තනියම කේක් එකක් අයිසින් කරන්න ආසයිද? එහෙනම් මේ අයිසින් රෙසිපි ඔයාලටමයි

ලස්සනට අයිසින් කරපු කේක් එකක් දැක්කම ඕනම කෙනෙක්ට ආස හිතෙනව. සමහර කේක් කොච්චර ලස්සනද කියනව නම් කපන්නත් ලෝබ හිතෙනව. හරි පදමට අයිසින් එක හදාගන්න දන්නව නම් කේක් එකක් ලස්සනට අයිසින් කරන එක ඒ හැටි අමාරු වැඩක් නෙවෙයි. පොඩ්ඩගෙ බර්ත්ඩේ එකට, ඔයාලගෙ ඇනිවසරි එකට, අවුරුද්දට කඩෙන් ගෙනාපු කේක් එක ගෙදරදීම හදාගන්න ආස අයට අයිසින් වර්ග ටිකක් කියල දෙන්නයි මේ හදන්නෙ.

බටර් අයිසින් වර්ග තුනක් තියෙනව. හාඩ් බටර්, බටර් ක්‍රීම් සහ බේසික් බටර් අයිසින්. පාවිච්චි කරන අයිසින් සීනි සහ කිරි ප්‍රමාණය අනුව තමයි මේ වර්ග තුන වෙනස් වෙන්නෙ.

 

1. හාඩ් බටර් අයිසින්

Icing Frosting

Image Source – youtube.com

කේක් එකේ ඩෙකරේශන්ස් සඳහා තමයි මූලිකවම මේ අයිසින් එක පාවිච්චි වෙන්නෙ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බටර් 100g
  2. අයිසින් ෂුගර් 500g
  3. කිරි තේ හැඳි 2ක්
  4. වර්ණ ගැන්වීමට කලරින්

 

  • බටර් ටික ක්‍රීම් වෙනකම් බීට් කරගන්න. ඒකට අයිසින් ෂුගර් ටික ටික එකතු කරන ගමන් දිගටම බීට් කරගන්න. කිරි හැන්ද බැගින් එකතු කරගන්න.
  • අවශ්‍ය පමණ කොටස් වලට වෙන් කර, කලරින් එක් කරගන්න. තද ගතිය වැඩි නම් කිරි ස්වල්පයක්ද තෙත ගතිය වැඩි නම් අයිසින් ෂුගර්ද එක් කරගන්න.

 

2. බේසික් බටර් අයිසින්

Icing Frosting

Image Source – – taste.com

කේක් එකක් සම්පූර්ණයෙන්ම කවර් කරන්න ගන්නෙ මේ අයිසින් එක. නොසල්ස් වලින් කැමති ආකාරයකට කේක් එකක් ෆිනිෂ් කරගන්න පුළුවන්. කේක් එකක් සැන්ඩ්විච් කරන්නත් යොදාගන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බටර් 100g
  2. අයිසින් ෂුගර් 200g
  3. කිරි තේ හැඳි 1
  4. වැනිලා හෝ කැමති එසන්ස් එකක් සහ කලරින්

 

  • බටර් ටික සොෆ්ට් වෙනකම් බීට් කරගන්න. එයට අයිසින් ෂුගර් සහ කිරි එක් කර බීට් කරගන්න. අවසානයට වැනිලා සහ කලරින් එක් කර බීට් කරගන්න.

 

3. බටර් ක්‍රීම්

Icing Frosting

Image Source – thepioneerwoman.com

බේසික් බටර් අයිසින් එකෙන් හෝ ෆොන්ඩන්ට් වලින් කේක් එක කවර් කරන්න කලින් බේස් එක විදියට මුළු කේක් එකම බටර් ක්‍රීම් වලින් කවර් කරනව. කේක් එක සැන්ඩ්විච් කරන්නත් ගන්නෙ මේ අයිසින් එකමයි. තෙත ගතිය වැඩි නිසා ඩෙකරේශන්ස් වලට නම් ගැලපෙන්නෙ නැහැ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බටර් 100g
  2. අයිසින් ෂුගර් 200g
  3. කිරි තේ හැඳි 3
  4. වැනිලා හෝ කැමති එසන්ස් වර්ගයක්

 

  • බටර් ටික බීට් කරගෙන ඒකට අයිසින් ෂුගර් සහ කිරි එක් කර බීට් කරගන්න. අවසානයට එසන්ස් එක් කර බීට් කරගන්න.

 

4. ෆොන්ඩන්ට් අයිසින්

Icing Frosting

Image Source – biggerbolderbaking.com

පොඩි පොඩි රූප හදාගන්න, වෙඩින් කේක් ස්ට්‍රක්චර්ස් වලට, කප් කේක් වලට වගේ ඕනම දේකට ෆොන්ඩන්ට් අයිසින් එක පහසුවෙන් යොදාගන්න පුළුවන්. ෆොන්ඩන්ට් වර්ග කීපයක් තියෙනව. මේ කියල දෙන්නෙ බේසික් ෆොන්ඩන්ට් එක. ඔය පුංචි කාලෙ ක්ලේ වලින් වැඩ දාපු අයට නම් ෆොන්ඩන්ට් වලින් ගොඩක් ලස්සන දේවල් කරන්න පුළුවන් වෙයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  1. අයිසින් ෂුගර් 500g
  2. ග්ලිසරින් 10ml
  3. ලික්විඩ් ග්ලූකෝස් 75g
  4. ජෙලටින් 8g
  5. බටර් මේස හැඳි 1
  6. වැනිලා තේ හැඳි 1/2
  7. අයිස් වතුර කප් 1/8

 

  • ජෙලටින් වලට වතුර එක් කර විනාඩි 10ක් පමණ පෙඟෙන්න තියාගන්න. ජෙලටින් දැමූ භාජනයට වඩා කට කුඩා භාජනයකට වතුර ටිකක් රත් වෙන්නට හැර, ජෙලටින් භාජනය ඒ මත තබා ඩබල් බොයිල් කර ජෙලටින් ටික දියකරගන්න. ජෙලටින් දිය වූ පසු එයට ලික්විඩ් ග්ලූකෝස් සහ ග්ලිසරින් එක් කර හොඳින් මිශ්‍ර කරගෙන, එයටම බටර් දමා මිශ්‍ර කර ලිපෙන් ඉවත් කරගන්න.
  • දැන් වැනිලා එක් කරගෙන එයට අයිසින් ෂුගර් ටිකෙන් ටික එක් කරමින් හොඳින් අනාගන්න. අතේ නොඇලෙන සොෆ්ට් ගතියට ආ පසු හොඳින් ආවරණය කර භාවිතා කරන්න.
  • ලික්විඩ් කලරින් පාවිච්චි කරනවා නම් තෙත ගතිය අඩු වෙන්න තව අයිසින් ෂුගර් එක් කර අනාගන්න.
  • ෆොන්ඩන්ට් අයිසින් සෑදීමේදී මාවෝ බටර් ගැනීමෙන් තනි සුදු පැහැයෙන් අයිසින් එක හදාගන්න පුළුවන්.

5. පාච්මන්ට් අයිසින්

Icing Frosting

Image Source – wilton.com

වෙඩින් කේක් ස්ට්‍රක්චර් වල මල් හදන්න ගන්නෙ මේ අයිසින් එක. සෑහෙන කාලයක් මුකුත්ම නොවී තියාගන්න පුළුවන් නිසා නිවාඩු වෙලාවට පුංචි මල්, ඩෙකෝ එහෙම හදල තියාගන්න හැකියාව තියෙනව.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බිත්තර සුදු මද 1
  2. අයිසින් ෂුගර් 200g
  3. තයිලෝ පව්ඩර් තේ හැඳි 4 1/2
  4. බටර් තේ හැඳි 2
  5. වැනිලා තේ හැඳි 1/2

 

  • අයිසින් ෂුගර් වලින් බාගයක් ගෙන, එයට බිත්තර සුදු මද සහ වැනිලා එක් කර කැට නොසිටින්න හොඳින් අනාගන්න.
  • එයටම තයිලෝ පව්ඩර් සහ බටර් එක් කර නැවත අනාගන්න. දැන් ඉතිරි අයිසින් ෂුගර් ටිකෙන් ටික එක් කරමින් නොඇලෙන මෘදු ඩෝ එකක් වෙනතුරු අනාගන්න. අවශ්‍ය නම් තව අයිසින් ෂුගර් එක් කරගන්න.

 

6. චොකලට් ගනාශ්

Icing Frosting

Image Source – realfood.tesco.com

අයිසින් කන්න අකමැති අයට කේක් එකක් කවර් කරගන්න මේක තමා හොඳම විසඳුම.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  1. චොකලට් චිප්ස් හෝ කුඩාවට කපාගත් කුකින් චොකලට් කප් 1 1/3
  2. විපින් ක්‍රීම් කප් 1

 

  • විපින් ක්‍රීම් ටික භාජනයකට දාල, හැඳිගාමින් රත් කරගන්න. වටෙන් බුබුළු දාගෙන එනකොටම ලිපෙන් ඉවත් කරල චොකලට් චිප්ස් ටික භාජනයට දාගන්න. මිශ්‍ර නොකර විනාඩි 5ක් වහල පැත්තකින් තියාගන්න.
  • විනාඩි පහකට පස්සෙ විස්ක් එකකින් චොකලට් ටික මිශ්‍ර කරන්න. කේක් එක දැලක් උඩ තියාගෙන ගනාශ් එක වත්කරගන්න.

 

7. චොකලට් ෆ්‍රොස්ටින්

Icing Frosting

Image Source – wikihow.com

චොකලට් කේක් වලට වගේම කප් කේක් වලටත් මේ ෆ්‍රොස්ටින් එක හොඳින්ම ගැලපෙනව.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බටර් කප් 1 1/2
  2. ඉන්ස්ටන්ට් කෝපි කුඩු තේ හැඳි 1/2
  3. කොකෝවා පව්ඩර් කප් 1
  4. අයිසින් ෂුගර් කප් 5
  5. ෆ්‍රෙශ් මිල්ක් කප් 1/2
  6. වැනිලා තේ හැඳි 1 1/2

 

  • කොකෝවා පව්ඩර් සහ අයිසින් ෂුගර් ටික වෙනම හලාගන්න. බටර් වලට කොකෝවා පව්ඩර් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • එයට අයිසින් ෂුගර් සහ කෝපි දියකරගත් කිරි මාරුවෙන් මාරුවට ටික ටික එක් කරගනිමින් විස්ක් කරගන්න.
  • මිශ්‍රණය තද වැඩි නම් හෝ වියලි නම් තව කිරි ස්වල්පයක්ද, දියාරු නම් තව අයිසින් සීනි ටිකක්ද එක් කරගන්න.

Cover Image Source – saga.co.uk/marthastewart.com/thedessertchronicles.com

 

 

One response to “තනියම කේක් එකක් අයිසින් කරන්න ආසයිද? එහෙනම් මේ අයිසින් රෙසිපි ඔයාලටමයි”

  1. […] මේ හදන්නෙ. මේ චොකලට් කේක් වලට ගන්න චොකලට් ෆ්‍රොස්ටින් එක ගැන අපි මීට කලින් ලිපියක ලිව්ව. […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *