විවාහයෙන් පස්සේ පවුලේ අය එක්ක එකට ඉන්නවද වෙනම ඉන්නවද කියලා තීරණය කරන්න කලින් මේ කරුණු 7 ගැනත් හිතන්න

where to stay after marriage

ළඟදිම විවාහ වෙන්න ඉන්න වගේම අළුතින්ම විවාහ වුන යුවළකගේ ප්‍රධානම ප්‍රශ්නයක් තමයි විවාහයෙන් පස්සෙ දෙන්නා කොහෙද පදිංචි වෙන්නෙ කියන එක. දෙන්නගේ අදහස් ප්‍රතිවිරුද්ධ වෙන වෙලාවට ඉතින් දෙන්නත් එක්ක පොඩි පොඩි නෝක්කාඩුත් ඇතිකර ගන්න එක හේතුවක් තමයි මේ. ලංකාවේ සාම්ප්‍රදායිකව සිද්ධ වුන පිළිවෙළට නම් විවාහයෙන් පස්සෙ මනමාලිය මනමාලයාගේ නිවසේ පදිංචියට යාම තමා සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ. නමුත් වර්තමානය වෙනකොට අපේ තරුණ උදවිය තමන්ගේ නිදහස ඉහළින්ම අගය කරන නිසාත්, තීරණ ගැනීමත් හරිම වේගවත් නිසාත්, ඉවසීමත් හරිම අඩු නිසාත් මේ ගැන දෙවතාවක් සිතා බලන්න ඕන තැනක තමයි අද ඉන්නේ. ඉතින් ඔයත් විවාහයෙන් පස්සෙ පවුලේ අය එක්ක එකට ඉන්නවද වෙනම නිවසක පදිංචි වෙනවද කියලා හිතමින් ඉන්නවා නම් මේ කරුණුත් හිතලා බලන එක තමා හොඳ.

 

1. විවාහයේ වියහියදම් එක්ක වෙනම නිවසක පදිංචිය වෙනුවෙනුත් මුදල් වැය කරන්න ඔබ මූල්‍යමය වශයෙන් ශක්තිමත්ද?

where to stay after marriage

Source – financialsecurityfirst.com

විවාහය කියන්නේ කාගේත් ජීවිතයේ වැදගත්ම මොහොතක් නිසා ඒ වෙනුවෙන් අපි සමහර වෙලාවට දරන්නෙ අසීමිත වියදමක්. ඉස්සර වගේ නෙමෙයිනෙ දැන් කාලේ විවාහ උත්සව ගන්න රටාවත් වෙනස් නිසා උත්සවය නිමාවෙන්නෙ සැලසුම් කළාටත් වඩා විශාල මුදලක් වියදම් වෙලා. ඉතින් මෙහෙම ලොකු වියදමකට පස්සෙ වෙනමම නිවසක පදිංචියට යන්න ඔයාට මූල්‍යමය වශයෙන් හැකියාවක් තියෙනවද කියලා හිතලා බැලුවොත් හොඳයි නේද?

දැන් ගොඩාක්ම සිද්ධ වෙනවා වගේ ඔයත් කුලී පදනම මත නිවසකට යන්න කල්පනා කරනවා නම්, සුබ නැකතින් පටන් ගන්න මංගල දිවියට අඟහිඟ ප්‍රශ්න එන්න කලින් වරක් දෙවරක් නොවෙයි සිය වරක් වුනත් මේ ගැන සිතා බලන එක තමා හොඳ.

 

2. ඔබගේ ආරක්ෂාව පිළිබඳ අවම හා උපරිම බියක්

where to stay after marriage

Source – protectussecurity.com

විවාහයෙන් අනතුරුව මහගෙදරම පදිංචි වන ඔබට ඔබේ බිරිඳව හුදෙකලාවේ නිවස තුළ තනිකිරීමට සිදුවන ඉඩක් ඉතාම කළාතුරකින් මිස නොඑන්නට පුළුවන්. ඇය ආරක්ෂිත බව ඔබ හොඳාකාරවම දන්නා නිසා රැකියා ස්ථානයේ සිදුවන රෑ බෝ වීම් හෝ නිවසින් බැහැරව සිටීමට සිදුවන අවස්ථාවන් පිළිබඳව ඔබට විශාල අසහනයකට පත්වන්නට සිදුනොවේ.

ඔබ බිරිඳ නම්, සැමියා පැමිණෙන වේලාව බලමින්, විටින් විට ඔහු අමතමින් ඔහු පැමිණෙන තුරු නිවසේ හුදෙකලාවී බියෙන් පසුවීමටත් සිදු නොවේ.

 

3. ඔබේ වැඩකටයුතු සඳහා උදව් උපකාර.

where to stay after marriage

Source – wikihow.com

පවුලේ සියළු දෙනා සමඟ එකම නිවසක ජීවත් වීම ඔබට ඔබගේ කටයුතු සඳහා විශාල උදව්වක් වන්න පුළුවන්. හුදෙකලා නොවී නිවැසියන් සමඟ ගැවසීම ගර්භණී සමයක බිරිඳට විශාල අස්වැසිල්ලක් සපයාවී. ඔබේ දරුවන් සීයා ආච්චී මෙන්ම අනෙකුත් සාමාජිකයන්ගේ ඇසුරේ ආදරය ලබාවී. දිවාසුරැකුම් මධ්‍යස්ථාන සොයමින් ඔබට වෙහෙස වීමට අවශ්‍ය වන්නේ නැහැ. දරුවන්ට ආරක්ෂිතම ස්ථානය ඔබේ මව්පියන් ඇසුරේ ලැබෙන්නට පුළුවන්. ඔබට අසනීපයක් කරදරයක් සිදුවූ අවස්ථාවක ඔබට ඔවුන් උදව් වේවි. ඔබේ දරුවන් පිළිබඳව සොයා බලාවි.

නමුත් ඔබ තනිව නිවසක වාසය කරනවානම් ඔබේ දරුවන් වෙනුවෙන් ඔබ දෙදෙනාගෙන් අයෙකුට රැකියාවෙන් සමුගැනීම්, උත්සව අවස්ථා සහ සහභාගී විය යුතුම වැදගත් අවස්ථා මඟහැරී යාම් වගේම දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් විශාල කැපකිරීම් සිදුකරන්නට සිදුවෙන්නත් පුළුවන්. අසනීපයකට මඳක් විවේකීව සිටීමට හෝ අවම වශයෙන් දරුවා තනිකර ඔබට වැසිකිළි කැසිකිළි යාමට හෝ නොහැකි තරමට ඔබගේ නිදහස සීමාවෙන්නත් පුළුවන්.

 

4. නැන්දම්මා සමඟ එකම නිවසක වාසය කිරීමට ඔබට හැකිද? ඔබේ අම්මා නැන්දම්මා ලෙස ඇයට කෙසේ සළකාවිද?

where to stay after marriage

Source – huffingtonpost.com

ඔබ තරුණියක් නම් ඔබේ අනාගත නැන්දම්මා වෙන ඔහුගේ අම්මා සමඟ ඔබට එකම නිවසක සමඟිව විසිය හැකිදැයි ඔබ ඔබෙන්ම ඇසිය යුතුයි. ඔබට ඇයව ඉවසිය හැකිද? ඇයගේ පිළිවෙල ඔබට රුස්සනවාද? ඔබ පිළිබඳව හොඳින්ම දන්නෙ ඔබමයි. කල් ඇතුවම මේ පිළිබඳ සිතීමෙන් නැන්දම්මා ලේලි විරසකය මඟ හැර ගන්න ඔයාටත් පුළුවන් වෙයි.

එමෙන්ම ඔබ තරුණයෙක් නම් විවාහයෙන් අනතුරුව ඔබේ සහකාරිය පිළිබඳව ඔබේ මව කෙසේ හැසිරේවිද යන්න ඔබ යළි යළිත් ඔබෙන්ම විචාරා බැලිය යුතුයි. ඔබේ මව හොඳාකාරවම හඳුනන්නෙ ඔබයි. ඔබේ සහෝදරයන් විවාහ වී සිටිනවා නම් ඔවුන්ගේ බිරින්දෑවරු සමඟ ඔබේ මවගේ හැසිරීම ඔබ මදක් කල්පනා කොට බැලීමයි වඩාත් යහපත්. මහගෙදර පදිංචියට ගිහින් ගැටළු ඇතිවුනාට පස්සෙ ටික කලෙකින් වෙනම ගෙදරකට යන එක තවත් ගැටුමක මුල වෙන්න පුළුවන් නිසා, ඔබම වඩාත් සුදුසු තීරණයක් ගැනීම ඔබේ පෙම්වතියටත් විශාල පහසුවක් වේවි. ඔවුන්ගේ විරසකයන්ට මැදිවී අපහසුතාවයට පත්වෙනවාට වඩා ඔබටත් එය විශාල සහනයක් වේවි.

 

5. ජීවිතයේ වැදගත්ම තීරණ ගැනීමේ අවස්ථා පවා ඔබෙන් ගිළිහෙන්න පුළුවන්

where to stay after marriage

Source – blog.gaijinpot.com

එකම නිවසක සියල්ලන් සමඟ වෙසෙමින් යුගදිවිය අරඹන්නට ඔබ සිතනවානම් මේ කරුණටත් ඉවසීමෙන් මුහුණ දෙන්න හිතට ගන්න වෙනවා. ඔබ දෙදෙනාට එක්ව ජීවිතයේ වැදගත් තීරණ ගැනීමට අවස්ථා එළැඹේවි. ඔබේ ලෝකයට දරු පැටියෙක් ගේන්නෙ කුමන කාලයේද? විවාහ වූ අළුතම ඔබ එයට සූදානම් නොවෙන්න පුළුවන්. නමුත් නිතර දෙවේලේ ඔබව දකින පවුලේ උදවියගෙ ඉල්ලීම එය විය හැකියි. එක් දරු උපතකින් අනතුරුව දෙවනි දරුවෙකුගෙ අවශ්‍යතාව මතුවේවී. ඔබේ උවමනා එපාකම් මීට හාත්පසින්ම වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වගේමයි හදිසියේ හෝ ඔබට දරු සම්පත් ප්‍රමාද නම් ඔබ දෙදෙනා විශාල මානසික පීඩාවකටත් ලක්වෙන්න ඉඩකඩක් තියෙන්න පුළුවන්. ඒ වගේමයි ඔබේ රැකියාවේ පවා ඔබට ගැනීමට සිදුවෙන වැදගත් තීරණ සඳහා නිවසේ පිරිසගේ අතපෙවීම් නොවෙයි කියා සිතිය හැකිද?

 

6. ඔබේ සියළු කටයුතු අවධානයට හා පරික්ෂාවට

where to stay after marriage

Source – marriagemissions.com

පවුලේ සියළු දෙනා එක්ක එකම නිවසක ඉන්නවා නම් ඔබ වටහා ගතයුතු දෙයක් තමා ඔබේ සැමියාගේ, බිරිඳගේ අවධානයට ලක් නොවුනත්, ඔහුට හෝ ඇයට එය ගැටළුවක් ප්‍රශ්නයක් නොවුනත් ඔබ කියන කරන සියළුම දේ නිවැසියන්ගේ අවධානයට ලක්වෙන බව. නුහුරු නුපුරුදු ජීවිතයක් අළුතින්ම ආරම්භ කළ ඔබට මෙය විශාල හිසරදයක් වෙන්නත් පුළුවන්.

ඉතින් දෙන්නට දෙන්නා මේ ජීවිතේට හුරුවෙනකම් හරි, දෙන්නට දෙන්නා තමන්ගේ කැමැති අකමැතිකම් හරි ආකාරව හඳුනාගන්නකම් හරි ටික කාලයකට හෝ වෙනමම නිවසකට පදිංචියට යනවද කියලා ටිකක් හොඳින් හිතුවොත් හොඳයි නේද?

 

7. ඔබ දෙදෙනාගේ විවාහ දිවියට පවුලේ අයගේ අතපෙවීම්

where to stay after marriage

Source – cameroonweb.com

විවාහයෙන් අනතුරුව ඔබ දෙදෙනා දැන් එක පවුලක්. ඔබ දෙදෙනාටම වෙන්වූ පෞද්ගලිකත්වයක් ඔබ දෙදෙනාට තිබිය යුතුයි. අපේ තරුණ තරුණියො කොහොමත් කැමති තමන්ට උපරිම නිදහසක් තියෙනවනම්නේ. ඉතින් විවාහ වෙන යුවළ එකිනෙකා තේරුම් අරන් මේ නිදහස භුක්ති විඳින්න හිතුවත් ඔන්න පවුලේ පිරිසම සමඟ එකම නිවසක ජීවත්වීමට තීරණය කරන්නේ නම් ඔබට මෙම නිදහස සීමාවීමට ඇති ඉඩකඩ වැඩි බව ඔබ දෙදෙනාම හොඳින් වටහා ගතයුතුයි. “කොහෙද යන්නෙ, කීයටද එන්නෙ? ඇයි යන්නේ ? එහෙම කරන්න එපා, මෙහෙම කරන්න” යනාදී ලෙස සෑම දෙයකටම වගේ ඔබට උපදෙස් හා යෝජනා ලැබෙන්න පුළුවන්.

පුංචි පුංචි රණ්ඩු සරුවල් ඉතින් විවාහ වුන දෙදෙනෙක් අතර නැතිවෙන්නෙ නැහැනේ. ඒවා ඉතින් බත ඉදෙනකම් විතරයි කියනවනේ. නමුත් පවුලේ අයගේ අතපෙවීම්, උල්පන්දම් දීම් සිදුවුනොත් නම් මේ පුංචි නොහොඳ නෝක්කඩු ලොකු ප්‍රශ්න ගැටළු බවට පත්වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

ඔන්න ඉතින් විවාහයෙන් පස්සෙ කොහෙද පදිංචි වෙන්නෙ කියලා හිත හිත ඉන්න ඔයාට තීරණයකට එන්න ලෙහෙසි කරන කරුණු ටිකක් අපි අරගෙන ආවා. කොතන ජීවත්වෙන්න තීරණය කරත් වඩාත් වැදගත්ම දේ තමයි ඔබ දෙදෙනා මනා අවබෝධයකින් කටයුතු කරන එක. එතකොට නම් කවුරු කොහොම උත්සහ කළත් ඔයාලාගේ ලෝකෙට එබෙන්නනම් කාටවත් හැකිවෙන්නෙ නැහැ.

Cover Image Source – kanigas.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *