය කියන එක තමයි. හැබැයි ඇත්ත කතන්දරේ තමයි අද ලෝකේ ආර්ථික තත්ත්වයත් එක්ක තනියෙන් පවුලක් නඩත්තු කරන්න ලේසියෙන් මනුස්සයෙක්ට බෑ. ඕන්න ඔතනට එනවා උඩ කිවුව එකේ මොඩිෆයිඩ් සෙක්සිස්ට් කතන්දරේ. “ගෑණියෙක්ට ගැලපෙන ටීචින් වගේ රස්සාවක් නම් හා”! හැබැයි මේකෙන් කියන්නේත් වයිෆ් රස්සාවට ගිහින් දෙකට ඉස්කෝලෙ ඇරුණහම ගෙදර ඇවිත් අර ගෙදර තියෙන වැඩයි, ළමයින්ගේ වැඩයි, මනුස්සයාගේ වැඩයි, දෙමාපියන්ගේ වැඩයි ඔක්කොම කරන්න ඕන කියන එකම තමයි. ඇත්තටම මේ විදියේ හස්බන්ඩ්ලා තමයි හවස ගෙදර ඇවිත් වයිෆ් කන්න උයලා දෙනකල් කකුල් උඩතියාගෙන ටීවී බලන්නේ! මේ අයට ගැහැණු සහ පිරිමි සමානාත්මතාවය වගේ සීන් තේරෙන්නෙ නෑ. ලස්සනම වැඩේ තමයි මේ අයගේ වයිෆ්ලා කොයි තරම් රස්සාවටයි ගෙදරටයි නැහුණත් මේ උන්දැලා කියන්නේ “අපි හම්බු කරන්න විඳින අමාරුව ගෑණුන්ට තේරෙන්නෙ නෑ” කියලා තමා!

 

5. ගෑණු කවුරුත් එකයි!

Image Source – womenoftheworldmusic.com

ඔය “ගෑණු නැවෙන්නේ සල්ලි වලට බ්‍රෝ”, “කොයි ගෑණිත් මොණර කොළ ඉස්සරහා ලව් කරනවා”, “ගෑණුන්ට ඕන රූපේ මිසක් ගතිගුණ නෙවෙයි”, “ගෑණු තරම් ඉරිසියාකාර ජාතියක් කොහෙවත් නෑ”, “ගෑණු කියන්නේම කච කචේ” වගේ එක එක ජාතියේ කතන්දර කියනවා නේද මුළු ගෑණු සංහතියටම පොදුවේ. ආන්න නියම සෙක්සිස්ට්ලා! මේ අයට තේරෙන්නෙ නෑ ඉරිසියාකාර පිරිමි ඉන්න බව, දත් ගලවන පිරිමි ඉන්න බව, සල්ලි වලට ඕනම බලුබෙට්ටක් කටේ ඔබාගන්න පිරිමි ඉන්න බව, කෝච්චිය වගේ හම්බුණොත් කච කච ගාන පිරිමි ඉන්න බව. කොටින්ම කිවුවොත් මේ ඕනෑම ගතිගුණයක් සඳහා මුල් වෙන්නේ ගැහැණු පිරිමි බව නෙවෙයි කියන එක, මේ ඕනෑම ගතිගුණයක් ලිංග භේදයකින් තොරව ඕනෑම මනුස්සයෙක්ට තියෙන්න පුලුවන්ය කියන එක මේ සෙක්සිස්ට්ලා දන්නෙ නෑ. ඉතින් කෙල්ලෙක්ට ඕනෑ නැති විහිළුවක් කරලා රවලා බැලුවත් ඒකට මුළු ගෑණු සංහතියම පලි. කෙල්ලෙක් ගණන් ඉස්සුවත් ඒකට මුළු ගෑණු සංහතියම පලි!

ආ, එතකොට අර කෙල්ලෙක් පස්සෙන් ගිහින්, කෙල්ල කැමති නැතුව අපි යාලුවෝ වගේ ඉමු කිවුවහම “කෙල්ලෝ මහ දිව දෙකේ එවුන්” කියන මල්ලිලත් මේ කැටගරියෙම තමා.

 

6. ඔයාගෙ කොල්ලට වඩා මම සිරා!

Image Source – giphy.com

යම් කිසි කොල්ලෙක් විෂම ලිංගිකයෙක් නම්, ඒ කොල්ලා කෙල්ලෙක්ට ආකර්ෂණය වෙන එක අතිශයින්ම සාමාන්‍ය දෙයක්. ඒකේ ආයි ගැටළුවක් නෑ. හැබැයි කොල්ලා ආකර්ෂණය වුණු පලියට කෙල්ල කොල්ලට ආකර්ෂණය වෙන්නෙ නැහැනේ. ඔන්න එතකොට එනවා අර සෙක්සිස්ට් කතාව. ඇයි එයා කොහොමද මට කැමති නොවෙන්නේ? මේ වගේ කොල්ලෙක්ගේ ඔලුවේ වැඩ කරන්නේ කොල්ලෙක්ට කැමති වෙන එක කෙල්ලෙක්ගේ සමාජ වගකීමක් වගේ දෙයක්. ඇත්තටම කෙල්ලෙක් තමන්ට අකමැතියි කියන එක නොසලකා කෙල්ලට ඇණයක් වෙමින් පස්සෙන් යන, තර්ජනේ කරන, වාත වෙන කොල්ලෝ සෙක්සිස්ට්ලා තමයි.

දැන් මේකම තවත් එහාට යන තැනක් තියෙනවා. අපි කියමු කොල්ලෙක් කෙල්ලෙක්ට කැමතියි. හැබැයි කෙල්ල කැමති නෑ. මොකද කෙල්ලට කොල්ලෙක් ඉන්නවා. දැන් මේ මුලින් කියපු කොල්ලා එක්කෝ කියන්න පුලුවන් “ඇයි ඔයා මට කැමති නැතුව එයාට කැමති?” කියලා. නැතිනම් කෙලින්ම ගොනෙක් වගේ කියන්න පුලුවන් “නංකි ඔයාගෙ කොල්ලට වඩා මම සිරා” කියලා. කටින් නොකිව්වත් කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනම ඒත් ට්‍රයි කරන කොල්ලෙක් හිතන්නේ ඒ විදියට තමයි. අන්න ඒ හිතිවිල්ල පට්ට පජාත සෙක්සිස්ට් ආකල්පයක්!

 

7. හොඳ ෆක් එකක් තමයි එයාට ඕන කරන්නේ!

Image Source – essence.com

“ඒකි ඉන්නේ හෙනම අසහනෙන් බන්, හොඳවැයින් ෆක් එකක් දුන්න නම් ඔය ගෑස් බහිනවා” කියලා කියන කොල්ලෝ ඉන්නවා නේද? ඒත් තාම ශිෂ්ඨාචාරගත නොවුණු සෙක්සිස්ට්ලා කොටහක්. මේ අය හිතන්නේ ඕනම කෙල්ලෙක් ඉන්නේ සෙක්ස් කරන්න වුවමනාවෙන් කියලා. අසහනෙන් කියලා. ආන්න එහෙම හිතලා තමයි මේ ජාතියේ ඩයල් බස් එකකට නැග්ගහම හැරෙන හැරෙන පැත්තට ජැක් ගහන්නේ. ඊට පස්සේ චාටර් වුනහම කෙල්ලට ඇ‍ඟේ නොගෑවී යන්න නං කාර් අරන් යන්න කියන්නේ! දු‍ටු තැන ගහලා පැන්නිය යුතු ඩයල් තමයි මේ.

ඊළඟට ඔය නොයෙක් චා‍ටු කතන්දර, බොරු බේගල් ඇද බාලා සෙක්ස් කරන්නම කෙල්ලන්ව යාලු කරගන්න කොල්ලෝ ඉන්නේ. අන්න උනුත් දාර සෙක්සිස්ට්ලා තමයි. මොකද උන්ට ගැහැණු මිනිස්සු අතර ඇතිවෙන මානසික බැඳීම් ගැන අවබෝධයක් නෑ. මේ ජාතියේ ඩයල් හිතන්නේ යම් යම් ගෑණු ඉන්නේ මාර අසහනෙන්ය, තමන් ඒ ගෑණු එක්ක යාලුවෙලා උන් එක්ක සෙක්ස් කරලා සිද්ධ කරන්නේ මාර සමාජ සේවයක්ය කියලා තමයි. විශේෂයෙන්ම වැඩිමහලු කාන්තාවෝ එක්ක එහෙම යාලුවෙලා ඇන්නා පැන්නා සීන් කරන ඩයල් වල චින්තනය ඕක තමයි!

ඉතින් මේක කියවන ඔබත් සෙක්සිස්ට් කෙනෙක්ද? අවුලක් නෑ. අපි කවුරුත් මිනිස්සුනේ. හැබැයි අන්න ඒක ඔලුවේ තියාගෙන අද ඉඳලාවත් මේ සෙක්සිස්ට් ආකල්ප, ස්ත්‍රී පුරුෂ භාවය සලකලා ගැහැණියව පහත් කරන ආකල්ප නැති කරගන්න හිතා ගමු. එල කොල්ලෝ වෙමු!

zvr
Your Reaction

Comments