හැමෝම දන්න හොටෙල් කැලිෆෝර්නියා සිංදුව ගැන ගොඩක් දෙනා නොදන්න කරුණු 7ක්!

Hotel California facts

හොටෙල් කැලිෆෝර්නියා කියන්නේ අනූව දශකයේ ළමා කාලය ගත කරපු හැමෝම ආයෙමත් ආයෙමත් අහපු, ඒත් කවදාවත් එපා නොවුණු ගීතයක්. සමහර වෙලාවට ගොඩක් දෙනෙක් ඊගල්ස් සංගීත කණ්ඩායම ගැන දැනගන්න ඇත්තේත් හොටෙල් කැලිෆෝර්නියා සිංදුව අහලා තමයි. පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඉංග්‍රීසි අල්ලගන්න පුලුවන් කාලේ අහපු හොටෙල් කැලිෆෝර්නියා සිංදුවෙන් කියවෙන්නේ ඇත්තටම ඇමරිකාවේ තියෙන පාළු හයිවේ එකක මහ රාත්තිරියේ යන කෙනෙක්ට මුණගැහෙන අරුම පුදුම නවාතැන්පොළක් කියලා තමයි අපි හිතාගෙන හිටියේ. ඇත්තටම සිංදුවේ වචන වලින් කියවෙන මතුපිට අර්ථය ඒකනේ. හැබැයි කවදාවත් හිතුවද හොටෙල් කැලිෆෝර්නියා සිංදුවට ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථයක් තියෙන්න පුලුවන් කියලා? හොටෙල් කැලිෆෝර්නියා සිංදුව පි‍ටුපස්සේ තියෙන ඔබ නොදන්නා තවත් කරුණු කිහිපයක්ම තියෙනවා. මේ කථා කරන්න යන්නේ ඒ ගැන!

 

 

1. හොටෙල් කැලිෆෝර්නියා කියන්නේ ලොස් ඇන්ජලීස්ද?

Hotel California facts

Source – tvtropes.org

ඇත්තටම හොටෙල් කැලිෆෝර්නියා සිංදුවේ කියන්නේ හයිවේ එකක අයිනේ තියෙන ගුප්ත හොටෙල් එකක් ගැන නෙවෙයි. මේකේ කියන්නේ හැමෝම කියන ඇමරිකානු සිහිනය ගැන. ඒ කියන්නේ වෙන රටවලින් මිනිස්සු ඇමරිකාවට ආවේ සමෘද්ධිමත් ජීවිතයක් හොයාගෙන. හැබැයි ඇත්තටම ඒ ජීවිතේ සමෘද්ධිමත්ද එහෙම නැතිනම් ඒ ඇමරිකානු සමෘද්ධිය කියන්නේ ගැලවෙන්න බැරි මායාවක්, උගුලක්ද කියන එක තමයි මේ සිංදුවෙන් අහන්නේ. එහෙම ඇමරිකාවට දියුණුව හොයාගෙන ඇවිත් අසීමාන්තික දුරාචාරයන්ගෙන් විනාස වෙලා ගියපු කථා, චිත්‍රපටි අපි දැකලා තියෙනවනේ. ඉතින් ඒ දේවල් ගැන තමයි මේ සිංදුවෙන් කියන්නේ. ඊගල්ස් කණ්ඩායමේ ඩොන් හැන්ලි කියන විදියට මධ්‍යම පාංතික ඇමරිකානුවන් වුණු ඊගල්ස් සාමාජිකයින් දැකපු ලොස් ඇන්ජලීස් නුවර අධි සුඛෝපභෝගී ජීවිතය ගැන තමයි මේ කියවෙන්නේ. අපිට අමතක කරන්න බැහැ ලොස් ඇන්ජලීස් පිහිටලා තියෙන්නේ කාන්තාරය මැද එක මොහොතකදී පාලුයි කියන්න පුලුවන් හයිවේ එකක අතරතුර කියලා!

 

2. හොටෙල් කැලිෆෝර්නියා නෙවෙයි මේ සිංදුවේ මුල් නම

Hotel California facts

Source – thoughtco.com

මේ සිංදුවේ යටි අර්ථය කොහොම වුනත්, ඇත්තටම සිංදුවේ ගිටාර් පාර්ට්ස් සහ සංගීතය එකතු වෙලා නිර්මාණය කරන්නේ අපූරු සුන්දරත්වයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඩොන් ෆෙල්ඩර් කියන විදියට මාලිබු වල රෙන්ට් එකට ගත්තු බීච් හවුස් එකක ඉන්නකොට තමයි මේ හොටෙල් කැලිෆෝර්නියා කෝඩ්ස් සහ ගිටාර් රිෆ් එක නිකම්ම නිර්මාණය වෙලා තියෙන්නේ. කොහොම හරි ෆෙල්ඩර් තමන් අතින් මේ සිංදුව වෙනුවෙන් නිර්මාණය වුණු මියුසික් පාට්ස් ඔක්කොම කැසට් ටේප් එකක රෙකෝඩ් කරලා කණ්ඩායමට ඉදිරිපත් කරාලු. මේ පාට්ස් එකින් එක අහගෙන ගියපු සාමාජිකයෝ ඇත්තටම සතුටට පත් වුණු එක පාට් එකක් තියෙනවා. ආන්න ඒක තමයි අපි අදටත් හොටෙල් කැලිෆෝර්නියා සිංදුවේ අහන්නේ.

කොහොම හරි කියන්න ගියපු කථාව මේකයි. කට්ටිය මේ පාට් එක අහලා සතු‍ටු වෙලා කිවුවලු මේ “ඉලෙක්ට්‍රික් මෙක්සිකන් රෙගේ” කියලා. ඉතින් සිංදුව ඇත්තටම නම් කළෙත් “මෙක්සිකන් රෙගේ” කියලලු. හැබැයි අන්තිමට සිංදුව අවසාන කළාට පස්සේ ඊට වඩා “හොටෙල් කැලිෆෝර්නියා” නම හොඳයි කියලා කට්ටියට හිතුණලු.

 

3. හවුස්කීපර්ගේ උදවුව නැතිනම් ගිටාර් පාට් එක වරදිනවා!

Hotel California facts

Source – pinterest.co.uk

කොහොම හරි දැන් හොටෙල් කැලිෆෝර්නියා සිංදුව රෙකෝඩ් කරන කාලේ. ඩොන් ෆෙල්ඩර් ස්‍ටුඩියෝ එකට යනවා හොටෙල් කැලිෆෝර්නියා සිංදුවේ අර අපි ආසම ගිටාර් රිෆ් එක රෙකෝඩ් කරන්න. හැබැයි ෆෙල්ඩර් ඒක ගිටාර් එකෙන් ප්ලේ කරනවා අහගෙන ඉන්න ඩොන් හෙන්ලි කියනවා නවත්තන්න කියලා. හෙන්ලි කියන්නේ ෆෙල්ඩර් ප්ලේ කරන්නේ අර අවුරුද්දකට විතර කලින් මුලින්ම කණ්ඩායමට ෆෙල්ඩර් ඉදිරිපත් කරපු විදියට නෙවෙයි කියලා. ඇත්තටම අවුරුද්දකින් විතර ෆෙල්ඩර් ඒ ඔරිජිනල් ටේප් එක අහලා තිබුණෙත් නෑ. දැන් ටේප් එක තියෙන්නේ ලොස් ඇන්ජලීස් වල. හැබැයි බෑන්ඩ් එක සිංදුව රෙකෝඩ් කරන්නේ මියාමි වල. දැන් මොනවද කරන්නේ කියලා හිත හිතා ඉන්නකොට ඔන්න ආවා අයිඩියා එකක්. කට්ටිය මාලිබු වල ෆෙල්ඩර්ගේ ගෙදර හවුස්කීපර්ට කෝල් කලාලු. ඉන් පස්සේ එයාට කිවුවලු ටේප් එක ස්ටීරියෝ සෙටප් එකට දාලා, ෆුල් වොලියුම් ඇරලා ප්ලේ කරලා ෆෝන් එක අල්ලගෙන ඉන්න කියලා. එතකොට ෆෙල්ඩර් ඒක අහගෙන ඉඳලා, හරියට ගිටාර් රිෆ් එක ප්ලේ කළාලු!

 

4. බ්ලැක් සබත් ලාගේ සද්දේ!

Hotel California facts

Source – en.wikipedia.org

ඊගල්ස්ලා මියාමි වල හොටෙල් කැලිෆෝර්නියා රෙකෝඩ් කරනකොට, ඒ ස්‍ටුඩියෝ සංකීර්ණයේම අනික් පැත්තේ බ්ලැක් සබත්ලා ඒ අයගේ සිංදුත් රෙකෝඩ් කරනවලු. බ්ලැක් සබත්ලගේ සිංදු අහලා ඇතිනේ. හොඳම හෙවි මෙටල්. ඉතින් ඊගල්ස්ලා දැහැමෙන් සෙමෙන් හොටෙල් කැලිෆෝර්නියා රෙකෝඩ් කරනකොට අනික් පැත්තෙන් දෙදරන්න බ්ලැක් සබත් ඇහෙනවා. ඇත්තම කිවුවොත් එක ඊගල්ස් සිංදුවක් ආයෙමත් රෙකෝඩ් කරන්නත් සිද්ධ වුනාලු මේ බ්ලැක් සබත්ලගේ සද්දේ නිසා. ඒ සද්දේ අච්චර සවුන්ඩ් පෘෆ් කරපු ස්‍ටුඩියෝ එකේ බිත්ති වලින් ඊගල්ස්ලා රෙකෝඩ් කරන ස්‍ටුඩියෝ එකට ඇවිත්, ඊගල්ස්ලාගේ සිංදුව රෙකෝඩ් කරන ටේප් එකේත් රෙකෝඩ් වෙලා. බ්ලැක් සබත් කොහොම සද්දෙකට රෙකෝඩ් කරන්න ඇද්ද!

 

5. හොටෙල් කැලිෆෝර්නියා ඇල්බම් කවර් එක

Hotel California facts

Source – loudersound.com

ආට් ඩිරෙක්ටර් ජෝන් කොෂ් තමයි හොටෙල් කැලිෆෝර්නියා ඇල්බම් එකේ කවර් එක නිර්මාණය කරන්නේ. ඇත්තටම ජෝන් කොෂ් කියන්නේ බීට්ල්ස්ලාගේ “Abbey Road”, රෝලින් ස්ටෝන්ස්ලාගේ “Get Yer Ya-Ya’s Out” වගේ ඉතිහාසගත ඇල්බම් කවර්ස් නිර්මාණය කරපු කෙනෙක්. එයා කියනවා හොටෙල් කැලිෆෝර්නියා ඔරිජිනල් ඇල්බම් කවර් එක සෑහෙන්න වැඩක් වුණා කියලා. ඩොන් හෙන්ලිට මේ කවර් එක වෙනුවෙන් තැන් කීපයක ෆොටෝස් ගන්න වුවමනා වෙලා තියෙනවා. එතනින් එකක් තමයි බෙවර්ලි හිල්ස් හොටෙල් එක. කොහොම හරි කට්ටිය ගිහින් බෙවර්ලි හිල්ස් හොටෙල් එකේ පිටිපස්සෙන් ඉර බහින විදියේ ෆොටෝ එකක් අරගෙන. මේක ඒ කාලේ විදියට ඉතාමත් විශාල මුදලක් වැය වුණු කවර් එකක් කියලා තමයි ජෝන් කොෂ් කියන්නේ.

 

6. තවත් බෑන්ඩ් එකක නමක් හැංගිලා තියෙනවා!

Hotel California facts

Source – billboard.com

හොටෙල් කැලිෆෝර්නියා සිංදුව අහනකොට මතක් වෙනවද “They stab it with their steely knives, but they just can’t kill the beast” කියලා පේළියක් තියෙනවා? ඇත්තටම මේ පේළිය සිංදුවේ අර්ථය එන විදියට සඳහන් වෙනවා වගේම, ඒ පේළියෙන් ඒ කාලේ තිබුණු තවත් බෑන්ඩ් එකක් ගැනත් සඳහන් වෙනවා. ඒ බෑන්ඩ් එක තමයි Steely Dan. හොටෙල් කැලිෆෝර්නියා සිංදුව නිර්මාණය වෙන කාලේදී Eagles සංගීත කණ්ඩායම සහ Steely Dan සංගීත කණ්ඩායම කියන දෙකේම මැනේජර් වෙලා හිටියේ අර්වින්ග් අසෝෆ්. ඒ නිසාම මේ බෑන්ඩ් දෙක අතරේ මිත්‍රශීලී තරගයකුත් ගොඩනැගිලා තියෙනවා. ඉතින් කොහොමහරි Steely Dan බෑන්ඩ් එක ඒ අයගේ Everything You Did සිංදුවේ Eagles කණ්ඩායම ගැන සඳහනක් කරලා තියෙනවා. ඒකට රිටන් එක විදියට තමයි Eagles කණ්ඩායම හොටෙල් කැලිෆෝර්නියා සිංදුව ඇතුළේ Steely Dan ගැන සඳහන් කරන්නේ!

 

7. කොපියක්?

Hotel California facts

Source – royalalberthall.com

ඒ කාලේ තිබුණු තවත් බෑන්ඩ් එකක් තමයි Jethro Tull කියන්නේ. මේ බෑන්ඩ් එකේ ඉයන් ඇන්ඩර්සන් හොටෙල් කැලිෆෝර්නියා සිංදුව අහපු ගමන් එයාට තේරුණාලු බොහොම හුරුපුරුදු ගතියක්. ඉන් පස්සේ එයාට හිතුණලු තමන්ගේ බෑන්ඩ් එක වෙනුවෙන් තමන් නිර්මාණය කරපු We Used to Know සිංදුව සහ මේ හොටෙල් කැලිෆෝර්නියා සිංදුව අතිශයින්ම සමානයි කියලා. හැබැයි ඒක ගැන සඳහන් කරන ඉයන් කියා හිටියේ ඒක අහඹු සිදුවීමක් වෙන්න පුලුවන් කියලා. ඒ කියන්නේ 1972 දී ඊගල්ස් සහ ජෙත්‍රෝ ටල් බෑන්ඩ් දෙකම එක ‍ටුවර් එකක් කරනවා. ඒ වෙලාවේ අවිඥාණිකව ඇහුණු සිංදුව ඔලුවේ තිබිලා හොටෙල් කැලිෆෝර්නියා පොඩි සමානකමක් එක්ක නිර්මාණය වෙන්න ඇති කියලා අදහසක් ඇතිවෙනවා. හැබැයි ඒක වෙන්න බැහැ කියන හේතුව තමයි, හොටෙල් කැලිෆෝර්නියා සිංදුව නිර්මාණය කරපු ඩොන් ෆෙල්ඩර් 1972 වෙනකොට ඊගල්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් නොවීම. ෆෙල්ඩර් ඊගල්ස් එක්ක එකතු වෙන්නේ 1974 දී. හොටෙල් කැලිෆෝර්නියා නිකුත් වෙන්නේ 1977. හරි, අපි අහලම බලමු සිංදු දෙක සමානයිද කියලා.

මොකද හිතන්නේ? “හොටෙල් කැලිෆෝර්නියා” කියන්නේ “වී යූස්ඩ් ‍ටු නෝ” සිංදුවේ කොපියක් කියලා හිතනවද? කමෙන්ට් එකක් දාලා අපිට කියන්න හිතන දේ!

Cover Image Source – tigerstrypes.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *