රුපියල් ලක්ෂයකට අඩුවෙන් මිලදී ගත හැකි විවිධ වර්ගයේ හොඳම කැමරා 7ක්

cameras under 100K

කැමරාවක් ගැනීමත්, එයින් සේයාරූ ගැනීමත්, ඒවා බෙදාහදා ගැනීමත් පසුගිය දශක දෙකක කාලයේදී ප්‍රබල ලෙසම වෙනස් වූ විනෝදාංශයකි. පෙර කාලයේ සේයාරූ ගෙන, ඒවා ඇල්බම වල දමා හෝ රාමුකර එල්වා ගෙන, අනික් අයට පෙන්වූයෙමු. එහෙත් අද සමාජ ජාලා හරහා, පරිගණක, ෆෝන්, ටැබ් හරහා ෆොටෝ ෂෙයාර් කරගැනීමට හැකිය. එම නිසා ෆොටෝ ගැනීමේ අවශ්‍යතාවය අප බොහෝදෙනාට ඇති වේ. එක් පසෙකින් ෆොටෝ ගැනීම සහ ඒවා බලා සතුටුවීම යනු හොඳ විනෝදාංශයකි. තාක්ෂණය සමග වීඩියෝ ලබාගැනීමද ඒවා නැරඹීමද පෙරට වඩා සරල වී තිබේ. ෆොටෝ සහ වීඩියෝ ලබාගත හැකි රුපියල් ලක්ෂයට අඩුවෙන් ගන්න පුලුවන් හොඳ කැමරා මොනවද? අපි ටිකක් සොයා බලමු.

 

1. GoPro HERO6

cameras under 100K

Source – cnet.com

ගෝ ප්‍රෝ කියන්නේ කැමරා කලාවට අලුත් මානයක් එකතු කළ චූටි කැමරා වර්ගයක්. ගෝ ප්‍රෝ වඩාත් සුදුසු වෙන්නේ ඇක්ෂන් වීඩියෝ වලට. සරලවම කීවොත් ක්‍රීඩා කටයුතු සහ එක එක ඇක්ෂන් වැඩ කිඩ වලදී අපි අතේ, පයේ, පපුවේ, හිසේ, නැතිනම් බෝට්ටුවේ, බයිසිකලේ වුවත් මේ කැමරාව මවුන්ට් කරගෙන ගිහින් ඒ අවස්ථාව වීඩියෝ කරගන්න හැකියාව තියෙනවා. ලංකාවෙත් ගෝ ප්‍රෝ වලින් ගත්ත ශොට්ස් දැන් රූපවාහිනියේ සහ සිනමාවෙත් දකින්නට තියෙනවා. හිතන්න කිතුල්ගල ගිහින් වෝටර් රාෆ්ටින් කරන අවස්ථාවක්. එතැනදී අපිට බැහැ ෆෝන් එකක් හෝ විශාල කැමරාවක් අරං ගිහින් ඒවා එක්ක හැරෙන්න. මොකද අත් දෙකෙන්ම හබල අල්ලගෙන පැදීමක් තමයි තියෙන්නේ රාෆ්ටින් වලදි. ඒ වගේ තැනකදි අපේ වැඩ කිඩ ටික සහ අපි දකින තැන හොඳට බලාගන්න කැමරාව හිසේ සවිකර ගැනීමෙන් පුලුවන් වෙනවා. ගෝ ප්‍රෝ කැමරා වල ක්ලිප් ටිකක් එඩිට් කරලා අපි යන සංචාරයක ලස්සන වීඩියෝ එකක් හදාගන්නත් ගෝ ප්‍රෝ වලින්ම ලබාදෙන ගෝ ප්‍රෝ Quick ස්ටුඩියෝ සොෆ්ට්වෙයා එක හරහා පුලුවන්කම ලැබෙනවා.

ඇක්ෂන් කැමරාවක සටහන් වුණු කිතුල්ගල වීඩියෝවක්.

 

2. Sony Alpha a6000

cameras under 100K

Source – youtube.com

සෝනි කියන්නේ කැමරා සෙන්සර් හැදීමේ ප්‍රමුඛතම සමාගමක්. දැනට වෙළඳපොලේ ඇති බොහොමයක් ෆෝන් කැමරාවල තිබෙන්නේ සෝනි සෙන්සර්. මේ සෝනි සමාගමේ පොකට් කැමරාත් බොහොම ජයට වෙළඳපොලේ විකිණෙනවා. මිරර්ලස් කැමරා කියන්නේ DSLR තරම් ප්‍රමාණයෙන් විශාල නොවුනත් ඒ තත්ත්වයේම වීඩියෝ සහ ෆොටෝ ලබාගත හැකි හුරුබුහුටි කැමරා විශේෂයක්. DSLR වලට වගේම මිරර්ලස් වලටත් ඒ ඒ වටපිටාවන්ට අනුව ලෙන්සස් මාරුකර ෆොටෝ ගන්නට හැකියි. මෙහිදී මිරර්ලස් කැමරාවට පතිත වෙන ආලෝකය වීදුරුවක හෝ ප්‍රිස්මයක වදින්නේ නැතිව කෙලින්ම සෙන්සරය වෙත පතිත වෙනවා. වීඩියෝ වැඩ වලදී ඉක්මනින් ෆෝකස් වීම සහිත සෝනි ඇල්ෆා a6000 වෙළඳපොලට ඇවිත් අවුරුදු 5-6ක් වුනත්, තවමත් මිරර්ලස් බජට් කැමරාවන් අතර මුල්පෙළේ නම කියවෙන කැමරාවක්.

 

3. Nikon D3400

cameras under 100K

Source – cameralabs.com

DSLR කැමරාවක් ගන්න අදහසක් තිබෙනවා නම්, ඒ තරම් සැර ගාණක් අතේ මිටේ නැත්නම් ඒකට හරියන නිකොන් විසඳුම තමයි නිකොන් ඩී 3400 කියන්නේ. මේ DSLR නිකොන් ඩී 3400 කැමරාවට සාමාන්‍ය කිට් ලෙන්ස් එකත්, සූම් ලෙන්ස් එකත් එකතු කරගන්න රුපියල් ලක්ෂයක සීමාව ඇතුළේදි අපිට පුලුවන්. DSLR කැමරා විස්තර කිරීම කියන්නේ විශාල විෂයයක්. අන්තර්ජාතික වශයෙන් කැමරා තේරීමේදී මුලින්ම සුළු මුදලකින් ළඟාකරගන්න පුලුවන් සාර්ථක කැමරාවක් විදියට නිකොන් ඩී 3400 දක්වලා තියෙනවා. කැමරාව ටිකක් පොඩියි. ඒ නිසා හැසිරවීමත් රැගෙන යෑමත් පහසුයි. කැමරාවේ බැටරියත් ට්‍රිප් එකකදි දවස් දෙක තුනක් ෆොටෝ ගහන්න තරම් බලවත්. මේ වගේ කැමරාවකට වුනත් ගැලපෙන වටිනා ලෙන්ස් සවිකරගන්න පුලුවන් නම්, සෑහෙන සුපිරි ෆොටෝ අපිට ඒ හරහා නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා.

 

4. Sony RX100 IV

cameras under 100K

Source – newsledge.com

අද කාලේ කැමරාවක් මිලදී ගන්න අයගේ උවමනාව තමයි ෆෝන් එකෙන් ගන්නවාට වඩා සුපිරි තත්ත්වයේ ෆොටෝ ලබාගැනීම. මෙතනදී මැනුවල් ෆොටෝ ගහන්න හුරුවෙන්න සමහරු ටිකක් කම්මැලියි. මේ සෝනි ආර් එක්ස් කියන්නේ අඟලක පමණ සෙන්සරයක් තිබෙන, තරමක් බලගතු කැමරා පරම්පරාවක්. මේ සෝනි ආර් එක්ස් 100 වල 1 සිට 6 දක්වා මාදිලි 6ක් නිකුත් වී තිබෙනවා. එයින් අලුත්ම එක වෙන ආර් එක්ස් 100 vi එකනම් ඇමරිකාවේ වෙළඳපොලේ ඩොලර් 1200ක් විතර වෙනවා. ඒත් ඊට අවුරුදු දෙක තුනක් පරණ ආර් එක්ස් 4 කැමරාව ටිකක් අඩුවට ගන්න හැකියි. ට්‍රැවලින් බෑග් එකේ පොකට් එකක දාගෙන යන්න පුලුවන් මේ පොඩි කැමරාව ට්‍රැවල් කරන අය අතර ජනප්‍රියයි. බර අඩු වීම, පහසුවෙන් රැගෙන යා හැකි තරම් කුඩා වීම වගේම වැඩිදියුණු කළ ලෙන්ස් එකෙන් සහ සෙන්සර් එක හරහා කොලිටි ෆොටෝ ලබාදීම සෝනි ආර් එක්ස් 100 සීරීස් එකේ විශේෂතා වෙනවා. ට්‍රැවලින් වලට කැමරාවක් හොයනවා නම්, ලොකු කැමරා තරම් කොලිටි නැතිවුනත් ෆෝන් කැමරාවට වඩා සුපිරි ෆොටෝ ගැනීමේ උවමනාවක් තිබෙනවා නම්, මේ සෝනි ආර් එක්ස් 100 සිරීස් කැමරා ගැලපෙනවා.

 

5. Canon EOS 750D

cameras under 100K

Source – youtube.com

කැනන් ලක්ෂයට අඩු සීමාවේ තිබෙන කැමරා අතුරින් කැනන් 750ඩී කැමරාව ඉස්තරම්ම එකකි. එහි නවීන NFC සහ Wi-Fi පහසුකම් ඇතුළත් වේ. කල්පවත්නා බට්න් ඇතුළත් මේ කැනන් කැමරා බඳට විශාල පරාසයක ලෙන්ස සවිකළ හැකිය. මෙහි ඉමේජ් සෙන්සරය APS-C තරමේ එකක් වන අතර ඡායාරූප මෙගාපික්සල 24ක පමණ විශාලන බලයකින් ලබාගත හැකිය. මේ කැමරාවේ ඇති කුඩා ස්ක්‍රීනය ටච් ස්ක්‍රීන් එකකින් සමන්විත වන අතර, සාපේක්ෂව එය පැහැදිලි ටච් ස්ක්‍රීන් එකකි. ස්ථාන 19කින් ලබාගන්නා දත්ත අනුව කැමරාවේ ඔටෝෆෝකස් පහසුව සැදී තිබේ. 4K වීඩියෝ පහසුව නොමැති වුවත්, කැනන් මේ කැමරාවේ 1080P ෆුල් එච් ඩී වීඩියෝ ලබාගැනීමට හැකිය.

 

6. Nikon Coolpix P900

cameras under 100K

Source – castlecameras.co.uk

වැඩි හැදෑරීමක් නොමැතිවම සූම් කර ෆොටෝ ලබාගත හැකි සරලම කැමරා මොඩලයක් ලෙස මෙම මාදිලිය හැඳින්විය හැකිය. මෙහිදී 83x දක්වා ඔප්ටිකල් සූම් බලයක් කැමරාවට ඇතුළත් වේ. මෙම කැමරාව භාවිතයෙන් ඉතා දුරබැහැර සිටින සතුන් සහ වස්තූන් පහසුවෙන්ම කැමරාගත කරගත හැකිය. මෙහි සේයාරූ වල තත්ත්වය නම් ෆෝන් කැමරාවකට වඩා දුර යන්නේ අඩුවෙනි. මන්ද මෙහි ඇති සෙන්සරයේ ප්‍රමාණය 1/ 2.3 ප්‍රමාණයේ මොබයිල් ෆෝන් කැමරාවලද අද කාලේ පවතින සෙන්සර ප්‍රමාණයේ එකක් වන හෙයිනි. කෙසේ වෙතත් දිගු දුර සූම් කර ෆොටෝ ගන්නට ආස, සරල කැමරාවක් අපේක්ෂා කරන අයෙකුට නිකොන් කූල්පික්ස් පී900 සිස්ටම් කැමරාව හොඳ තෝරාගැනීමකි.

 

7. Apple iPhone

cameras under 100K

Source – expertreviews.co.uk

පසුගිය වසර 5 සැලකුවොත් ස්මාට්ෆෝන් ලෝකයේ ඒ ඒ කාලයේදී පැවති ඇපල් අයිෆෝන් හැම එකකම වගේ ෆෝන් කැමරාව සුපිරියි. මීට වසර 3-4කට පෙර නිකුත් වුනත් ඇපල් අයිෆෝන් 6+ වගේ එකක ෆෝන් කැමරා බොහොමයක් ඇන්ඩ්‍රොයිඩ් බජට් ෆෝන් කැමරා වලට වඩා හොඳයි. සාමාන්‍ය කැමරාවක් වගේ රැගෙන යන්න විශාල අපහසුවක් නැති අයිෆෝන් එක, ඒ නිසාම අපි යන ඕනි තැනක ලස්සන ඡායාරූපගත කරගන්න වගේම වීඩියෝ කරගන්නත් සුදුසු වෙනවා. ඇපල් අයිෆෝන් දහය අලුත්ම එකක් නම් රුපියල් ලක්ෂයකට ගන්න බැහැ. ඒත් තරමක් පරණ අයිෆෝන් මාදිලියක් හෝ භාවිතා කළ අයිෆෝන් එකක් නම් ලක්ෂයකට අඩුවෙන් කොහොමහරි සාක්කුවෙ දාගන්න අපිට පුලුවන්. කැමරාවේ වේගය, පිංතූර කොලිටිය වගේම කල්පැවැත්ම එක්ක බැලුවාම අයිෆෝන් තවමත් කැමරා ෆෝන් අතර ඉදිරියෙන්ම ඉන්නවා.

කැමරාව කියන්නේ අපේ යාලුවෙක් මිත්‍රයෙක්, සඟයෙක් වගේ ළඟම ඉන්න හිතවතෙක්. ඉතිං කැමරාවක් ගනිද්දි තමුන්ගේ හැකියාව, අතේ මිටේ ඇති ගාණ වගේම අනෙකුත් සාධක රැසකුත් සලකා බලන්නට වෙනවා. උදාහරණ විදියට කඳු බඩගාන, අවදානම් ගමන් යන අයෙක්ට විශාලතර වටිනා කැමරාවක් රැගෙන යෑම අපහසුයි. එහෙත් ඒ විශාල කැමරාවකට හුරු වී ඇති අයෙක් නම්, එය රැගෙන යෑම ඔහුට මහා ලොකු ගැටළුවකුත් නෙමෙයි. ඒ විදියට තමුන්ට ගැලපෙන කැමරාව තෝරාගන්න මේ සටහන ඔබට යම් ප්‍රයෝජනයක් වන්නට ඇති.

 
Cover Image Source – harveynorman.com.my
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *