වඩාත් වාසි විදිහේ ඉන්ටර්නෙට් පැකේජ් එකක් තෝරාගන්නේ මෙහෙමයි

ඉන්ටනෙට් කියන්නේ දැන් ගෙදර හැමෝටම ඕනි වෙන දෙයක්. දරුවන්ගේ පාඩම් වැඩට, අපේ තියෙන වැඩ වලට වගේම ආච්චිලා සීයලා ඉන්නවා නම් එයාලටත් පරණ යාලුවො එක්ක චැටක් දාන්නත් ෆෝන් එකක්, ඉන්ටනෙට් ටිකක් ඕනි වෙනවා. ඉන්ටනෙට් ගන්න ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ ක්‍රම මොනවද? අපිට සෙට් වෙන ක්‍රමය මොකද්ද? කියලා අපි ටිකක් විස්තර දැනගනිමු.

 

1. Optical Fibre හරහා ඉන්ටනෙට්

INTERNET CONNECTION

Image Source – opticfibrelighting.com.au

වයර් ලයින් හරහා අන්තර්ජාලය ගෙදරටම ගෙන්වාගත හැකිවන්නේ දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හරහා පමණයි. මෙම ෆයිබර් කනෙක්ශන් එක හරහා ඔබ නිවසේ 10 දෙනෙකු සිටියත්, 10 දෙනාම අන්තර්ජාලයට පිවිසියත් වේගය අඩු නොවන 100 Mbps තරම් වේගයකින් ඉන්ටනෙට් ලබා දෙනවා. ලංකාවෙදි නම් ටෙලිකොම් ෆයිබර් ගන්නවා නම් ගෙදරට පියෝ ටීවි ගන්නත් පහසුවක්. වැස්සට බ්ලොක් නොවී දවසම කිසි අවුලක් නැතිව පියෝ ටීවි බලන්නත් ෆයිබර් කනෙක්ශන් එකක් හරහා හැකි වෙනවා.

ෆයිබර් ලයින් එකක් ගන්න හැමෝටම බැහැ. ගෙවල් ළඟට ෆයිබර් කනෙක්ශන් එකක් ඇවිත් තියෙනවාද? ගන්න පුලුවන්ද? කියලා ටෙලිකොම් එක හරහා දැනගන්නට ඕනි. ඒ වගේමයි ටෙලිකොම් සමාගමට නිතර එන චෝදනාවක් වෙන බිඳවැටීම් ඉක්මණින් පිළිසකර නොකිරීම ෆයිබර් වලදිත් තියෙනවා. ෆයිබර් කේබල් සාමාන්‍ය ක්‍රමයට පාස්සන්න බැහැ. ඒ සඳහා දියුණු තාක්ෂණය ඕනා කරනවා. ඒත් කනෙක්ශන් එක ඇක්ටිව් තියෙද්දි ලැබෙන සම කළ නොහැකි අත්දැකීම් නිසා ෆයිබර් කනෙක්ශන් එකක් ගන්න එක ලොකු පාඩුවක් නෙමෙයි.

 

2. 4G LTE

INTERNET CONNECTION

Image Source – androidauthority.com

4G වර්ග දෙකයි. එකක් මොබයිල් 4G. ඒවායෙදි ඩයලොග් සහ මොබිටෙල් හරහා මොබයිල් ෆෝන් එකෙන්ම 4G වේගය අත්විඳින්නට හැකියාව තියෙනවා. හච් සහ එටිසලාට් සමාගම් මේ අවුරුද්ද අවසානයේදී 4G පහසුව දෙන බවක් සඳහන් වෙනවා. හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් විදියට ලංකාබෙල්, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඩයලොග් ආයතන 4G හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් ලබා දෙනවා. 4G කියන්නේ වයර් රහිත තාක්ෂණය හරහා ඔබට අන්තර්ජාලයට පිවිසෙන්න දෙන තාක්ෂණයක්. 4G ගන්න නම් සිග්නල් තියෙන්නට ඕනි. මොන විදියට කවුරු කිව්වත් කනෙක්ශන් එකක් ගෙදරට ගන්න කලින් පාවිච්චි කරන යාලුවෙක්ගෙන් හරි ඉල්ලගෙන, ඒ කනෙක්ශන් එක අපේ ගෙදරට ගෙනල්ලා ඇත්ත වේගය චෙක් කරගන්න ඕනි.   එහෙම නැත්නම් කනෙක්ශන් එක දෙන්න ඉන්න සමාගමටම ඔබ අන්තර්ජාලය පාවිච්චි කරන තැනට සිග්නල් තියෙනවාද කියල බලලා දෙන්නට කියලා ඉල්ලන්නට හැකියි. එහෙත් එවිට ඔවුන් කියන දේ වගේම ඔබට අවශ්‍ය වේගය ලැබෙනවාද කියලා ඔබේම ෆෝන් එකෙන් ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලාගන්න එක වටිනවා.

4G වලදි එක ටවර් එකකට කස්ටමර්ස්ලා ගාණ වැඩි වෙද්දි ගොඩක් බිසී ටයිම් වලදි අන්තර්ජාල වේගයට බාධා එල්ල වෙනවා. එකම නිවසේ වුවත් ඇතැම් විට කුස්සියට සිග්නල් නැති වී සාලෙට සිග්නල් තියෙන අවස්ථා 4G වල තියෙනවා. හොඳම නගරබද ඒරියා එකක නම් 4G හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ජාලා 3ම හොඳින් වැඩකරනවා ඇති. ඒත් තරමක් ඈතට යන්න යන්න පරීක්ෂා කරලා බලලාම 4G කනෙක්ශන් එකක් ගන්න එක හොඳයි.

 

3. ADSL බ්‍රෝඩ්බෑන්ඩ්

INTERNET CONNECTION

Image Source – support.zen.co

ADSL කියන්නේ ටෙලිකොම් ආයතනයේ තඹ වයර් හරහා ගෙදරට අන්තර්ජාලය ලබාගන්නා විදිය. ඒකෙදි වයර්ලස් වලට වඩා ස්ථාවර සම්බන්ධතාවයක් නිවෙසට ලැබෙනවා. ADSL ටෙලිකොම් සමාගමෙන් ගත්තොත් ඒ වයර් හරහාම ගෙදරට පියෝ ටීවී ලබාගන්නත් හැකියි. කොහොම වුනත් වැස්සට පස්සේ එකපාර වයර් කඩා වැටිලා කනෙක්ශන් නැතිවීම සමහර පැතිවල ටෙලිකොම් ADSL කස්ටමර්ලාට මුහුණ දෙන්න වෙන අත්දැකීමක්.  වයර් සම්බන්ධතාවයක් නිසා, වයර් ජාලයේ සිදුවිය හැකි දෝෂ වලදී සම්බන්ධතාවය බිඳ වැටීම්ද ADSL වලදී අත්දකින්නට සිදු වෙනවා.

 

4. අපිට ඉතිං මොබයිල් සිග්නල් විතරයිනේ

 

INTERNET CONNECTION

Image Source – gizmodo.com

සමහර පැතිවලට හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් පැතිරිලා නැහැ. ඒත් ජංගම දුරකථන හරහා, 4G පහසුව හරහා ඉන්ටර්නෙට් යන්න පුලුවන්කම ලැබෙන පැති තියෙනවා. ඒ වගේ 4G විතරක් එක් ජාලයකට තිබෙන පැතිවල ජනයාට ඒ ජාලයේ සිම් එකක් ඩොංගලයට හෝ ස්මාට්ෆෝනයට දාගෙන ඉන්ටනෙට් යනවා හැර වෙන විකල්පයක් නැහැ. මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ටිකක් මිල වැඩියි. ඒත් ඉතින් වෙන ඔප්ශන් එකක් නැතිම නිසා ඒකට යන්නට වෙනවා.

 

5. පැකේජ

INTERNET CONNECTION

Image Source – iglu.com.au

ඉන්ටනෙට් වලට යද්දි ඒ ඒ සමාගම් වල ඒ ඒ මිල ගණන් වලට පැකේජ තිබෙනවා. ගෙදරට ඉන්ටනෙට් ගන්නවා නම් ජනප්‍රියම ක්‍රමය තමයි මාසෙට බිලක් යටතේ ඉන්ටනෙට් ලබාගැනීම. මේ හරහා ඉන්ටනෙට් ගනිද්දි ලැබෙන ඩේටා කෝටා ලැබෙන විදිය ගැනත් හිතන්න ඕනා. රුපියල් 1490කට ගිගාබයිට් අනූවක් කියලා ටෙලිකොම් වෙබ් ෆැමිලි පැකේජ් එක තිබුණාට, ඒකෙන් ඇත්තටම අපිට දවල් කාලේ පාවිච්චි කරන්න ලැබෙන්නේ ගිගාබයිට් 36ක් පමණයි. ඉතිරි ගිගා බයිට් 56 පාවිච්චි කරන්න ලැබෙන්නේ රෑ 12ත් උදේ 8ත් අතර කාලයේදී පමණයි. හැරත් මේ 1490 කියල දැන්වීමේ දාල තියෙන මුදලට තව බදු මුදලුත් එකතු වෙනවා. ඩයලොග් හෝ වෙන සමාගමකින් කනෙක්ශන් එකක් ගත්තා වුනත් මේ ආකාරයට දවල්ට කොච්චරද? රෑට කොච්චරද? බදු කොච්චරද? කියලා දැනගන්න එක වැදගත් වෙනවා.

 

6. තමුන්ගේ නමට කනෙක්ශන් එක ගැනීම

INTERNET CONNECTION

Image Source – Lifie Graphics

එක් එක් පළාත් අනුව සමහර පැකේජ ලාබයි. මොබිටෙල් සමාගමින් උතුරු නැගෙනහිර පළාත් වලට කාලයක් විශේෂ සහන පැකේජ ලබා දුන්නා. සරසවි සිසුන්ට වගේම අනෙක් ආයතන වලටත් සහන අන්තර්ජාල පැකේජ දුරකථන සමාගම් මගින් දෙනවා. මේ සම්බන්ධතාවයන් ලබාගැනීමේදී ඒවා තමුන්ගේ නමට හරවගන්න පුලුවන්ද කියලා බලන්න ඕනා. නැතිනම් ඒ සම්බන්ධතා අරගෙන මාස තුන හතරක් ගියාම ඒ සම්බන්ධතාවය කැන්සල් කරන්න හැකියාව ඒ අදාළ සම්බන්ධතාවයේ සැබෑ හිමියාට ලැබෙනවා. කොහොම වුනත් අද කාලේ සිදුවෙන අන්තර්ජාල අපරාධ ආදිය නිසා අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී සුලු ලාභය තකන්නේ නැතිව, තමුන්ගේ නමට අදාළ බලය ලත් නියෝජිත තැනකින්ම සම්බන්ධතාවය ලබාගන්න එක බොහොම වටිනවා.

 

7. නොගෙවා සිටීම

INTERNET CONNECTION

Image Source – eoc.org.cy

සමහර පැකේජ් අපි අරගෙන නොගෙවා හිටියත්, අපේ මිතුරකුට අරන් දීලා ඒ අදාළ අය නොගෙවා සිටියත් අවසානේ අපිට ඒකේ වගකීම දරන්නට සිදු වෙනවා. හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලදී ඔබ මාසයක්ම කිසිම ගිගාබයිටුවක් පාවිච්චි කරන්නට තබා රවුටරය හෝ සබඳතාවය ඔන් කළේම නැතත් ඒ මාසික ගාස්තුව ගෙවන්නට වෙනවා.  ඉතිං නිවෙස් මාරු කිරීමේදී, බෝඩින් මාරු කිරීමේදී වගේම සිම් එකක් අයින් කරගනිද්දි “ඒක දැන් ගෙවන්න ඕනි නැහැ ඔන්නොහෙ ඇරිල යයි” කියලා හිතලා නිකන් ඉන්න එපා. දුරකථන සමාගම් වලින් පසුකාලීනව  එකතු කර ලොකු බිලක් ඔබට එවා, එයද නොගෙව්වොත් පොලිස් උසාවි වල රස්තියාදු වෙන්නට ඔබට සිදුවෙන්නටත් පුලුවනි. ඒ නිසා සම්බන්ධතාවයක් හමාර කිරීම සඳහා අදාළ ආයතනයට නිසි පරිදි දන්වා සම්පූර්ණයෙන්ම කනෙක්ශන් එක ඉවත් කිරීම කළයුතුයි. ඔබ නමට එන බිල ඔබ අතට ලැබුනේ නැහැය කියා ඒ මුදල් ගෙවීම පැහැර හැරීම ලේසි නැහැ.

 

8. යූසේජ් බලා ගැනීම

INTERNET CONNECTION

Image Source – Imgur.com

ඩයලොග් වගේම ටෙලිකොම්, ලංකාබෙල්, මොබිටෙල් ආයතන වලත් අපි භාවිතා කළ ඩේටා ප්‍රමාණය බලාගන්නට හැකියි. මාසයේ මුල් දවස් දෙක තුනේ රෙසලූශන් වැඩි යූටියුබ් වීඩියෝ, බාගන්න ෆිල්ම් එහෙම බලලා ආතල් එකේ හිටියොත් බොහෝවිට මාසෙ අවසානේ අපිට අමතර ඩේටා වලට ගෙවන්න වෙනවා. ඒ නිසා ටිකක් කරදරයක් වගේ දැනුනත් සතියකට දෙතුන් වතාවක් යූසේජ් බලලා, ගාණ බලාගෙන ඉන්ටනෙට් පාවිච්චි කිරීම හොඳ දෙයක්.

අන්තර්ජාලය නිවසට ගැනීම දැන් ජලය, විදුලිය වගේම මූලික අවශ්‍යතාවක් මට්ටමට වැටිලා. දැන්වීම් වල දැක්වෙන අසාමාන්‍ය වේගය ලැබෙන සුවිශාල දත්ත වලට පිටුපසින් තවත් කරුණු කිහිපයක් තියෙනවා, අන්තර්ජාල සම්බන්ධයක් ගෙදරට ගැනීමේදී සැලකිළිමත් වෙන්න ඕනා. ඒ ගැන ඔයාලට හොඳ දැනුමක් මේ හරහා ලැබෙන්නට ඇති බව ලයිෆි අපි විශ්වාස කරනවා.

Cover Image Source – newsroom.cisco.com/ wired.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *