දළදා මාලිගාව විතරක් බලන්නේ නැතුව නුවර ගිහින් මේවත් බලන් එමු

Kandy Places

දවසින් ගිහින් ට්‍රිප් එකකට යන්න තැනක් හොයද්දි මතක් වෙන තැන නුවර. බස් එකේ බැරි නම් කෝච්චියේ උනත් කොළඹ ඉඳන් පැය 3ක් වගේ තමයි යන්නේ. දැන් ඔය නුවර ගිහින් මොනවයි බලන්න තියෙන්නේ? දළදා මාලිගාවයි පේරාදෙණියේ මල්වත්තයි උපන් දා ඉඳන් නුවර ආවාම යන තැන්. දවසක වෙනසකටත් එක්ක නුවර ගිහින් මීට කලින් නොගිය තැනකට යමු ද?

 

1. රණවන පුරාණ රජමහා විහාරය

Kandy Places

Image Source – lakrooec.blogspot.com

කොළඹ ඉඳන් නුවර දිහාට යද්දී හම්බ වෙන කිරිබත්කුඹුර ග්‍රාමයේ තමයි මේ විහාරය තියෙන්නේ. ප්‍රධාන පාරේ ඉඳන් මග සලකුණු දාලා තියෙන නිසා අඳුරගන්න ලේසියි. මෙතනට එන්න කලින් ඈත ඉඳන්ම මේ විහාරයේ තියෙන සුවිශේෂ දෙයක් දැකගන්න පුළුවන්. ඒ තමයි සක්මන් පිළිමය. එසේ මෙසේ පිළිමයකුත් නෙවේ ඉතින්. ලෝකයේ තියන උසම සක්මන් පිළිමය. විහාරස්ථානයේ පිවිසුම් දොරටුව ඉන්දියාවේ සාංචි ස්තුපයේ උතුරු දොරටුවේ අනුරුවක් විදියට නිර්මාණය කරලා තියනවා. එතන ඉඳන් වම්පැත්තට තියෙනවා පියගැටපෙළක්. ගමේ පන්සලේ වගේ නෙවේ මේක නගින එක සිරිපාදේ වගේ. කැලෑවක් මැදින් තරමක් දුෂ්කරව යන්න ඕනි. උඩටම ගියාම තමයි සක්මන් පිළිමය දකින්න පුළුවන්. ඓතිහාසික වශයෙන් කතා කරොත් ගම්පොල යුගයේ බුවනෙකබාහු රජ සමය දක්වා මෙහි අතීතය දිවෙනවා.

2. නාරම්පනාව

Kandy Places

Image Source – youtube.com

ටටියානා අක්කි සන්ලයිට් ඇඩ් එහෙක හිටියා මතක ඇති. ඒක රූගත කරේ මෙන්න මෙහේ. මේක තියෙන්නේ මහනුවර මැණික්හින්න කියන ප්‍රදේශයේ. තවත් විස්තරාත්මකව කිව්වොත් පුටුහපුව කියන ග්‍රාමයේ. හොයාගන්න ඒ තරම් අමාරුවක් නැතත් මැණික්හින්න ටවුන් එකේ කාගෙන් හරි ඇහුවොත් මග සලකුණු කියාවි. නාරම්පනාව මාර්ගයේ වාහනේකින් කිසි අවුලක් නැතුව යන්න පුළුවන්. සරුසාරේට වැවුණු කුඹුරු යායක් ඒ යනකොට මුණගැහෙනවා. එතනින් වාහනය නතර කරලා වමට තියෙන පටු පාර දිගේ පොඩ්ඩක් පහළට ගියාම මේ දිය සීරාව හම්බ වෙනවා. වැස්ස තදින් නැති කාලවල නාගන්න ඉතාම ආරක්ෂාකාරී ස්ථානයක්.

 

3. ගැරිසන් සුසාන භූමිය

Kandy Places

Image Source – anmaxiu.files.wordpress.com

සොහොනක් කියන්නේ ආතල් ගන්න තැනක් ද? ඒ කිව්වේ මේ ට්‍රිප් එකක් ගියාට පස්සේ බලන්න යන්න ඕනි තැනක් විදියට? හැම සොහොනම එහෙම නැතත් මේක එහෙමයි. පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියන මේ සුසාන භූමියේ මිහිදන් කරලා තියෙන්නේ සුද්දගේ කාලේ හිටපු සුද්දෝ. මෙතන පොළවට පස් වෙලා ඉන්න වැදගත් චරිතයක් තමයි ජෝන් ඩොයිලි. උඩරට කෙළවගත්තේ ඩොයිලිගේ දහංගැටවලට අහු වෙලා නොව. ඊට අමතරව ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරිගේ බිරිඳ වන එලිසබත් ග්‍රෙගරිගේ සොහොනත් තියනවා. හොඳින් නිරීක්ෂණය කරාම පේන කරුණක් තමයි ගොඩක් දෙනා තරුණ වයසින්ම මළ බව. මෙතන පිහිටලා තියෙන්නේ දළදා මාළිගාවට උතුරු දෙසින් තියන කෞතුකාගාරයට මායිම් වෙලා තියෙන ගැරිසන් සුසාන භූමිය මාවතේ.

4. ආතර්’ස් සීට් නැරඹුම් පීඨිකාව

Kandy Places

Image Source – seychellesmama.com

නුවර අපි බලන්නේ අපේ ඇස් මට්ටමින්. එතකොට දකින වපසරිය හරිම පොඩ්ඩයි. හැබැයි අහසේ ඉඳන් බලනවා වගේ නුවර ටවුන් එකම බලාගන්න පුළුවන් ස්ථානයක් තමයි මේ. ඔය ආතර් කියන කෑල්ල එන්නේ සුද්දගේ කාලේදී ආතර් කියන වැවිලිකරුවා නගරය දිහා බලාන ඉන්න මෙතන කළුගලින් ආසනයක් හැදුවාය කියන නිසයි. මෙතනට යන්න පුළුවන් රජපිහිල්ල මාවත දිගේ ගියාම.

5. බහිරවකන්ද

Kandy Places

Image Source – hiveminer.com

නුවරට ඇවිත් ඔලුව පොඩ්ඩක් උස්සලා වටපිට බැලුවාම පේනවා කන්දක වැඩ ඉඳන් දළදා මාලිගාව දිහාට නෙත් යොමනවා වගේ පේන සමාධි පිළිමය. ඒ තමයි බහිරවකන්දේ සමාධි පිළිමය. ඕකට බහිරවකන්ද කියන්නේ ජනප්‍රවාදයේ එන එක්තරා කතාවක් නිසයි. රජෙක්ගේ අපලෙකට කියලා කන්‍යාවියෝ බිළිදෙන සීන් එකක් රජාගේ පුරෝහිතයා පැලෑන් කරලා තියනවා. බහිරවයා විදියට වෙස් මාරු කරගන්නේ පුරෝහිතයා. ඒ එන එන කන්‍යාවිය ඔහු අතින් දුෂණයට පත් වෙනවා. අන්තිමට ඔහොම බිළි දෙන්න නියම වුණේ වැලිකල මැණිකේ කියලා කෙල්ලක් ලු. කෙල්ල යවලා හොරාට බලන් හිටි මැණිකේට හිත ගිහින් හිටි ලුණුවිල නිළමේ, පුරෝහිතයාව කම්මුතු කරලා තියනවා. බහිරවකන්දට ආගම් භේදයකින් තොරව මිනිස්සු එනවා. ඒ එන්නේ ආතර්’ස් සීට් වගේ පළාතම බලාගන්න පුළුවන් නිසා.

6. ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය

Kandy Places

Image Source – sentiodotme.wordpress.com

මහනුවර සිලෝන් තේ කෞතුකාගාරය නමින් ප්‍රසිද්ධ මේ කෞතුකාගාරයයි. මහනුවර නගරයේ ඉඳන් දකුණු දිහාවට තියන හන්තාන පාරේ ගියාම කෞතුකාගාරයකට හැරවුණ පැරණි තේ කර්මාන්තශාලාවක් දකින්න පුළුවන්. මහල් හතරකින් යුතු මේ කර්මාන්තශාලාව අද කෞතුකාගාරයකට ඔබින විදියට නිර්මාණය කරලා තියනවා. යන්ත්‍ර සූත්‍ර, විවිධ තේ වර්ග, පුස්තකාලයක් වගේම තේ පැන්හලකුත් තියනවා. සඳුදාට සහ පෝය දිනවල නම් කෞතුකාගාරය වහලා.

7. උඩවත්ත කැලේ

Kandy Places

Image Source – greenwoodskandy.lk

පිවිසුමේ තියෙන්නේම රාජකීය වන උද්‍යානය කියලා. ඒ කියන්නේ මේක රජාගේ කැලේ. එහෙමයි කියලා ටවුන් එකේ ඉඳන් සෑහෙන දුරක් ගෙවන් යන්න ඕනි නැහැ. මේක තියෙන්නේ හරියටම දළදා මාලිගයට පිටුපසින්. මේ කාලේ රජවරු සැප ගන්න ඒරොප්පෙට නැග්ගට ඒ කාලේ රජවරු විවේක සුවය ලබන්න ඇවිත් තියෙන්නේ උඩවත්ත කැලේට. කොහොමත් අතීත ලංකාවේ තනිකරම කැලෑවල් කියලා ජාතියක් තිබිලා නැහැ. ඒ තිබ්බත් ඉතාම සුළු කාලයකට විතරයි. ඉතින් මේ කැලෙත් ජනාවාස වුණා කියලා කියනවා. ඒ බවට කැලෑව මැදින් වැටුණ පුංචි අඩිපාරවල් සාක්ෂි. මේ කැලේ වහන්නේ අවුරුදු දවසට විතරයි. ඒ නිසා ඕනිම දවසක යන්න පුළුවන් නිස්කලංක තැනක්.

Cover Image Source – pinterest.com/trover.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *