ලෝකයේ භයානකම ෆෝබියාවන් 7ක්

most dangerous phobias in the world

ඔයාට නැද්ද මේ ලෝකේ වෙන මිනිස්සුන්ට නැතැයි කියලා හිතෙන අමුතු අමුතු දේවලට ඇතිවෙන බයක්? කොයි වෙලේ ආණ්ඩු පෙරළෙයි ද වගේ ලොන්තපෝල් බයවල් නෙවේ. මුළු ජීවිතේටම බලපාන සුළුවෙන් තකන්න හොඳ නැති හොල්මන් ද පොල්කොළ ටයිප් එකේ බයවල්. එහෙම එකක් හැදුණ කෙනෙක්ට හිතෙන්නේ මේ කෙහෙල්මල් බය තියෙන්නේ තමන්ට විතරයි කියලා. ඒත් ලෝකේ මිනිස්සු ගොඩ දෙනෙක්ට අනන්‍ය වෙච්චි බයවල් අටෝරාසියක් තියනවා. ඒවාට ඉංග්‍රීසියෙන් ලස්සන නමකුත් කියනවා ෆෝබියා කියලා. භීතිකාව කියලා සිංහල මහාප්‍රාණයෙනුත් නමක් තියනවා. ඉතින් ඔය ෆෝබියා අතරින් සමහරක් ඒවා හරිම භයානකයි. කොච්චර භයානක ද කියනවා නම් මනුස්සයෙක්ට පිස්සු හදවන්න තරම් භයානකයි.

 

1. Claustrophobia

most dangerous phobias in the world

Source – somnosure.com

ආවෘති භීතිය කියලා සිංහලෙන් හඳුන්වන මෙන්න මේ භීතිකාව බොහොමයක් දෙනාට විහිළුවක් වුණත් සමහරුන්ට නූල් බඳින්න වෙන තරමට භයානකයි. මේ බයේ තේරුම තමයි පුංචි ඇහිරුණු, ආවරණ වුණ තැන්වලට තියෙන බය. මේක ඔළුවට ගැහුවයි කියන්නේ හිතේ නිදහසින් ලිෆ්ට් එකකවත් යන්න බැහැ කියන එකයි. මිනිස්සු ගැවසෙන තැනක මිනිස්සුන්ගෙන් වටවෙලා ඉන්න එකත් පරාණ බයක් වුණාම හිතන්නකෝ ඉතින්. ප්ලේන් එකක යන එකත් ආවෘත භීතියෙන් පෙළෙන කෙනෙක්ට හෙන අවුල් දෙයක්. හිතන්නකෝ පොළවෙන් මහා ගොඩක් උඩ ඉන්න වෙලාවක දාඩිය දාලා, වෙව්ලලා හෙන සිද්ධියක් වුණොත් මොකද වෙන්නේ කියලා. කොරිඩෝර් එකක ඇවිදින එක, කාර් එකේ සීට් බෙල්ට් එක දාන එක වගේ එදිනෙදා වැඩත් අවුල් යනවා. MRI වගේ ස්කෑන් එකක් කරන්නත් බයයි මේ ෆෝබියා එක තියන කෙනෙක් එක්ක. ඇයි වලාමේ බයට ඒ මැෂින් එක උඩම පණ ගිහින් තියෙන්න පුළුවන්.

 

2. Trypophobia

most dangerous phobias in the world

Source – youtube.com

මේ කියන්නේ සිදුරු භීතිකාව ගැන. උපන්තේකට අහපු රෙද්දවල් නෙවෙයි වුණාට අපි නොදන්නා දේවල් මේ ලෝකේ සෑහෙන තියනවා. සිදුරු භීතිකාව මානසික රෝගයක් නෙවෙයි. ඒත් මනසට ඩයිනමයිට්වලින් දමලා ගහනවා වගේ ඉවසන්න අමාරු දෙයක්. හීනෙනුත් සිදුරු පෙනිලා නින්දෙන් බයවෙලා ඇහැරෙන්න වෙනවා. කොටින් ම කියනවා නම් දස වධයක්. ගොඩක් අයට පේන්නේ ඇඟේ නැත්නම් මොකක් හරි ගහක කොටසක අමුතු ආකාරයට පිහිටලා තියෙන සිදුරු රටා. ස්පොන්ජ් කෑලිවල, මී වදවල වගේම මූදේ තියෙන ගල්මල්වලත් මේ වගේ සිදුරු තියනවා.

 

3. Acrophobia

most dangerous phobias in the world

Source – chucks-fun.blogspot.com

මේක නම් ඔයා දන්නා හඳුනන කෙනෙක්ට වුණත් තියෙන්න පුළුවනි. ඒ තරමටම පොදුයි. ගහකට නැග්ගම, කන්දක් නැග්ගම, උස බිල්ඩිමකට නැග්ගම පහළ බලලා හෝන්දු මාන්දු වෙලා වෙඩි කෑවා වගේ හැසිරෙන්නේ උච්චතා භීතිකාවෙන් පෙළෙන අය තමයි. මේ ෆෝබියාව තියන කෙනෙක් උස කන්දකට නැගලා බිම බලපු ගමන් හෝන්දුමාන්දු වෙලා ගියාම මොකක් කරන්න ඕනිද කියලා ඒ මනුස්සයට අමතක වෙනවා. බැහැගන්න බැරුව එතනටම වෙලා ඔහේ ගල්ගැහිලා ඉන්නවා. දාඩිය දැමිල්ලත් එක්ක වෙව්ලිල්ලක් ඇවිල්ලා උදව්වක් ඉල්ලන්න තරම්වත් විදියක් නැති වෙනවා. කතා කරන්න, කෑ ගහන්න කොච්චර ඕනිකම තිබ්බත් හරියන්නේ නැහැ.

 

4. Mysophobia

most dangerous phobias in the world

Source – thesun.co.uk

අපි හැමෝම ඌරෝ වෙමු. ඒ නිසා අපි කන්න කලින්වත් අත හෝදන්නේ නෑ කියන කට්ටියට නම් කිසිසේත්ම නැති ෆෝබියාවක් තමයි මේ. ඒ කියන්නේ කොයිවෙලෙත් පිරිසිදුවෙන් ඉන්න ඕනි වෙන එක. බලන්න ඉතින් ඒකත් ෆෝබියාවක්. මෙතැනදී ඇත්තටම වෙන්නේ බැක්ටීරියා වගේ ඇහැට පේන්නේ නැති ක්ෂුද්‍ර ජීවීන්ට, විෂබීජවලට බය වෙන එක. පිරිසිදුවට ජීවත් වෙන එක එකක්. ඒත් මොක්කුන්ට හරි බයේ පිරිසිදුවට ජීවත් වෙන එක නම් බොන්න ඕනි ප්‍රශ්නයක්. කොයි වෙලෙත් අත හෝදන, ඒ හෝදන්න ගියාමත් අතේ ලෙලි යන්න හෝදන, විෂබීජ යයි කියලා අනික් මිනිස්සු එක්ක මූණට මූණ කතා කරන්නැති එක ක්ලිශ්ට භීතිකාවෙන් පෙළෙන අයගේ ලක්ෂණ.

 

5. Nyctophobia

most dangerous phobias in the world

Source – hiveminer.com

කලුවරට බය වෙන එකත් සෑහෙන පොදු සිද්ධියක්නේ. ඒත් මේකේ භයානක ගතිය එන්නේ එන්න එන්නම මේ බය වැඩි වෙනකොට. පුංචි ළමයි අතර නම් සාමාන්‍ය දෙයක්. ඒත් වැඩිහිටියෙක් විදියට කලුවරට බයයි නම්, රෑට නිදාගන්නේ ලයිට් එකක් දාගෙන නම් ඒක සාමාන්‍ය විදියට සලකන්න බැහැ. මෙන්න මේ නිශාභීතිකාවෙන් පෙළෙන කෙනෙක්ට කෝචෝක් පාරක් දාලා අලි බබ්බු වෙන්න හදනවා කියලා බනින්නේ නැතුව, ඒ මනුස්සයාගේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනි. කලුවරේ ඉන්න වෙලාවලට දාඩිය දාන්න, අසාමාන්‍ය විදියට පපුව ලබ් ඩප් ගාන්න, මොකක්ම හරි අනතුරක් වෙයි කියලා බයෙන් ඉන්න වුණොත් එහෙම ඒක මොන තරම් හිසරදයක් ද? නින්ද නැති වුණාම ඊළඟට තවත් ලෙඩ.

 

6. Phagophobia

most dangerous phobias in the world

Source – deviantart.com

කෑම ටිකක් බඩට දාගන්න ඕනි වුණාම ඒක එහෙම වෙන පිළිවෙලක් තියනවා. ඒ කියන්නේ කෙලින්ම බඩට යන්නේ නැහැ නොව. ඔක්කොටම කලින් ඕක ගිලලා ඉන්න එපැයි. අන්න ඒ ක්‍රියාවට බය වෙන එක තමයි මේ භක්ෂ භීතිකාව කියලා හඳුන්වන්නේ. කන්න පින නෑ කියන එක හැදුනෙත් මේ ෆෝබියාව තියන හාදයෙක් දැකලද දන්නේ නැහැ. මේක කාලයත් එක්ක අන්තිම එපා කරපු දෙයක් වෙන්නේ ශරීරයට අවශ්‍ය පෝෂණය නොලැබුණාම එතනින් තව ලෙඩවලට පාර කැපෙන නිසා.

 

7. Urophobia

most dangerous phobias in the world

Source – deskgram.org

ලෝකේ මිනිස්සුන්ට ගොඩක් දේවලට බය වෙන එක සාධාරණීකරණය කරන්න පුළුවන් ඇති. ඒත් හත්වලාමේ ඇඟෙන් පිටවෙන මූත්‍ර දිංගිත්තට බයයි කියන්නේ මොන හත්තිලව්වක් ද? මූත්‍ර කරනකොට කවුරු හරි බලන් ඉඳී වගේ දේවල් හිතට එන නිසා ඒ වැඩේ හරියට නොකර ඕක දවසෙම හිර කරගෙන ඉන්නවා කියන්නේ පරිවෘත්තිය ක්‍රියා හරියට වෙන්න ඉඩ නොදෙන එකටයි. ඕකෙන් මේකෙන් වෙන්නේ ශාරීරිකව තවත් ආබාධ ඇතිවෙන එක.

මේ ෆෝබියාවල් එකක්වත් සුව කරන්න බැරිකමක් නැහැ. මේ හැම එකේම බරපතලකම තියෙන්නේ ඒක නිසා හැදෙන්න පුළුවන් අනිත් ලෙඩ නිසා.

Cover Image Source – newscientist.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *