දරුවෙක් ලැබුණාට පසුව ශරීරය යථා තත්ත්වයට පත් කර ගැනීමට උපදෙස්

දරු ප්‍රසූතියකින් පසුව අලුත් අම්මා බලාගෙන ඉන්නේ දරු පිළිසිඳ ගැනීම නිසා වෙනස් වුන තමන්ගේ ශරීරය නැවතත් පෙර තිබූ තත්ත්වයටම පත්වෙයි කියලා. ඒත් ප්‍රසූතියෙන් පසුවත් මාස හය හතක තරමේ බණ්ඩියක් එක්ක තවමත් ගර්භණී මවක් වගේ දිස්වෙන ශරීරය දකින සමහර මව්වරු, නොදැනුවත්කම නිසාම මානසිකව පවා විශාල පීඩනයකට පත්වෙන අවස්ථා දැක ගන්න පුළුවන්.

ඇත්තෙන්ම දරු ප්‍රසූතිය වූ සැණින්ම ඔබේ උදරය එකවරම හැකිලී යන්නේ නැති බව ඔබ අවබෝධ කර ගත යුතු වෙනවා. දරුවාට රැඳෙන්නට සුදුසු ලෙස ක්‍රම ක්‍රමයෙන් විශාල වූ උදරය හැකිලී යන්නේද ක්‍රම ක්‍රමයෙනුයි. ප්‍රසූතියත් සමඟ සිදුවන හෝමෝන වෙනස්කම්  ඔබේ උදරයේ ප්‍රමාණය හැකිලීමට බලපෑමක් ඇති කරන අතර ඔබගේ ඇසට හසුවන වෙනසක් වීමට අවම වශයෙන් සති හතර පහක කාලයක් හෝ ගතවන බව ඔබ අවබෝධ කර ගත යුතු වෙනවා. විශේෂයෙන්ම ඔබ දරුවාට ඉතා හොඳින් මව්කිරි ලබා දීම හරහා ඔබේ සිරුර යථා ස්වභාවය කරා යාම තව තවත් වේගවත් වෙනවා.

 

හිතට වද දෙන Stretch Marks

ගර්භණී සමයේදී සිරුරේ සිදුවන වෙනස්වීම් සමඟ ඔබේ සිරුරේ තැන් තැන්වල සම ඇදීමට ලක්වීම නිසා ඇදුණු ලකුණු දැක ගන්නට ලැබේවි. විශේෂයෙන්ම ගර්භණී සමයේ ඔබට දැක බලාගන්නට අපහසු වූ ස්ථාන පවා ප්‍රසූතියෙන් පසුව පහසුවෙන් ඇසට හසුකර ගත හැකි නිසා මෙම ලකුණු දැකීමෙන් අපේ අලුත් අම්මලා විශාල වශයෙන් කලබලයටත්, සිත් තැවුලටත් පත් වෙන්න පුළුවන්. උදරය විශාල වශයෙන් ඉදිරියට ඇදී ඒම නිසා මෙම Stretch Marks බහුලවම දැක ගන්න ලැබෙන්නේ උදරය ආශ්‍රිතවයි.

මෙම Stretch Marks සම්පූර්ණයෙන්ම ඉවත් වී යාමක් සිදු නොවිය හැකි නමුත්, කාලය ගතවීමත් සමඟ එය සමේ වර්ණයටම ගැලපෙන ලෙස පෙනෙන නොපෙනෙන ගණනට වෙනස් වී යන නිසා, ඔබ මේ පිළිබඳව අනවශ්‍ය ලෙස හිත රිදවා නොගැනීමට වග බලා ගත යුතු වෙනවා. වැදගත්ම දේ ඔබේ ඉවසීමයි. ඉවසන්න… ඉවසන්න… අද ඔබ කනස්සල්ලට පත්කරන මේ සලකුණු තව මාස කිහිපයකින් ඔබට දැකගන්නට නොලැබී යාවී.

 

1. අනේ මේ බඩ ගෙඩිය අඩුවෙන්න තව කොච්චර කල් යයිද?

Image Source – self.com

මව් පදවියක් ලබනවා කියන්නේ ජීවිතයේ ලබන විශාලම ජයග්‍රහණයක් බව අමුතුවෙන් කිව යුතු නැහැනේ. ඉතින් ගැහැණියකගේ සිරුර දරු සම්පතකට ජීවත්වෙන්න උචිත ලෙස ඒ වෙනුවෙන් සුදානම් කෙරෙද්දී මාස නවයක් පුරාවටම බිඳෙන් බිඳ, ක්‍රම ක්‍රමයෙන් සිදුවුන වෙනස්කම් සියල්ල දරු ප්‍රසූතියත් සමගම යලි යථා තත්ත්වයටම පත් වෙයි කියලා අපේක්ෂා කළ නොහැකියි නේද? ඒ සඳහා යම් කිසි කාලයක් අවශ්‍ය වෙනවා. ඉවසීමත් සමඟ ඔබේ උනන්දුවත් එකතු කළ යුතු වෙනවා. ඉවසීම තමයි මූලිකම කාරණාව වෙන්නේ. ඔබේ සිරුරේ සිදුවෙන ප්‍රතිසංස්කරණය වීමේ ක්‍රියාවලිය මොනතරම් වේගවත්ව සිදුවෙනවාද කියලා තීරණය වීම පදනම් වෙන කාරණා කිහිපයක්ම තියෙනවා.

  • පිළිසිඳගැනීමට පෙර ඔබගේ සිරුරේ ස්වභාවය හා ප්‍රමාණය.
  • ගර්භණී සමයේදී ඔබගේ ශරීරයේ සිදුවූ බර වැඩිවීම (මෙය කිලෝ 13.6කට අඩු නම් ඔබේ ශරීරය යථා තත්ත්වයට පත් වීම ඉක්මන් වීමට ඉඩ තිබෙනවා)
  • ඔබේ ක්‍රියාශීලීභාවය.
  • ඔබ බිළිඳාට මව්කිරි ලබාදෙන ආකාරය සහ කාලය.
  • කීවෙනි දරු ප්‍රසූතියද යන්න (පළමු දරු ප්‍රසූතියේදී ශරීරය යථා ස්වභාවයට පැමිණීම ඉක්මන් විය හැකියි)

කෙසේ වුවත්, ඔබේ බිළිඳාට මාස හයක් සපිරෙනතුරුවත් සිරුර පූර්ව ගර්භණී සමයේදී මෙන් සකසා ගැනීම ඉලක්ක කර නොගන්නවානම් වඩාත් සුදුසුයි.

 

2. කොහොමද ආරක්ෂාකාරී විදිහට මේ බඩ ගෙඩිය අඩු කරගන්නේ?

Image Source – foxnews.com

ඔබේ බිළිඳාට හොඳින් මව්කිරි ලබා දෙන්න. ඇත්තෙන්ම ඔබට ඉතාම පහසු හා බිළිඳාටත් ඔබටත් හිතකරම විදිහක් තමා මේ.  මව්කිරි නිපදවීම සඳහා ඔබේ සිරුරෙන් දෛනිකව අමතර කැලරි 500ක් පමණ වැයවෙනවා. ඉතින් මව්කිරි ලබා දෙන අම්මලාගේ ශරීරය යථා තත්ත්වයට පත්වීමේ වේගය බිළිඳාට ෆෝමියුලා ලබාදෙන මව්වරු හා සැසඳුවාම හරිම වේගවත්.

මව්කිරි ලබා දීම උදරය පමණක් නොවෙයි මුළු ශරීරයේම මනා වෙනසකට උපකාරී වෙනවා. කොහොම වුනත් දහනය වෙන කැලරි ප්‍රමාණය දෙගුණ තෙගුණ කරලා ආහාර ගන්නවා නම් මව්කිරි ලබා දුන්නත් තව ටිකක් ශරීරය තරබාරු වෙන්න පටන්ගන්න පුළුවන්.

 

3. මව් කිරි ලබා දෙන ගමන් ශරිරයේ බර අඩු කරන්න බැලුවට කමක් නැද්ද?

Image Source – motherhood.us

ඔයාගේ ශරීරය කොහොමත් මව්කිරි නිපදවීමට යහපත් ප්‍රතිචාර දක්වමිනුයි සිටින්නේ.  දරුවාට මව්කිරි ලබා දෙන ගමන්ම සතියකට කිලෝ එකක වගේ බර ප්‍රමාණයක් අඩු කර ගත්තා කියලා මව් කිරි නිපදවීමේ ක්‍රියාවලියට, මව් කිරි ප්‍රමාණයට කිසිම හානියක් වෙන්නෙ නැහැ.

අලුත උපන් දරුවෙකු රැක බලාගන්න ඔබට වැඩි ශක්තියක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයා ශරීරය නැවත යථා තත්ත්වයට ගේන්න අනවශ්‍ය ලෙස මහන්සි වෙන්න ගත්තොත් තවත් වෙහෙසකාරී බවක් සමඟ පමණට වැඩි තෙහෙට්ටුවක් ඇතිවේවි.  එය ඔබට මෙන්ම අලුත උපන් දරු පැටියාටද එතරම්ම සුබ කරුණක් නම් නොවේවි.

පෝෂ්‍යදායී ආහාර ගැනීමත්, සරළ ව්‍යායාම වල නිරතවීමත් ඔබට ශරීරය යථා තත්ත්වයට ගේන්නට උදව් වේවි. ඒ වගේම පහත උපදෙසුත් ඔබට යහපත් බරක් රැකගෙන යාමට උදව්වක් වේවි.

  • උදෑසන ආහාර වේලට වැඩි වේලාවක් වැය කරන්න.
  • දවසට අඩුම ගාණේ පළතුරු ප්‍රමාණ දෙකක්, එළවලු ප්‍රමාණ තුනක් අඩංගු ආහාර වේලක් ගන්න. (එළවලු ප්‍රමාණ එකක් යනු පිසින ලද එළවලු පීරිසි කෝප්ප 1ක්, එනම් 200ml කි. පළතුරු ප්‍රමාණ එකක් යනු පළතුරු පීරිසි කෝප්ප ½ක්, එනම් 100ml කි)
  • කෙඳි සහිත ආහාර වැඩි වශයෙන් ගන්න.
  • පිටි සහිත ආහාර හා සීනි සහිත ආහාර ගැනීම හැකි තරම් අවම කරන්න.
  • ඔබ කෙටි වේලවල් සඳහා ලබා ගන්නා ආහාර වගේම ප්‍රධාන ආහාර වේලවල් සඳහා ලබාගන්නා ආහාර පිළිබඳව සැලකිලිමත් වෙන්න.(දිනකට ගතයුතු කැලරි ප්‍රමාණය පිළිබඳව නිශ්චිතම පිළිතුරක් නොවුනත්, ඔබේ ආහාර ගැනීමේ ප්‍රමාණය, සකසා ගතයුතු රටාව, පවතින ශරීර බරත්, ඔබ කෙතරම් ක්‍රියාශීලීද යන්න මතත් තීරණය වෙනවා)

 

4. බබා ලැබෙන්න කලින් තිබුණ බණ්ඩිය නැවතත් ලබා ගන්න කරන්න පුළුවන් දේවල් මොනවාද?

Image Source – jersey.com

ව්‍යායාම තමයි ඔබේ සිහිනය වෙත ඔබ ගෙන යන ප්‍රධානම දෙය. ගර්භණී සමයේත් ඔබ ව්‍යායාම වල නිරත වුනා නම් ප්‍රසූතියෙන් පසුවත් ඔබට ඉතාම සරල ව්‍යායාම ආරම්භ කරන්න පුළුවන්.

ගර්භණී සමයේ ඔබ සම්පූර්ණයෙන්ම ව්‍යායාම වලින් බැහැර වී සිටියේ නම්, ව්‍යායාම සඳහා ඔබ නව සාමාජිකයෙක් නම්, ඉතාම පරිස්සමෙන් හා ක්‍රම ක්‍රමයෙන් ව්‍යායාම වෙත යොමු වීම වැදගත්.

ඔබත්, බිළිඳාත් සූදානම් කියලා ඔබට සිතෙන විට බබාව එයාගේ Pushchair එකේ වාඩි කරවාගෙන ඇවිදින්න යන්න. මෙය ඔබේ ඒකාකාරී වූ ජීවන රටාවට විශාල වෙනසක්, ශරීරයටත් ඉතාම හිතකර ව්‍යායාමක් වගේම වටපිටාවේ ලස්සන පෙනෙන නිසා බිළිඳාටත් අපූරු අත්දැකීමක් වේවි.

 

5. උදරය එල්ලිලා වගේ දැනෙන්නේ ඇයි? මෙය සාමාන්‍ය දෙයක්ද?

Image Source – chiropractorsannapolis.com

ඔබේ උදරයේ හම ඇදිලා වගේ දැනෙනවාද? හරියට හොඳට පදම් වුන පිටි මෝලියක් වගේ. ඒක හරිම සාමාන්‍ය දෙයක්. එහෙම වෙන්නේ ගර්භණී සමයේදී විශාල වශයෙන් ඔබේ උදරය ඉදිරියට ඇදී ආව නිසා. මුලින් සඳහන් කළා වගේම පැටියාට සුව පහසු, ප්‍රමාණවත් සුදුසු නිවසක් අම්මාගේ බණ්ඩිය ඇතුළේ සකස් වුනේ අවශ්‍ය ප්‍රමාණයට උදරය ඉදිරියට ඇදී ඇවිත්නේ. මේ නිසා ඔබට ඔබේ උදරය ඉදිරියෙන් එල්ලා වැටීමක් වගේ දැකගන්න පුළුවන්. මෙසේ ප්‍රමාණය ඉක්මවා හමේ සිදුවන ඇදීමට අපි කියන්නේ RAD (Rectus Abdominis Diastasis) කියලා. මෙය ඇතැම් වෙලාවට උදර මාංශපේෂීන් වල බෙදීම් දුර්වල වීමක් කියලාත් හඳුන්වනවා.

මේ තත්ත්වය හටගන්න බලපෑ හැකි හේතු කිහිපයක් අපි බලමු.

  • උපන් බිළිඳාගේ ශරීර ස්කන්ධය විශාල වීම.
  • නිවුන් දරුවන් හෝ ඊට වැඩි දරු උපතක් සිදුවීම.
  • උදර මාංෂ පේෂී වල දුර්වල බව.
  • උකුල් ප්‍රදේශය පටු වීම.
  • දුර්වල ඉරියව් ඇතිකම.
  • කලින් ගැබ් ගැනීම් සිදුවී තිබීම.
  • දරුවාගේ සියළු බර උදරයේ ඉදිරියෙන් දරා ගෙන සිට තිබීම.

RAD තත්ත්වය ගැන කොහොමද දැනගන්නේ?

ඔබටත් මෙම RAD තත්ත්වය පවතිනවාද යන්න දැනගැනීම කළ හැකි පහසුම ක්‍රමයක පියවර තමා අපි මේ කියන්න හදන්නේ…

  1. හිසට කොට්ටයක් තබා මුහුණ ඉහළට සිටින සේ බිම දිගා වෙන්න. යටි පතුල හොඳින් බිම සිටින සේ කකුල් නවා ගන්න.
  2. ඔබේ අතේ ඇඟිලි දෙකක් පෙකිණියට ඉහළින් හෝ පහළින් තබා උදරය තුළට සෙමින් තල්ලු කරන ගමන් හිස හෙමින් ඉහළට ඔසවන්න.
  3. ඔබගේ ඇඟිලි දෙපස වටේට ඔබේ උදරීය මාංශ පේෂීන් ඔබට දැනෙන්න පුළුවන්.
  4. ඔබට කිසිවක් නොදැනුනේ නම් නැවත නැවතත් උත්සහ කරන්න. මේ අවස්ථාවේ ඇඟිලි දෙකක් වෙනුවට ඇඟිලි තුනක් භාවිතා කරන්න. මේ ආකාරයට ඔබට උදරීය මාංශපේෂීන් ඇඟිලි වලට දැනෙන තුරු ඇඟිලි ප්‍රමාණය වැඩි කරන්න.

මෙම දුර ප්‍රමාණය විශාලයි නම්, ඔබ RAD තත්ත්වයට ලක්වී ඇති අතර සතියකට වරක් මෙම පරීක්ෂණය සිදු කිරීමෙන් ඔබට උදරයේ සිදුවෙන වෙනස වටහා ගත හැකියි.

තව දුරටත් දුර ප්‍රමාණය වැඩි වෙනවාද, අඩු වෙමින් පවතිනවාද යන්න ඇඟිලි මඟින් මැන ගන්නා දුරෙන් ඔබට වටහා ගත හැකියි.

මාංශපේෂි ශක්තිමත් වෙන විට මෙම පරතරය අඩුවේ. පරතරය බොහෝවිට දරුවා ලැබීමෙන් පසු පළමු සති 08 ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත්වේ. පරතරයේ විශාලත්වය අඩු වී නැතිනම්, ඔබ ඒ ගැන කනස්සල්ලට පත්ව සිටිනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

 

6. තව මොනවාද මට කරන්න පුළුවන් දේවල්?

Image Source – health.com

හැකිතරම් ක්‍රියාශීලි වෙන්න. ඔබට අවස්ථාව ලැබෙන හැමවෙලාවකම විදුලි සෝපානය වෙනුවට පඩිපෙළ භාවිතා කරන්නට උත්සහ කරන්න. නිවසේ වැඩකටයුතු, අස්පස් කරන දේවල් හැකි තරම් ක්‍රියාශීලීව කරන්න උත්සහ කරන්න. ඒ වගේම සුවදායී නින්දක් ලබා ගැනීමත් හරිම වැදගත් වෙනවා. ඒත් දහවල් වෙනකම්ම නිදාගන්න පුරුද්දක් තියෙනවා නම්, එය නම් ඔන්න හොඳ පුරුද්දක් වෙන්නේ නැහැ. දරුවා නිදි අතරේ කඩිසරව පුංචි පුංචි වැඩ කටයුතු කරගන්න එකත් ශරීරයට හොඳ ව්‍යායාමයක් වේවි. ඒ වගේම ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකම ඔබේ මනස සැහැල්ලු කර ගැනීමට උපකාරී වෙන පොතක්, පුවත්පතක් කියවන්නත්, ගීතයකට සවන් දෙන්නත් අමතක කරන්න එපා. ඒ තුළින් ඔබේ මානසික සහනය සැලසෙන අතර, මානසික සතුට අලුත් මවකට අත්‍යවශ්‍ය කාරණාවක්.

 

7. ඇයි මේ මුළු ඇඟම වේලිලා වගේ දැනෙන්නේ? ඒකට මොකද කරන්නේ?

Image Source – theblueroom.bupa.com.au

එහෙම වෙන්නේ ශරීරයේ තෙතමනය රඳවා ගන්න ඔයා කටයුතු නොකරන නිසා. මතක ඇතිව හොඳින් ජලය පානය කරන්න. මව හොඳින් ජලය පානය කරන එක දරු පැටියාටත් හරිම වැදගත්. හොඳින් ජලය පානය කිරීම නිසා ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියත් නිසි ආකාරයෙන් සිදු වීම මගිනුත් ශරීරයේ බර අඩු කර ගත හැකි වෙනවා. ජලය පුරවපු බෝතලයක් නිතරම ඔයාගේ ඇසට හසුවෙන ස්ථානයක පෙනෙන්නට තියන්න. තිබහක් නැතත් බෝතලය දකින දකින අවස්ථාවල ඔයාට මතක් වෙනවා ජලය පානය කරන්න. ඔබ දරුවාට මව්කිරි ලබා දෙන නිසා ඉතා ඉක්මණින් ඔබේ ශරීරය විජලනයට ලක් වෙනවා. ශරීරය විජලනය වීමෙන් වළක්වාගෙන, තෙතමනය ආරක්ෂා කර ගැනීමට ඔබ උනන්දු විය යුතුයි. හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් තෝරාගෙන ආලේප කරන්නත් අමතක කරන්න එපා. එයිනුත් ඔබේ හම වියලීමට ලක් වීම වළක්වා ගන්න සහයෝගයක් සපයනවා. ඒ වගේමයි රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතාව ටිකකට මග හැරීම හරිම වැදගත්. ඒවායේ අන්තර්ගත වෙන රසායනික ද්‍රව්‍ය මගින් ඔබේ සම වියලීමට පත් කරන්න ඇති ඉඩ ඉතා ඉහළයි.

 

ඉතින් අද අපි මේ සියළු දේවල් කතා කළේ අපේ ආදරණීය අම්මලා වෙනුවෙන්. දරු ප්‍රසූතියත් සමඟ ඇතිවෙන නොයෙක් කායික වෙනස් වීම් ගැන සිතමින් මානසික වෙනස් වීම් ඇති නොකර ගන්න අත්වැලක් වෙන්නයි අද අපි මේ ලිපිය රැගෙන ආවේ. වැදගත්ම දේ ඉවසීමෙන් සිටිමින් උත්සහ කිරීමයි. 

මාස නවයක් පුරා සිදු වූ වෙනස් කම් යථා තත්ත්වයට පත්වෙන්නත් කාලයක් අවශ්‍ය බව ඔබ හොඳින් වටහා ගත යුතු වෙනවා.

 

Cover Image Source – wexnermedical.osu.edu/ info.ramchealth.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *