එවරස්ට් ගමන ශර්පාවරුන්ගේ මාෆියාවක් වී හමාරද?

Sharpa

ශර්පාවරුන් යනු ඉන්දියාවේ චීනයේ සහ නේපාලයේ නිජබිම් කරගත් කඳුකර වැසියන් වේ. ශර්පා යනු නැගෙනහිර මනුෂ්‍යයින් යන අරුත ගැන්වේ. ඒ අනුව ශර්පාවරුන් ටිබෙට් දේශයෙන් පැනනැගී අනෙක් රටවල් කරා එළැඹී යැයි සිතන්නට හැකිය. ශර්පාවරුන් කඳුකර ජීවිතයට ජීව විද්‍යාත්මකවම විශේෂයෙන් සැකසුනු අයවලුන් වෙති. ඉහළ මට්ටමේදී අඩු ඔක්සිජන් යටතේ ජීවත්වීමට ඔවුනගේ පෙනහලු සහ අදාළ පද්ධති වඩාත් හොඳින් සැකසී තිබේ.

 

1. එඩ්මන් හිලරි සහ ටෙනසි නෝගේ

Sharpa

Source – nationalgeographic.com

1953 දී සර් එඩ්මන් හිලරි සමග අත්වැල් බැඳගෙන, ඔහුට දිරි දෙමින් එවරස්ට් තරණය කල මුල්ම ශර්පාවරයා ටෙනසි නෝගේය. එවරස්ට් තරණයේදී මුලින්ම තරණය කලේ කවුදැයි මාධ්‍යවේදීන් පසුව විමසූ මුත් හිලරි හෝ ටෙනසි යන දෙදෙනාගෙන් එක් අයෙකුවත් තමුන් මුලින් නැග්ගේ යැයි කිව්වේ නැත. ඔවුන් දෙදෙනා එවරස්ට් නැගි ඒ කාලයේ කඳු තරණය අදට වඩා අපහසු, ජීවිතයත් මරණයත් අතර වූ සැබෑම සටනක් විය. එදා ලෝකයේ උසම පියස්සට නැගි පළමු පුද්ගලයින් දෙදෙනා වීමට ටෙනසිට සහ හිලරිට හැකි විය. එම ගමනේදීද ශර්පාවරුන්ගේ උපකාරය ඒ දෙදෙනාට නොඅඩුව ලැබුණි. අදද ශර්පාවරු ගැන කියවෙන විට මුල්ම එවරස්ට් තරණය කල ටෙනසිට මූලික ස්ථානයක් හිමිවේ.

 

2. ශර්පාවරුන් සතු වාර්තා

Sharpa

Source – tembatsherisherpa.blogspot.com

එවරස්ට් තරණය කල ලාබාලතමයා වන්නට 2001 දී තරණය කල ‘ටෙම්බා ත්සේරි’ සමත්විය. එවිට ඔහුගේ වයස අවුරුදු 16කි. ‘පෙම්බා ඩෝර්ජ්’ සහ ‘ලක්පා ගෙලු’ නම් ශර්පාවරු දෙදෙනා එවරස්ට් බේස් කෑම්ප් සිට මුදුනත දක්වා පෑ 12කින් නැගීමට සමත් වූහ. ඉන් පසු කලෙක නැවත පෙම්බා ඩෝර්ජ් පෑ 8කින් බේස් කෑම්ප් සිට එවරස්ට් මුදුනට ගමන් කිරීමට සමත් විය. 2011 මැයි 11 වැනිදා ‘අපා ශර්පා’ එවරස්ට් තරණය කලේ 21 වැනි වතාවටය. එය එවරස්ට් වැඩිම වාර ගණනක් තරණය කල මිනිසා සතු වාර්තාව වේ. එවරස්ට් නැගි ප්‍රථම නේපාල ජාතික කාන්තාවද ශර්පාවරියකි. ‘මින්ග්මා ශර්පා’ 2011 දී දකුණු ආසියාවේ ඇති ඉහළම කඳු මුදුන් 14ක්ම තරණය කොට තිබුණි. එසේ කඳු නැගීම ජීවිකාව කරගත් ශර්පාවරු සතුව කඳු නැගීම් ගැන වූ වාර්තා රැසක්ම තිබේ.

 

3. ශර්පා ගේ ජීවන රටාව

Sharpa

Source – port-magazine.com

එවරස්ට් සහ නේපාල කඳු නැගීමට නේපාල ශර්පාවරුන් සතු දක්ෂතාවයම පසුකලෙක ඔවුන්ට ඉසුරුමත් ජීවිතයක් හිමි කරන්නට සමත් විය. නේපාලයෙන් නික්මී ඇමරිකාවේ පදිංචියට යා හැකි මට්ටමට ඇතැම් ශර්පාවන්ගේ ජීවිතය කඳු නැගීම් නිසා සරු විය. නේපාලයේ කඳුකර පළාත්වල තවමත් දුප්පත් ශර්පාවරු ගොවිතැන ජීවනෝපාය කරගෙන ජීවත් වෙති. එහෙත් ඔවුන්ගේම කොටසක් නේපාලයේම ධනපතියන් වී කඳු නැගීමේ රැකියා ආශ්‍රිතව සිටිති. මේ ශර්පාවරුන්ගේ ජන ජීවිතය නගා සිටුවීමට සර් එඩ්මන් හිලරි සහ ටෙනසි නෝගේද හැකි පමණ ඔවුන්ගේ දායකත්වය ලබා දෙන ලදී.

 

4. ශර්පාගේ නැග්ගවීමේ රාජකාරිය

Sharpa

Source – port-magazine.com

දැනට එවරස්ට් නගින යමෙක් වෙත් නම්, ඔවුන් නේපාලය හරහා එවරස්ට් තරණය කරන්නේ නම්, අනිවාර්යෙන්ම ශර්පාවරුන්ගේ ආධාර උපකාර ගත යුතුය. එය සංවිධානාත්මක ජාලගත ක්‍රියාදාමයකි. එවරස්ට් යෑමට මග පෙන්වන මාර්ගෝපදේශකයෝ විසල් බඩු මලු රැගෙන බඩු ගෙනයන්නෝ නොවෙති. ඒ සඳහා වෙනමම පිරිසක් සිටින අතර ඒ පෝටර් ආදී සහායක පිරිස් සපයාගෙන තමුන්ට ලැබුණු සංචාරකයින්ට පහසුකම් සැලසීමේ වගකීම පමණක් ප්‍රධාන ශර්පාවරුන්ට හිමි වේ. මේ එවරස්ට් නගින කාලයට ඇතැම් ජනප්‍රිය ශර්පාවරයකුගේ ආදායම මසකට ඇමරිකානු ඩොලර් 2,000ක් පවා ඉක්මවා යන අවස්ථා තිබේ.

 

5. ශර්පාවරුන්ගේ රහස

Sharpa

Source – nationalgeographic.com

පරම්පරා ගණනාවක සිට ඉහළ කඳුමුදුන් වල වෙහෙස මහන්සි වී ජීවත් වන හෙයින් ශර්පාවරුන් ඒ කඳුකර ජීවිතයටම හුරු වී තිබේ. කඳුකර පළාත්වල ඇති අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිත පරිසරයේ ජීවත් වීම ශර්පාවරුන්ට අනෙක් අයට වඩා පහසුය. කාලයක් තිස්සේ ජානමය වශයෙන් කඳුකර පරිසරයට හුරු වූ ඔවුන් ආශ්‍රයෙන් පරීක්ෂණාත්මකවම ඒ පරිසරයට ඔරොත්තු දීම සනාථ කොට තිබේ.

 

6. ශර්පාවරුන්ගේ බියවැද්දීම්

Sharpa

Source – climbing.com

2013 වර්ෂයේදී ස්විස් ඇල්පයින් කඳු නැගීමේ සමත්කම් දැක්වූ සිමෝනි මෝරෝ, බ්‍රිතාන්‍ය ජාතික ජොනතන් ග්‍රිෆිත් සහ ස්විස් ජාතික ඌලි ස්ටෙක් එවරස්ට් තරණයට සැරසුනහ. ඔවුහු ශර්පාවරුන්ගේ සහයෝගය නොමැතිව එවරස්ට් තරණයට උත්සාහ ගත්තෝය. ස්විස් ඇල්පයින් හි කඳු නැග හුරු ඔවුහු කඳු නැගීමේ තාක්ෂණය පිලිබඳ හොඳ පළපුරුද්දක් ඇති අයවලුන් වූහ. ශර්පාවරුන්ගේ අනුග්‍රහ නොමැතිව මුදුනත තරණයට උත්සාහ ගත් මේ තුන් දෙනාට මීටර 5000කට වඩා උසකට යෑමට නොහැකි විය. ශර්පා ලාගේ කඹ මතින් ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග තත්ත්වය උණුසුම් විය. ශර්පාවරු වදන් වලින් දමා ගැසීමෙන් නොනැවතී අයිස් වලින් සහ තියුණු ආයුධ වලින් පහර දෙන්නට සැරසුණි. තවත් ශර්පාවරු 100ක්ද බටහිර ජාතිකයන්ගේ තනි ගමනට එරෙහි ‍වූහ. අවසානයේ ඇල්පයින් කඳු නැග හුරු යුරෝපීය කඳු නගින්නන් තිදෙනාට නැවත හැරී එන්නට සිදු විය.

 

7. අනෙක් පාර්ශවයෙන් උත්සාහ කිරීම

Sharpa

Source – thejakartapost.com

නේපාලය හරහා එවරස්ට් නගින විට ශර්පාවරුන්ගෙන් ලැබෙන්නේ නොමඳ දායකත්වයකි. එහෙත් චීනය හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ එවරස්ට් තරණයේදී එසේ ශර්පා දායකත්වයකින් තොරව කඳු පියස්ස කරා පිවිසිය හැකිය. එම පාර්ශවයෙන් ඇති මාවත තරමක් දුෂ්කර වුවත් කඳු නැගීමට කැමති වැඩිමනක් පිරිසක් තරණය නොකරන එම මාර්ගය දැන් දැන් පළපුරුදු කඳු නගින්නන් අතර ජනප්‍රිය වෙමින් පවතී.

 

8. කඳු නගින්නන්ට ලැබෙන පහසුකම්

Sharpa

Source – thejakartapost.com

නේපාලයේ මීටර 4000කට වැඩි කන්දක් නගින සෑම විටකම ඒ සඳහා අවශ්‍ය කරන අවසරපත් ලබාගත යුත්තේ මුදල් ගෙවීමෙනි. මීටර 6000කට වඩා වැඩි කඳු සඳහා වැඩි මුදලක් නේපාලයේ කඳු නගින සංගම් විසින් කඳු නගින අයගෙන් අයකරනු ලැබේ. එහෙත් කඳු නගින අයට ලැබෙන පහසුකම් හි වැඩිදියුණු වීමක් නැතැයි ඇතැම් කඳු නගින්නෝ පෙන්වා දී තිබේ. කඳු නැගීම් ගැන වැඩි පළපුරුද්දක් නැති අයව, එවරස්ට් වැනි තරණයන්ට හුදෙක් ලාභ අපේක්ෂාවෙන් අද්දවාගැනීම නිසා කඳු තරණයන්හිදි වාර්තා වන අනතුරු වැඩි බවක්ද පැවසේ.

කෙසේ වෙතත් එවරස්ට් තරණය යනු හැකියාව තිබුණ පලියටම කරගත නොහැකි වියදම් අධික කාර්යයක් බවට පත් වී තිබේ. ඒතුළ කැරකෙන විශාල මුදල් සම්භාරය හේතුවෙන් ශර්පාවරුද අවශේෂ පිරිස්ද නේපාල කඳු නැග්ගවීම් කෙරේ ආකර්ශනය වී තිබේ. තම භූමියේ පිහිටා තිබෙන කඳු වල ලාභයක් ශර්පාවරුන්ට හිමි වුවත් ඔවුන් අනෙක් සංචාරකයින්ට අකුල්හෙලමින් ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නට තැත් කිරීම යෝග්‍ය නොවන කාරණාවකි.

 
Cover Image Source – gripped.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *