ආදර සම්බන්ධයක් සාර්ථකව ගෙනියන්න දෙපාර්ශවයටම කරන්න සිද්ධවෙන කැපකිරීම්

ජීවිතයේ සෑම සම්බන්ධතාවයක් වගේම ආදර සම්බන්ධතාවයකුත් ඉදිරියට ඇදෙන්නේ උස් පහත් වීම් එක්ක. සතුටුදායක වගේම අභියෝගාත්මක අවස්ථා වලටත් මුහුණ දෙන්න සිදු වෙන එක හරිම සාමාන්‍යයයි. ආදරය නිසා ඇතිවෙන සම්බන්ධතාවයේ ශක්තිමත් බව රඳාපවතින සාධකය තමයි කැපකිරීම් කියන්නේ. සාර්ථක සම්බන්ධතාවයක් හිමිවන්නේ ඒ වෙනුවෙන් එකිනෙකා කරන කැපකිරීම්, මහන්සිවීම් මත මිසක වාසනාව නිසාම නම් නෙමෙයි. සබඳතාවයක් තහවුරු කෙරෙන, පැවැත්ම තීරණය කෙරෙන බොහෝ ක්‍රියාකලාපයන් තියෙනවා අපි විසින් කළ යුතුව තිබෙන. සාර්ථක හා ශක්තිමත් සම්බන්ධතාවයක් හටගන්නේ එකිනෙකා වෙනුවෙන් කැපවීමට සූදානම් වූ දෙදෙනෙකුගේ එක්වීමෙනුයි. “මම මෙහෙම කරානම් ඔයාත් මෙහෙම කරන්න” කියන තැන නෙවෙයි මේ කැපකිරීම රැඳිලා තියෙන්නෙ. ඒ වගේමයි මේකෙන් කියන්නෙ නෑ ඔබ සතු සියල්ල කැපකළ යුතුයි කියන කාරණය. නමුත් සාර්ථක සම්බන්ධතාවයක අවශ්‍යතාවයක් ඔබට තිබෙනවානම් අනිවාර්යයෙන් කැපකිරීමට සිදුවන, කැපකළ යුතු දේවල් ඔබ කළ යුතුමයි. මෙන්න ඒ වගේ දේවල් කිහිපයක්.

 

1. කාලය

Sacrifice

Image Source – relateinstitute.com

අද ලෝකයේ බිඳවැටෙන බොහෝ සම්බන්ධතාවයන්ට මූලික වෙලා තිබෙන හේතුවක් විදිහට එකිනෙකා වෙනුවෙන් කාලයක් වෙන්කරගන්න පුද්ගලයින්ට ඇති නොහැකියාව සඳහන් කරන්න පුළුවන්. තරඟකාරී ජීවන රටාවත් එක්ක අපි හැමෝම එක පිම්මට දුවමිනුයි සිටින්නේ. ඒත් අපට මතක නෑ අපි ජීවිතයේ වැදගත්ම දේවල් මග වට්ටමිනුයි මේ දුවන්නෙ කියලා. ආපසු හැරෙන්න හිතෙන වෙලාවට අපි බොහෝම පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. ඔබේ වටිනා කාලය කළමනාකරණය කරගෙන ඔබේ සම්බන්ධතාවය වෙනුවෙනුත් වැඩි කොටසක් වෙන්කරන්න. කැපකරන්න. සමහර අවස්ථාවලදී ඔබ කැපකරන්නේ ඔබ හුදකලාව සිටීමට සිතූ කාලය වෙන්න පුළුවන්, හොඳ නින්දක් ලබාගන්න සිතා සිටි කාලය වෙන්න පුළුවන්, ඔබේ යහළුවන් සමඟ විනෝදවන කාලය වෙන්න පුළුවන්… ඒ දේවලුත් ඉතාම වැදගත්, ඒ වගේමයි ඔබ සම්බන්ධතාවයක් අරඹන්නේ ඔබගේ කාලය ඒ සඳහා යෙදවීමට, කැපකිරීමටම බවත් අමතක කරන්න එපා.

 

2. මුදල්

Sacrifice

Image Source – dissolve.com

සම්බෝලයි බතුයි කාලා ඉමු කියලා ආදරේ වැඩිපුර දැනෙන වෙලාවට කිව්වට සම්බෝල කන්නත් දැන් ලේසි නෑනේ. මුදල් කියන්නෙත් සම්බන්ධතාවයක් ඉදිරියට ඇදෙන ප්‍රධාන සාධකයක්. ඔබ තරුණයෙක් වුනත් තරුණියක් වුනත් මහන්සියෙන්, ශ්‍රමයෙන් උපයා ගත්තු ඔබේ ධනය ඔබ දෙදෙනා වෙනුවෙන්ම යොදවන්නට ඔබට හැකිවිය යුතුයි. එයත් ශක්තිමත් බැඳීමක් වෙනුවෙන් ඔබට කිරීමට වෙන කැපකිරීමක්. මම මෙහෙම කළා, අරහෙම කළා යනුවෙන් ඔබ දැරූ වියදම් ඉස්මතු කරමින් අනෙක් පුද්ගලයාව පීඩනයට ලක් කිරීම නොවෙයි ඉන් පසු සිදුවිය යුත්තේ. ඔබ, ඔබ දෙදෙනා වෙනුවෙන්, ඔබ දෙදෙනා තුළ පවතින සබඳතාවය වෙනුවෙන් යම් වියහියදමක් දරයිද, එය ඔබේ සතුට විය යුතුයි. පෙරලා ඔහුත් /ඇයත් ඊට සමාන වියහියදමක් කළ යුතු සේ ඔබ සිතනවා නම් සැබැවින්ම ඔබ දුර්වල සබඳතාවයක පදනම සකසන්නෙක් පමණයි.

 

3. ඔබේ වෙහෙස මහන්සිය

Sacrifice

Image Source – storemypic.com

සෑම මොහොතක්ම එක හා සමාන ලෙස නොගෙවේ. ඔබ දෙදෙනාගේ නොවුනත් පිටස්තර ලෝකයෙන් යම් යම් ගැටළු මතුවෙන අවස්ථා ඒවි. එවන් අවස්ථාවලදි ඔහු හෝ ඇය වෙනුවෙන් ඔබේ කැපවීම ඔබේ සබඳතාවය තව තවත් ශක්තිමත් කිරීමට හේතු වෙන්න පුළුවන්. එක්ව පිළිතුරු සොයන්න. එක්ව නැඟී සිටින්න. ඇය හෝ ඔහු තනිවී නැති බව හඟවන්න. සාර්ථක සම්බන්ධතාවයක් නම් හුදෙකලා බවක් නොවිය යුතුයි. අවශ්‍ය වූ ඕනෑම විටක “ඔබට එරෙහිව මම” නොව, “මුළු ලෝකයටම එරෙහිව අපි” ලෙස නැගී සිටීමට තරම් ශක්තිමත් හැඟීමක් දැනවීමට ඔබේ කැපවීම ඔබේ බැඳීම ශක්තිමත් කරාවි.

 

4. ඔයාටම ඕන දේ ලබා ගැනීමේ උවමනාව

Sacrifice

Image Source – pairedlife.com

ආදරේ කරද්දී අපි දෙන්නාම එක්කෙනෙක් කියලා කිව්වට ඇත්තටම දෙන්නා දෙන්නෙක්. වෙනස් රුචි අරුචිකම්, වෙනස් සිතුම් පැතුම්, වෙනස් හැඟීම් දැනීම්. ඒත් ඒවා හැකිතරම් ගලපා ගන්න බලන නිසා තමයි අපි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා අපි කියන්නේ. සෑම විටම ඔබ ඔබට අවශ්‍ය දේම ඉටුකර ගැනීමට උත්සහ නොකළ යුතුයි. ඔබට රුචි නොවන දේත් ඔහු හෝ ඇයගේ සතුට වෙනුවෙන් ඔබට කරන්නට සිදුවේවි. ඒවායි ශක්තිමත් බැඳීමක ලක්ෂණ. උදාහරණයක් විදිහට ඔබ කිසිසේත්ම ප්‍රිය නොකරන චිත්‍රපටයක් ඇය හෝ ඔහු සමඟ පැයක් දෙකක් නැරඹීමට සිදුවීම වගේ…

ඉතින් “මම” කියන වචනය යහපත්, ශක්තිමත් සම්බන්ධතාවයකදී තියෙන්න ඕනම නැති තරම්. ඒ වෙනුවට “අපි” කියලා හිතන්න ඔබට සිදුවෙනවා. ඉතින් දෙදෙනාම මෙහෙම අනෙකා ගැන හිතනකොට හරිම සොඳුරු ශක්තිමත් සබඳතාවයක පදනම සැකසේවි.

 

5. සෑම විටම නිවැරදි වීමේ උවමනාව

Image Source – glowville.net

අපි හරිම කැමතියි දිනන්න. පුංචි කාලේ ඉඳන්ම අපිට කියලා දෙන්නේ දිනන්න. ඒත් හිතාමතාම පරදින්න ඕන අවස්ථා අපේ ජීවිතේට එනවා. ඒ වගේ අවස්ථා ඕනතරම් ආදර සම්බන්ධතාවයකදීත් එලැඹේවි. ඔබ ආදරය කරන ඇය හෝ ඔහු ඔබට තරඟකරුවෙක් නොවෙයි. සෑම කතාබහකම අවසානයේ ඔබ ජයග්‍රාහකයෙකු හෝ අනෙකා පරාජිතයෙකු විය යුතු නෑ. එසේ වීමෙන් දිනාගත හැකි කිසිවක් ආදර සබඳතාවයක ඇත්තේ නැහැ. ඔබේ මතය හෑම විටම ඉදිරියට පැමිණිය යුතුමයි කියා ඔබ සිතනවානම් ඔබ කිසිසේත්ම ආදර සබඳතාවයකට සුදුස්සෙක් නම් නොවෙයි. යහපත් ශක්තිමත් සබඳතාවයක් වෙනුවෙන් ඔබට ඔබේ මානය දුරු කරගන්නට වේවි. ඒ වගේමයි ඔබ දෙදෙනා අතර තරඟයක් නොමැති නිසා හිතාමතාම පරාද වීමට ඔබට හොඳ දරාගැනීමක් තිබීම ඔබේ සබඳතාවය ශක්තිමත් කරාවි. ඒ වගේමයි ඒ නිසා නිකරුණේ දුරදිග යන පුංචි පුංචි ප්‍රශ්න ලත් තැනම ලොප් වේවි.

 

6. පුද්ගලිකත්වය

Image Source – lovelifetbd.com

ආදර සම්බන්ධතාවයකදි ඔබට සිදුවෙනවා ඔබේ පුද්ගලිකත්වය බෙදාගන්න. මගේ කියලා තිබුන හැමදේම නොදැනීම අපේ බවට පත්වෙනවා. ඔබ සූදානම් විය යුතුයි ඔබේ පුද්ගලිකත්වය කැපකිරීමට. කායික, මානසික මේ හැම අයුරකින්ම ඔබ ඔබව ඇය හෝ ඔහු සමග බෙදා ගැනීමට සූදානම් විය යුතුයි. ඔබේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ඔහු හෝ ඇය සමඟ ගත කරන නිසා ඔබේ සියළු කටයුතු හුවමාරු කරගැනීමට ඔබ හුරු විය යුතුයි. වසන් කිරීම්, හොර බොරු ඔබේ සම්බන්ධතාවයෙන් ඈත් කරන තරමටයි එහි සාර්ථකත්වය කරා ගමන් කළ හැක්කේ.

 

7. සමහර පුරුදු, ආශාවන්

Sacrifice

Image Source – elitereaders.net

කලින් කිව්වා වගේම මේ ගලපාගෙන එක මඟක යන්නේ වෙනස් සිතුම් පැතුම් ඇති ජීවීන් දෙන්නෙක්. ඉතින් ඇය අකැමැති, ඔහු අකැමැති සමහර පුරුදු ඔහු හෝ ඇය මුණගැහෙනකොට අපි ළඟ තියෙන්න පුළුවන්. ඉතින් අවංක බැඳීමක් වෙනුවෙන් ශක්තිමත් බැඳීමක් වෙනුවෙන් අපිට සිදුවෙනවා ඒ පුරුදු, ඒ ආශාවන්ගෙන් ඈත් වෙන්න. අනෙක් පුද්ගලයා පිළිකුල් කරන පුරුද්දක්, අසතුටු වෙන පුරුද්දක් එක්ක සාර්ථක ඉදිරි ගමනක් යන්න හරිම අපහසුයි. ඉතින් ඔබට හැකිවිය යුතුයි ඒ වෙනුවෙන් ක්‍රම ක්‍රමයෙන් හෝ ඔබේ පුරුද්ද කැපකරන්න.

 

ඇත්තටම පුද්ගලයන් තමන්ගේ සබඳතාවයට ඇලුම් කරන විට එකිනෙකා පිළිබඳ වද වෙනවිට ඔවුන් නිරායාසයෙන්ම කැපකිරීම් කිරීමට පෙළඹෙනවා. පෙරලා යමක් බලාපොරොත්තු නොවුණු ආදරණීය කැපකිරීම් සැබෑ ආදරවන්තයන්ගේ රහසයි. යහපත් ශක්තිමත් සම්බන්ධතාවයක යතුර එයයි.

Cover Image Source -lukasleonte.com/youtube.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *