ලව් කරන්න කියලා නිදහස් තැනකට ගියාම බාධා කරන්න කඩාවැටෙන මරාල

enemies of love

“අයියේ අපි හැමදාම මේ විදියට මැසේජ් කර කර, වයිබර් කර කර, චැට් කර කර ඉඳලා බැහැ නේ. අපි දවසක කොහෙහරි නිදහස් තැනක කතා කරන්න හමුවෙමු නේද? මං ආසයි අයියගේ ළඟ ඉඳන් ඒ උණුහුමට තුරුල් වෙලා පොඩි වෙලාවක් හරි එකට ඉන්න.”

ලාංකික ආදර කතාවකදි එහෙම ගෑණු ළමයාගේ පැත්තෙන් නම් රිප්ලයි එනවා බොහෝම අඩු වුනත් ආදර සම්බන්ධයක් කෝල් වලින් මැසේජ් වලින් එහාට ගිහින් මහපොලවේ පැළපදියම් වෙන්නේ නිදහස් තැනකට ගිහින් කතා බහ කරන්න පටන් ගැනීමෙන්. ඒ විදිහේ පෙම්වතුන් නිදහසේ කතාකරන්න කියලා හමුවෙලා පස්සේ කරන දේවල් ගැන කියන්න ගියොත් නම් මේ පෝස්ට් එක වෙනමම පැත්තකට යනවා. අපි හදන්නේ එහෙම නිදහස් තැනකට සෙට් වුනාම මොනවද අපිට එන බාධා කියලා පොඩ්ඩක් හොයාබලන්න.

 

1. බැල්මට් ලා

enemies of love

Source – clipzui.com

නිදහසේ කතාකරන්න ලැබෙන උද්‍යාන සහ මුහුදු වෙරළ ආසන්නයේ සිටිනවා පෙම්වතුන් අධීක්ෂණය කිරීමේ ඒකපුද්ගල කොමිටි. එයාලගේ ආසාව තමයි පෙම්වතුන් එකතුවෙලා සිපවැලඳ ගැනීමේ සිට කරන සුලු ලිංගික උද්දීපන කටයුතු ආදිය නිරීක්ෂණය කොට සතුටක් ලබාගැනීම. එයින් ඉහළටම ගිය ඇතැමුන් නම් සැඟවී සිට පෙම්වතුන් වීඩියෝ කිරීම, පෙම්වතුන් දෙස බලා ක්‍රියාවන් වල නිරත වීම ආදියත් සිදු කරනවා. මේ බැල්මට් ලා නම් ගෝල්ෆේස් වගේ ප්‍රසිද්ධ තැනකට ගියත් බොහොම සුලබ දසුනක්.

 

2. සාස්තරකාරයෝ

enemies of love

Source – clipzui.com

“මේ නෝනා යෙක නම් මාතුරු කීප දෙනෙක්ම මෙතනට එක එවිත් තියෙන පව තෙමා පේනවා…” කියලා සාස්තරයක් කිව්වොත් නම් ඉතිං ඒ සම්බන්ධේ පවා එතනින් ඉවරයි. එහෙම නෙමයි. “හරිම සිරියාවන්ත, සීදේවී නෝනා. මාතියාත් බෝම පින්පාට. ඇස්වාක් කටවාක් නෑ මේ සම්බන්දේ නම් කිරියෙන්ම ඉතිරෙනවා” ආදී කතා වලින් පටන්ගෙන ඉන් පසු අත බලා සාස්තර කීම දක්වා මේ සාස්තර අම්මණ්ඩිලා දුර යනවා. ඉතිං කවුද අකමැති සාස්තර අහන්න. සමහර අය නම් අහුවෙනවා. ඒත් ගොඩක් පෙම්වතුන්ට මේක වදයක්.

 

3. වෙළෙන්දෝ

enemies of love

Source – wikipedia.org

පෙම්වතුන් එන්නේ ලොවට බයේ. පෙම් කිරීමට ගොඩක් අය ආස වුනත් සමාජයේ අය විවාහයට පෙර ප්‍රේමකතා තවමත් දකින්නේ වපර ඇසින්. එහෙම ඇවිත් මුල්ලකට වෙලා ටිකක් කුටු කුටු ගගා ඉද්දි මෙන්න පහත් වෙනවා ස්ටිකර් කාරයෝ, ආධාර පත් කාරයෝ ආදී වෙළෙන්දෝ. ඇතැම් විට තැඹිලි වෙළෙන්දෝ එහෙමත් සෙට් වෙනවා. මේ අය මුලින් මුලින් පිංසේන්ඩු වුනත් අවසානයේ ඒවා මිලදී ගන්නේ නැතිනම් තර්ජනාත්මක ස්වරූපයෙන් ඒ පෙම් ජෝඩු වලින් මුදල් ගන්න බලනවා.

 

4. විදින අය

enemies of love

Source – tummytuckhipo.com

පෙම් කරන්න යන තැන්වලට මොනාහරි ගෙනිහින් කන්න ගන්න එක සාමාන්‍ය සිරිතක්. කෑමට අපි වගේම කඩි කූඹි ආදී සතුනුත් ආසයි. මෙන්න ගිහින් ටික වෙලාවක් පෙම් සාගරේ ගිලිලා ඉද්දි එකපාරටම පසුපසින් වේදනාවක් එන්න ගන්නවා. “ඔයා කෙනිත්තුවා නේද? හරි හොරා” කියලා හිතුවත් ටිකකින් වේදනාව දරුණු වෙන්න ගන්නවා. අහ්… එතන කඩි ගුලක්. නැතිනම් කූඹි. ඉතිං කවුද ලව් කරන්න යද්දි ලාම්පුතෙල් මැලතින් අරගෙන ලව් කරන්න යන්නේ? ඒ නිසා එතනින් නැගිටලා වෙන තැනක් හොයාගන්නට වෙනවා.

 

5. නෑයෝ සහ යාලුවෝ

enemies of love

Source – joycelynaralar.wordpress.com

ආදරේ කරලා ටිකක් කතා කර කර යන්න බස් එකකට දුම්රියට නැග්ගත් එහෙම නිවීහැනහිල්ලේ කතා කර කර යන්න ලැබෙන්නේ එහෙමත් ජෝඩුවකට තමයි. සැටලයිට් වගේ නෑයෝ, බාල්දි වගේ යාලුවෝ අපිට ඉන්නවා. එයාල අපේ සම්බන්ධේ දැනගත්තොත් මොකද වෙන්නේ? මොනව වෙන්නද ඉතිං ඉන් පස්සේ හැමෝටම ඒක පත්තු කරලා, අපි හිතාගෙන ඉන්න සීමා වලිනුත් එහාට සම්බන්ධේ පන්නනවා. ඒ නිසා ලවු කරන්න යද්දි මේ අය මග හැරගෙන යෑම කොයි දේදි වුනත් වැදගත්.

 

6. විසිල් පාර

enemies of love

Source – quotespics.net

“අහ් මල්ලි විසිල් එකක් හූවාක්… දෙන්න කෝ…” කියා පිංසේන්ඩුවෙන සංගීත සංදර්ශන වලදී නම් වැඩේ නැගලා යන්න විසිල් එක දායක වුනත්, පාක් එකට ගිය කපල් එකක් යාන්තම් මුහුණට මුහුණ ළංකරන්න හදන විටම වදින විසිල් එකනම් එපාම කරපු දෙයක්. ඇතැම් තැනක ඉන්න සිකුරිටි අංකල්ලා කපල් එකේ දේහ ලක්ෂණ ඉරියව් අනුවම දන්නවා මේ කපල් එක මේම එකක් කියලා… පෙම් ජෝඩුව පොඩ්ඩක් විතර රොමාන්තික වෙන්න ගත්තාම අංකල් ගේ විසිල් එක වදිනවා. ඉතිං අල ගෝවා වගේ එකළඟ ඉඳගෙන ආදරේ කිරීමත් හැමදාම කරන්න අමාරුයි නේ. ප්‍රේම කරන්න නිසංසල තැනකට ගියාම සිකුරිටි අංකල්ගේ විසිල් එක ටිකක් හරි ප්‍රමාද වෙලා වදිනවා නම්, ලව් කරන හැමෝටම ඒක සැනසීමක්.

 

7. බෙංගාල බොක්කෙන් එන වැස්ස

enemies of love

Source – slate.com

ආදරේ කරද්දි බොක්කෙන් ලවු කිරීම ගැන නිතර කතාවුනත්, බෙංගාල බොක්ක නම් ආදරේට ගෙන එන්නේ හොඳ අත්දැකීම් නම් නෙමෙයි. සිරි සිරි පොද වැස්සේ මල් පාරක් දිගේ ඇවිද යන්නට ආදරවන්තයින් පෙරුම් පිරුවත්, හෙන ගගහා දොඹ ගෙඩි වගේ ටිකකින් පොද වැස්ස දරුණු වෙන්න ගත්තාම එන ප්‍රශ්න වල නිමක් නැහැ. ගොල්ෆේස්, මාතර බීච්, ගාලු කොටුව වගේ තැනකනම් ලේසියෙන් වැස්සකට ගොඩ වෙන්න තැනකුත් නැහැ. ඒ වගේ වෙලාවකදි නම් වැස්ස කොච්චර සුන්දර වුනත් ප්‍රේමයට පහත්වෙන තදම මරාලයක් කියලා හිතෙනවා.

ලස්සනට කපාපු, වතුර ගාණට බැහැගෙන යන ඇලපාරකට වඩා, ගල් මතින් හැරි හැරී පෙණ දාගෙන ඝෝෂාවෙන් ඇදෙන දොල පාර සුන්දරයි, නෙත්කළුයි. ඒ වගේ බාධාවන් මැද නිදහස් තැනකදි හමුවෙලා කතාබහ කරගෙන ඉස්සරහට යන ප්‍රේමයත් සුන්දරයි. ඒ ප්‍රේමයේ සුන්දරත්වය විඳගන්නට ලැබෙන්නේ ඒ අත්දැකීම් සහ බාධාවන් මුණ ගැහුනොත් විතරයි. “ඔයාට මතකද අපි එදා බීච් එකේ ගල් අස්සේ වාඩිවෙන්න යද්දි හිල් අස්සෙන් මතුවුනු පත්තෑයා? අම්මෝ පණ… අපේ ලව් ලයිෆ් එකේ ඒ තරම් බයවුනේ නැහැ කවදාවත්…” ඒ ආකාරයෙන් මතක සටහන් විදියට පසු කාලෙක අපේ ආදරයට එකතු වෙන්නෙත් ආදරය කරද්දි සෙට් වුන මරාලම තමයි.

 
Cover Image Source – thoughtcatalog.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *