ඉන්දියානු ඉතිහාසයේ ලොකුම ගේම්කාරයා – නට්වර්ලාල්!

indias biggest conman natwarlal

ඉන්දියාවේදි කපටි වංචාකාරයන්ව හඳුන්වන්න පොදුවේ යොදාගන්න නමක් තියනවා. ඒ නම තමයි ‘නට්වර්ලාල්.’ මේ නම නිකම්ම කටට ආවට හැදුණ නමක් නෙමෙයි. ඉන්දියාවේ එතෙක් මෙතෙක් හිටපු ලොකුම ගේම්කාරයාගේ නම නට්වර්ලාල් නිසයි මේ යෙදුම බිහිවෙන්නෙ. නට්වර්ලාල් කියන්නේ අපරාධ වැඩ වලට ඇබ්බැහි වෙලා හිටපු පුද්ගලයෙක්ය කිවුවොත් අපි වැරදි නැතිවෙයි. අදටත් හරිහැටි හෙළිදරවු නොවුණු නට්වර්ලාල්ගේ වංචා අපරාධ රැසක්ම තියෙන බවයි කියවෙන්නේ. ව්‍යාජ අත්සන් ගැසීම, ව්‍යාජ ලේඛන සකස්කිරීම වගේම නොයෙකුත් අන්වර්ථ නාම වලින් පෙනීසිටිමින් වංචා කිරීම තමයි නට්වර්ලාල්ගෙ සුවිශේෂී දක්ෂතාවය. මේ දක්ෂතාවය පාවිච්චි කරල ඔහු ඉන්දියාවේ සුප්‍රකට ටාජ්මහලම තුන් පාරක් විකුණලා තියනවා කියලා ඇහුවම ඔයාලට පුදුමත් හිතෙයි.

මේ කියන්න යන්නේ ඒ නට්වර්ලාල්ගේ අරුම පුදුම ජීවිත තොරතුරුයි…

 

1. පළමු හොරකම

indias biggest conman natwarlal

Source – youtube.com

මිතිලේෂ් කුමාර් ශ්‍රීවාස්තව තමයි නට්වර්ලාල්ගෙ සැබෑ නම. 1912 දි බිහාර් ප්‍රාන්තයේ බන්ග්‍රා නම් ගමේ තමයි ඔහු උපත ලබන්නේ. කුඩා කාලෙදි ඉගෙනීමට වඩා කෙළි සෙල්ලමට මුල් තැන දීල කටයුතු කරපු නට්වර්ලාල් මුල්ම වංචාවට අත ගහන්නෙ බොහොම ලාබාල අවදියෙමයි. ඔය කාලෙදි නට්වර්ලාල්ගෙ අසල්වැසියෙක් පුරුදු වෙලා ඉඳල තියනවා නට්වර්ලාල් අතේ බැංකුවට ලිපි ලේඛන යවන්න. නට්වර්ලාල් කරන්නේ මේ පුද්ගලයගෙ අත්සන හොරට ගහලා ඔහුගේ බැංකු ගිණුමෙන් රුපියල් 1000ක් ලබාගන්න එකයි. මේ වැඩෙන් තමයි නට්වර්ලාල්ට තේරෙන්නෙ තමන් සතු මේ අත්සන් සහ අත්අකුරු කොපි කිරීමේ දක්ෂතාවයෙන් තවත් වැඩ ගන්න පුළුවන්ය කියලා. කොහොම වෙතත් මුල්වරට කරපු මේ මුදල් වංචාව නට්වර්ලාල්ගේ අසල්වැසියාට හසුවීම නිසා නට්වර්ලාල්ට සිදුවෙනවා උපන් ගමෙන් පැනල යන්න.

 

2. වංචාකාරී ජීවිතයට ඇබ්බැහි වීම

indias biggest conman natwarlal

Source – forbes.com

උපන් ගමෙන් පැනල යන මිතිලේෂ් කුමාර් හෙවත් නට්වර්ලාල් නතර වෙන්නෙ කල්කටාවෙන්. කල්කටාවෙ ගතකරන කාලෙදි තමයි නට්වර්ලාල් තමන්ගේ වංචාකාරී වැඩ අත්හදාබැලීම පටන්ගන්නේ. සමහරු කියනවා නට්වර්ලාල් මේ වෙද්දි නීති විභාගය එහෙම අරගෙන නීතීඥවරයෙක් හැටියට කටයුතු කරමින් හිටියය කියලත්. තවත් තැන් වල කියවෙනවා ඔහු වාණිජ උපාධියක් අරගෙන කොටස් වෙළඳපොලේ රැකියාවක් කරමින් හිටියය කියලා. මේ කතා කොහොම වෙතත් නට්වර්ලාල් තමන්ගේ ජීවිකාව උපයන්න උත්සාහ කරන්නේ නීතිවිරෝධී වැඩවලින්ම තමයි. ව්‍යාජ ලිපි ලේඛන සකස් කරල, හොර අත්සන් ගහලා තමන්ට අයිති නැති භාණ්ඩ විකිණීම නට්වර්ලාල් ජයටම සිදු කරනවා. ඒ වගේම ඔහුගේ මුල් කාලේ තවත් සාර්ථකම හොර වැඩක් තමයි ව්‍යාජ ලේඛන සකස් කරලා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය වලින් වටිනා භාණ්ඩ සොරා ගැනීම. නට්වර්ලාල් තමන්ගෙ මුල්ම සිරදඬුවමට ලක්වෙන්නෙත් ඔය කාලෙදි තමයි. ව්‍යාජ ලේඛන හරහා සිදුකළ භාණ්ඩ වංචාවකට හසුවෙලා මාස 6ක සිර දඬුවමක් ලබන්න ඔහුට සිදුවෙනවා.

 

3. නට්වර්ලාල් නම හැදුණු හැටි

indias biggest conman natwarlal

Source – thelallantop.com

ව්‍යාජ ලේඛන හරහා දුම්රියෙන් භාණ්ඩ වංචා කරන අවධියේදි සිද්ධ වෙන සිදුවීමක් හින්දා තමයි මිතිලේෂ් කුමාර්ට නට්වර්ලාල් නම පටබැඳිල තියෙන්නේ. මේ විදිහෙ එක වංචනික ක්‍රියාවකදි ඔහු තමන්ගේ සහයට තවත් පුද්ගලයෙක්ව එකතු කර ගන්නවා. ඒ පුද්ගලයාගෙ නම තමයි නට්වර්ලාල්. මේ වංචාව ගැන පොලීසියට ඉව වැටෙනව. එතැනදී සැබෑ නට්වර්ලාල් නමින් යුතු පුද්ගලය පැනල යද්දි මිතිලේෂ් කුමාර් පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. පොලිසියට මෙතැනදී පොඩි පටලැවිල්ලක් වෙලා ඔවුන් මිතිලේෂ් කුමාර් පැනලා ගිය නට්වර්ලාල්ය කියලයි හිතන්නේ. ඉතින් එදා පටන් වැරදීමකින් හඳුන්වපු නට්වර්ලාල් නමින් තමයි පොලිසිය වගේම ඉන්දියානු ජනතාවත් ඔහුව හඳුන්වන්න පටන්ගන්නේ.

 

4.ලොකු ලොකු ගේම්ස්

indias biggest conman natwarlal

Source – giphy.com

ව්‍යාජ ලියකියවිලි වල තිතක කොමාවක ඇදක් පළුද්දක් නැතිව සැබෑ ස්වරූපයෙන්ම නිර්මාණය කරන්න තරම් නට්වර්ලාල් අති දක්ෂයෙක්. මේ හැකියාවට තවත් අමතර වාසියක් වෙන්නේ ව්‍යාජ වෙස්ගෙන වෙනස් චරිත හැටියට පෙනී ඉන්න නට්වර්ලාල්ට තිබුණ දක්ෂකමයි. ජීවිත කාලෙ පුරා කරපු දහස් ගණන් වංචා සඳහා නට්වර්ලාල් සිය ගණන් ව්‍යාජ නාම වලින් පෙනී ඉඳල තියනවා. දේශපාලඥයො හැටියට, රජයේ ඉහළ නිලධාරීන් හැටියට වගේම ධනවත් ව්‍යාපාරිකයො හැටියටත් පෙනී හිටිමින් නට්වර්ලාල් ගහපු ගේම් නිමක් නෑ. මේ අතරින් ඉහළින්ම කියවෙන එක තමයි ආදරයේ සංකේතයක් වුණු ටාජ්මහල විදේශිකයින්ට විකිණීම. එක පාරක් නෙමෙයි ටාජ් මහල් තුන්පාරක්ම විකුණන්න ඔහු සමත්වෙලා තියනවා. ඊට අමතරව ඉන්දියාවේ රතු බලකොටුව සහ පාර්ලිමේන්තුවත් ඔහු විසින් විකුණලා විශාල ධනස්කන්ධයක් හම්බකරලා තියනවා. ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වෙච්ච ‘බන්ටී ඕර් බබ්ලි’ චිත්‍රපටයේ බන්ටිට රඟපාමින් අභිෂේක් බච්චන් ටාජ්මහල විකුණන ජවනිකාවක් තියනවා. අන්න ඒ සිද්ධිය නට්වර්ලාල්ගේ සැබෑ ගේම ඇසුරින් තමයි නිර්මාණය කරල තියෙන්නේ. මේවට අමතරව ඉන්දියාවේ ධනවත්ම ව්‍යාපාරයන් වන ටාටා, බිර්ලා, මිට්ටල් වගේම අම්බානිලාටත් ගේම් දීලා ලොකු ගණන් වංචා කරන්න නට්වර්ලාල් සමත්වෙලා තියනවා.

 

5. රොබින් හුඩ් වගේ සරදියල් වගේ

indias biggest conman natwarlal

Source – giphy.com

වංචාකාරයෙක් හැටියට කොච්චර හංවඩු ගැහුණත් නට්වර්ලාල් උපන් ගම්පළාතේ අයටනම් නට්වර්ලාල්ව ආඩම්බරයක් කියලයි දැනගන්න ලැබෙන්නේ. මේකට හේතුව හැටියට ඔවුන් සඳහන් කරන්නේ නට්වර්ලාල් හොරකම් කළේ පොහොසතුන්ගෙන් පමණක් වීම. ඒ විදිහට හොරකම් කරන ලද ධනය දුප්පතුන් අතරේත් බෙදපු කතා එහෙම ආරංචි වෙනවා නට්වර්ලාල්ගෙ ඉතිහාස කතා ඇවිස්සුවම. එක පාරක් නට්වර්ලාල් තමන්ගේ උපන් ගමට ඇතුළු වෙලා තියෙන්නේ මෝටර් රථ පිරිවරාගෙනයි. එහෙම ගිහින් ගමේ හැමෝටම මහා භෝජන සංග්‍රහයක් පවත්වලා, හැමෝටම මුදල් තෑගි කරලාලු නට්වර්ලාල් පිටවෙලා ගිහින් තියෙන්නේ. ගමේ උදවිය නට්වර්ලාල්ට කොච්චර ආදරේද කියනවනම් නට්වර්ලාල් උපන් ගමේ ඔහුගේ පිළිමයක් තනන්නත් මේ අය උත්සාහ කරලා තියනවා.

 

6. සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ

indias biggest conman natwarlal

Source – thelallantop.com

ඉන්දියාවේ ප්‍රාන්ත 8ක් පුරාවට, නට්වර්ලාල්ට එරෙහිව නැගී ඇති චෝදනා ප්‍රමාණය 100 ඉක්මවනවා. මේවා සඳහා වරින් වර හත් අට පාරක්ම සිර ගෙදර බතේ රස බලන්නත් නට්වර්ලාල්ට සිද්ධ වෙලා තියනවා. හැබැයි ඒ හැම අවස්ථාවේදිම සූක්ෂම අයුරින්, අවසර ලද ඇසිල්ලකින් හිරෙන් පනින්න තරම් නට්වර්ලාල් දක්ෂ වෙලා තියෙනවා. වංචාවන් ගණනාවකටම වරදකරු වෙලා අවුරුදු 113ක දීර්ඝ සිර දඬුවමක් නට්වර්ලාල්ට නියම වෙලා තිබුණත්, ඔහු සැරින් සැරේ සිරගතව සිටි කාලය ගත්තම ඒ එකතුව අවුරුදු විස්සක්වත් නැතිලු. එක වරක් නට්වර්ලාල් හිරෙන් පැනලා තියෙන්නෙ ඉහළ පොලිස් නිලධාරියෙක්ගේ ඇඳුමක් ඇඳගෙන පොලිස් සැලියුට් මැදලු. අන්තිම පාරට නට්වර්ලාල්ව පොලිස් අත්අඩංගුවට පත්වෙන්නෙ 1996 දි 84 වැනි වියේ සිටියදියි. එහෙම සිටිද්දී පවා පොලිස් ඇසට වැළි ගසා පැනයන්න නට්වර්ලාල් සමත් වෙනවා. කාන්පූර් හි රෝහලකට ප්‍රතිකාර සඳහා ගෙනයන අතරවාරයේ තමයි නට්වර්ලාල් ඒ විදිහට පැනල ගිහින් තියෙන්නේ.

 

7. දෙවරක් මැරුණු අමරණීය නට්වර්ලාල්

indias biggest conman natwarlal

Source – youtube.com

හොරුන්, කපටියන් හඳුන්වන්න යොදාගන්න නමක් හැටියට වගේම, ජනප්‍රිය සිනමා නිර්මාණවලටත් නට්වර්ලාල් නම සහ චරිතය යොදාගෙන තියනවා. 1979 දී තිරගත කරපු අමිතාබ් බච්චන් ප්‍රධාන චරිතය රඟපෑ මිස්ටර් නට්වර්ලාල් චිත්‍රපටය එහෙම එකක්. 2014 දී ඉම්රාන් හෂ්මිගේ රංගනයෙන් යුතුව රාජා නට්වර්ලාල් නමිනුත් චිත්‍රපටයක් එළිදකිනවා. කොහොම වෙතත් 1996දී පොලීසියෙන් පැනල ගියාට පස්සේ නට්වර්ලාල්ව ආයෙ එළිපිට දකින්න ලැබෙන්නේ නැහැ. නට්වර්ලාල් ආයෙත් කරළියට එන්නේ 2009 අවුරුද්දෙදියි. ඒ අවුරුද්දෙදි නීතිඥයෙක් විසින් ඉල්ලීමක් කරනවා නට්වර්ලාල් 2009 දි මිය ගිය නිසා ඔහුට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණ අත්හැර දමන ලෙසට. කොහොම වෙතත් මේත් එක්කම ප්‍රකාශයක් නිකුත් කරන නට්වර්ලාල්ගේ සහෝදරයෙක් කියන්නේ 1996 අවුරුද්දෙදි නට්වර්ලාල් ජීවිතක්ෂයට පත්වුණා කියලයි. අවසානයේදී ඒ පැත්තෙනුත් නොවිසඳුණු අභිරහසක් ඉතිරි කරන්නට නට්වර්ලාල් සමත්වෙනවා.

indias biggest conman natwarlal

Source – youtube.com

ඉන්දියාවේ නට්වර්ලාල් වගේම, ලංකාවේ හිටපු ලොකුම ගේම්කාරයෙක් තමයි එමිල් සවුන්ද්‍රනායගම් කියන්නේ. ඔහු ගැන අපි ලියපු ලිපිය තවමත් කියවලා නැතිනම් මෙතැනින් එ්ක කියවන්න. ඒ වගේම පාපන්දු ලෝකේ ලොකුම වංචාකාරයා වන කාලෝස් කයිසර් ගැන ලිපිය මෙතැනින් කියවන්න ඔබට පුළුවන්.

 
Cover Image Source – thelallantop.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *