හැන්ඩ්සම් එල කොල්ලෙක් වෙන්න ඕන කෙනෙක්ට පුලුවන්! ඒකට මේ එදිනෙදා පුරුදු අනුගමනය කිරීමත් වැදගත් වෙයි!!

දැන් ඔය බාහිර පෙනුම වැඩක් නෑ බ්‍රෝ හදවතේ ලස්සන නැතිනම් වගේ ටෝක්ස් දෙන ඈයෝ ඉන්නවා නේද? ඒ ටෝක්ස් යම් තාක් දුරකට නිවැරදියි. හිත හොඳ වෙන්නේ නැතුව කොයි තරම් මූණ ලස්සන වුනත්, ඇඟපත හැන්ඩි වුනත් වැඩක් නෑනේ. හැබැයි ඔය බාහිර පෙනුම වැඩක් නෑ කියන කෑල්ලට නම් අපිට එකඟ වෙන්න අමාරුයි. මොකද ඕනෑම කෙනෙක්ගේ බාහිර පෙනුම පවත්වා ගැනීම ඉතාම වැදගත්. මෙතැනදී බාහිර පෙනුම කියන එකෙන් අදහස් වෙන්නේ හැන්ඩි වීම, ලස්සන වීම කියන එක විතරක් නෙවෙයි. පිරිසිදුව සිටීම, පිළිවෙලට සිටීම, සිරියාවට සිටීම කියන දේවල් තමයි මෙතැනදී වැදගත් වෙන්නේ. ඉතින් එහෙම ඉන්න කැමති කෙනෙක්, විශේෂයෙන්ම කොල්ලෙක් ගත්තොත් එදිනෙදා ජීවිතේ යම් යම් පුරුදු ඇති කරගැනීම මගින් මේ බාහිර පෙනුම පවත්වා ගැනීම කරන්න පුලුවන්. කල් යනකොට මේ පුරුදු ජීවන චර්යාවේම කොටසක් බවට පත්වෙනවා. අන්න ඒක තමයි වෙන්න ඕන.

 

1. හැමදාම දත් මැදලා!

Image Source – media.allure.com

කොල්ලෝ සාමාන්‍යයෙන් දත් මදින්න කම්මැලියි පොඩි කාලේ. කෙල්ලෝත් ඉතින් ලොකු වෙනකොට කම්මැලි වෙනවා. හැබැයි දොස්තර අංකල්ලා කියන්නේ දවසට දෙවරක් දත් මදින්න කියලා. මේක ඕනම කොල්ලෙක් දිනපතා පුරුදු වෙන්න ඕන. හැබැයි දත් මදිනවා කියන්නේ උඩ ඇන්දට දෙපාරයි, යටි ඇන්දට දෙපාරයි, රවුමට එක පාරයි කියලා බුරුසුව පෙන්නලා අරගන්න එක නෙවෙයි. හරියට දත් මදින්න ඕන. මෘදු කෙඳි තියෙන හරි ප්‍රමාණයේ බුරුසුවකින් දත් අතර හොඳින් පිරිසිදු වෙන්න දත් මදින්න ඕන. දිවත් මදින්න ඕන. සාමාන්‍යයෙන් විනාඩි දෙකක් විතර හොඳටම ඇති.

 

2. වොෂ් එකක් එහෙමත් අරගෙන…

Image Source – rd.com

වොෂ් එකක් ගන්නවා කියන එක සමහර කොල්ලන්ට මරන්න වගේ වැඩක්. ඒ නිසා සමහරු ඉන්නවා නාන්නේ සතියකට සැරයක් වගේ. හැබැයි ඒක හරියන්නේ නෑ. නාන එක අපි කියමු සතියකට දෙපාරක් හෝ තුන්පාරක් කළා කියලා. හැබැයි දවස් පතාම හොඳින් ඇඟ පත සෝදාගන්න ඕන. සමහරු ඉන්නවා උදේම නාලා වැඩට යනවා. හවසට ආවට පස්සේ ඇඟපත හෝදගන්නවා. ඒක හොඳයි. ඊට අමතරව ඔය දූවිල්ලේ ගිහින් ආවට පස්සේ දවස මැදදී වුනත් මූණ කට හෝදගන්න එකත් හොඳ දෙයක්. හරිනම් දූවිල්ලේ එළිමහනේ ගිහින් ආවත් නැතත් දවසකට දෙපාරක් මූණ හෝදන්න කියලා තමයි කියන්නේ. මේකට හොඳ ෆේස් වොෂ් එකක් එහෙම පාවිච්චි කළාට කාරියක් නෑ.මෙහෙම දවස් පතා බොඩි වොෂ් එකක් එහෙම අරගෙන, මුහුණ කට හොඳින් හෝදලා ඉන්නකොට දාඩිය ගඳ එන්නේත් නෑ.

 

3. හොඳට සුවඳ ගහලා…

Image Source – themasqline.com

සාමාන්‍යයෙන් අපිට මුණගැහෙන මනුස්සයෙක් ගාව හොඳ ප්‍රසන්න සුවඳක් එනවා නම් අපිට ඒ කෙනා ගැන ඇතිවෙන හැඟීමත් බොහොම ප්‍රසන්න නැද්ද? ඇත්තටම නියම විදියට ජේත්තුවට ඉන්න කොල්ලෙක් දිනපතාම පිරිසිදු වෙන්න අමතක කරන්නේ නෑ වගේම තමයි, තමන්ගේ සුවඳ විලවුන් ගැන අමතක කරන්නෙත් නෑ. මෙතැනදී තමන්ට ගැලපෙන සුවිශේෂී සුවඳක් තියෙන  සුවඳ විලවුන් වර්ගයක් ‍තෝරාගන්න එක, ඒ සුවඳ විලවුන් වර්ගය තමන් පාවිච්චි කරන අනෙක් බියුටි ප්‍රොඩක්ට්ස් තියෙනවා නම් ඒවල සුවඳත් එක්ක ගැලපෙන එක සහ අවශ්‍ය ප්‍රමාණයට සුවඳ විලවුන් ගල්වා ගන්න එක ගැන හිතලා බලන්න ඕන. හොඳ සුවඳ විලවුන් වර්ගයක් මඳක් තවරා ගත්තට පස්සේ ඒක අපේ ඇ‍ඟේ සුවඳත් එක්ක මිශ්‍ර වෙලා, අපිටම සුවිශේෂී ශරීර ගන්ධයක් විදියට තමයි දැනෙන්න පටන් ගන්නේ. ආන්න ඒක තමයි අර පටන් ගන්නකොට කිවුව ප්‍රසන්න සුවඳ!

4. රැවුලත් හරියට සකසලා…

Image Source – youtube.com

සමහරු ඉන්නවා දිනපතා ‍රැවුල බාන. ඒ අයගේ මූණ බොහොම මටසිලි‍ටුවට, සිනිඳුවට තියෙනවා හරි ආකාරයෙන් ‍රැවුල බාලා ඉන්නවා නම්. හැබැයි දැන් කාලේ ට්‍රෙන්ඩ් එක තමයි ‍රැවුල වවන එක. ට්‍රෙන්ඩ් එක ඒක වුනාට ගොඩක් දෙනෙක් හරියට ‍රැවුල වවන සාස්තරේ දන්නෙ නෑ. ගොඩක් දෙනෙක් කරන්නේ ඔහේ ‍රැවුල වැවෙන්න අරින එක. හැබැයි හරියට ‍රැවුල වවනවා නම් දිනපතාම දිනචරියාවේ කොටසක් විදියට ‍රැවුලට සාත්තු කරන්න ඕන. වොෂ් දාලා හරි මුහුණ හෝදලා හරි ආවහම ‍රැවුලේ තෙල් ගල්වලා හොඳින් පීරන්න ඕන. අන්න එතකොටයි නීට් එකට වැවුණු ලස්සන ‍රැවුලක් ලැබෙන්නේ.

 

5. කොණ්ඩෙත් හොඳට පීරලා…

Image Source – liveabout.com

දැන් කොණ්ඩේ වවන ට්‍රෙන්ඩ් එකේ ඉන්න ගොඩක් කොල්ලෝ කරන්නේ කොණ්ඩේ කොහේ හරි යනකොට අතින් හදාගන්න එක. එතකොට කොණ්ඩේ කොටටම කපලා ඉන්න කොල්ලෝ කරන්නේ කොහේ හරි යනකොට ඉන්න විදියටම යන එක. හැබැයි කොණ්ඩේ පොඩ්ඩක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම කොහේ හරි යන්න කලින් පීරන එක හොඳයි. ඒක හිසකෙස් වල සහ හිස්කබලේ සෞඛ්‍යයටත් හොඳයි. ඊළඟට කොණ්ඩේ පීරන්න පුළුවන් විදියට තියෙනවා නම් අනිවාර්යයෙන්ම හොඳ හෙයාර් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා, පීරලා තමයි එළියට බහින්න ඕන. කොණ්ඩේ වවන ෆැෂන් එකක් කරනවා වුනත්, කොණ්ඩේ හොඳට බ්‍රෂ් කරලා පිළිවෙලකට හදාගන්න එක කළ යුතුම දෙයක්.

 

6. සුසිනිඳු නොවුනත් සම ආරක්ෂා වෙන දේවලුත් කරලා…

Image Source – rd.com

සාමාන්‍යයෙන් ඔය දහසකුත් එකක් බියුටි ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්නේ කෙල්ලොනේ. හැබැයි ඒ කියන්නේ කොල්ලන්ට ඒවා අකැපද? නෑ. කොල්ලොත් අනිවාර්යයෙන්ම සමේ ආරක්ෂාව ගැන හිතන්න ඕන. ඒ නිසා සමට හිතකර, ස්වභාවික ද්‍රව්‍යයන්ගෙන් නිෂ්පාදනය කරපු සම ‍රැකගන්න ක්‍රීම් එකක් වගේ දෙයක් දිනපතා කොල්ලෙක් පාවිච්චි කරන එක හොඳයි. විශේෂයෙන්ම දැඩි හිරු රශ්මියට අපිටත් මුහුණ දෙන්න වෙනවා. ආන්න ඒ නිසා මේ විදියට දිනපතා සම ‍රැකගන්න උපක්‍රම යොදන එකත් කරන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, ගොඩක්ම හිරු එළිය දැඩිව තියෙන දවසක එළියට යනකොට කොල්ලෙක් වුනත් සන්ස්ක්‍රීන් එකක් ගාලා ගියාට කමක් නෑ!

 

7. ලස්සනට හිනාවෙලා…

Image Source – rteachingmensfashiond.com

මේකත් වැදගත් දෙයක්ද? අනිවාර්යයෙන්ම ඔව්. සිනහව කියන්නේ සත පහක්වත් වියදම් නොකරම පළඳින්න පුලුවන් වටිනාම ආභරණය. මේවා නිකම්ම වචන නෙවෙයි. නිකමට බලන්න හිනානොවී ඉන්න මූණක් හිනාවකින් කොයි තරම් එලිය වැටෙනවද කියලා. ආන්න ඒ නිසා කණ්ණාඩියක් ගාවට ගිහින් අවංක, මූණම එළිය කරන හිනාවක් ප්‍රැක්ටිස් වෙන්න. දැන් ඒ හිනාව ආඩම්බරයෙන් පළඳින්න. පුරුද්දක් විදියට උදේට වැඩට යන්න කලින් කණ්ණාඩිය ගාවට ගිහින් තමන්ගේ ලස්සන හිනාවෙන් තමන්ටම සංග්‍රහ කරගන්න. ඒක දවස පුරාම හිනාවෙන්නත් පොඩි ප්‍රැක්ටිස් එකක් වෙයි.

 

මීට අමතරව ඉතින් කොණ්ඩය කපන එක, නියපොතු කපලා හොඳට බ්‍රෂ් කරලා තියාගෙන ඉන්න එක වගේ හැමදාම නොවුනත් නිරන්තරයෙන් කරන්න වුවමනා දේවල් තියෙනවා. ඒවා ගැන අපි කලින් කතා කරලත් තියෙනවා.

එහෙමනම් අපි හැමෝම පිරිසිදුවට, පිළිවෙලට ඉන්න එල කිරි ජෙන්ටා කොල්ලෝ වෙමු, හාද?

Cover Image Source – pinterest.com/ youtube.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *