හැමෝම සතුටුවෙන විදිහේ සාර්ථක සංචාරයක් ප්ලෑන් කරන්නේ මෙහෙමයි

Trip Organize

සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් යන එක අපි හැමෝගෙම වගේ හිතේ තියෙන අදහසක්. ඒත් හැමදාම කල් යනවා මිසක ට්‍රිප් එක දාගන්න වෙන්නේ නැහැ. විවිධාකාර කේස් නිසා ට්‍රිප කල් යනවා. එහෙම කල් දාගන් නැතුව හරියට ට්‍රිප් යන අයත් ඉන්නවා. අපි එහෙම කොහොමද ඇත්තටම කතාවට සීමා නොවී ට්‍රිප් එකක් යන්නේ කියලා හොයාල බලමු.

 

1. දවස් ගැන කතා කරගමු

Trip Organize

Source – graniteschools.org

අපිට පුලුවන් දවස් වෙන්කරගැනීම, කණ්ඩායමක් එක්ක චාරිකාවක් යද්දි තිබෙන අමාරුම වැඩක්. යාළුවෝ අතන යන් මෙතන යන් කීවට එයාලට සතියේ දවස් වල වැඩ. සති අන්තේ ක්ලාස්. පෝය වගේ නිවාඩුවකටවත් සමහර පොරවල්ව අල්ලනවා බොරු. ඉතිං යාළුවො කොච්චර ආසා වුනත් ට්‍රිප් එක ප්ලෑන් කරන්න බෑ එහෙම. ඒ නිසා මුලින්ම කණ්ඩායමේ සෙට් එකට පුලුවන් දවසක් හෝ දවස් කීපයක් යොදාගැනීම සුදුසුයි. අපි සෙට් වුන මුල් කාලේ වගේ හැමෝම එක්කරං යන්න පුලුවන්නම් හොඳයි. ඒත් ඉතිං එහෙම කරන්න අමාරුයි ටිකක් කල් ගත වෙද්දි. එක එක අයට එක එක දේවල් යෙදෙනවා. ඒ නිසා සෑම සියලු පුරුකක්ම එක් වෙන දිනයක් සොයනවාට වඩා, වැඩි දෙනෙකුට හැකි දිනයක් යොදාගැනීම වඩාත් සුදුසුයි.

 

2. යන්නේ මතටද? මෙන්න තැන

Trip Organize

Source – doozyden.com

කොල්ලෝ යන ගොඩක් ට්‍රිප් නම් ඉවර වෙන්නේ ‘හම්බෝ බොන්න ගිය දුරක්…’ කියන මාතෘකාවෙන්. කොළඹ ඉඳන් ඇත්තටම බොන්න යනවා නම් අම්පාර, කෝකිලායි, බැටී, ට්‍රින්කෝ, ජැෆ්නා, බදුල්ලේ ගිහින් තේරුමක් නැහැ. අවිස්සාවේල්ල කිතුල්ගල දිහායින් හෝ හොරණ දිහායින් හෝ නැතිනම් මූදුබඩ තැනකින් පොට් එකක් වෙන්කරගෙන එතැනට සෙට් වෙලා බීම කෝකටත් හොඳයි. අමාරුවෙන් යන එන ගමන් මත් වෙනවාට වඩා තැනකට එකතු වෙලා සෙට් එක එක්ක කතාවක් දාන්න පුලුවන් එතකොටයි.

එහෙම නැතුව සිරාවට මේ පාර දුර ගමනක් යන්න හිතනවා නම් මත් දේවල් පොඩ්ඩක් විතර රෑට වගේ ප්ලෑන් වෙනවා නම් හොඳයි. නැත්නම් ගිය තැනක් කරපු දෙයක් මතක නැහැ. අවසානේ යාළුවෝ පොටෝ ලීක් කලාම තමයි ‘මොනාද දෙයියෝ මම මේ ගමන් ගිහින් කරගෙන තියෙන්නේ?’ කියලා පේන්නේ.

 

3. සෙට් එක අනුව තැන් සිලෙක්ට් කරගැනීම

Trip Organize

Source – janaka-deshani.blogspot.com

ඉන්න පිරිස දහම් පාසලේ සෙට් එක වගේ නම් අනුරාධපුර පොළොන්නරුව වගේ විහාර වන්දනාවක් සුදුසුයි. ඒ වගේම පවුලේ සෙට් එක එක්ක, අපේ වැඩිහිටි නෑදෑ පරපුර එක්ක චාරිකාවක් ගියත් ඒක ආගමික ස්ථානයක් වෙනවා නම් හොඳයි. පවුලේ අය ගියත් ඒ ට්‍රිපට ආගමික සිද්ධස්ථාන දෙක තුනක් වැටෙනවා නම් වැඩිහිටි අය ගොඩක් සතුටු වෙනවා.

තරුණ පහේ සෙට් එකක් නම් යන්නේ දිය ඇළි, කඳුවැටි, මූදු වෙරළ, දුර්ග සානු, වැව් අමුණු ඇළවල් වගේ සොබා සෞන්දර්යය සෙට් එක වඩාත්ම කූල් කරාවි. අපි හැමෝගෙම ට්‍රිප් යෑමේ එක අරමුණක් තමයි රිලැක්ස් වීම. ස්වාභාවික සෞන්දර්යෙන් පිරුණු තැනක් අපේ ඒකාකාරී ජීවන රටාව වෙනස් කරගන්න ගොඩක් උපකාර වෙනවා.

 

4. රිලැක්ස් විදියට ප්ලෑන් කිරීම

Trip Organize

Source – youtube.com

සාමාන්‍යයෙන් ආසියාතිකයින් විදියට අපි සංචාර කරන්නේ තැන් මාක් කරලා එන්න වගේ විශාල කඩිමුඩියකින්. ඒත් යුරෝපියයන් සහ සුදු ජාතිකයින් සවාරි යද්දි ඒ තැන් ගැන හොඳට හොයලා බලන්න කාල වේලාව තියාන චාරිකාව ප්ලෑන් කරනවා. එක දවසට තැන් හතර පහක් බලලා, ඒ තැන්වල කරන්න ඕනි දේවල් කරලා එන බොහෝම තද ශෙඩූල් එකක් එක්ක ට්‍රිප් යෑම කියන්නේත් තවත් එක්තරා ස්ට්‍රෙස් එකක්. උදාහරණ විදියට කොළඹ ඉඳන් වාහනේකින් යාපනේ ගිහින් එනවා නම් ඒකට අඩුම තරමේ දවස් 4ක් වත් උවමනා වෙනවා. මොකද යාපනේ යන්නම අපිට දවසක් යනවා නේ. එතකොට යාපනේ තිබෙන වැදගත් තැන් ටික දවස් දෙකකින් බලලා, හතරවෙනි දවසේ නිවීහැනහිල්ලේ කොළඹ එන්න හැකියි දවස් 4ක ට්‍රිපක් වුනොත්. එකිනෙකට වෙනස් තැන්වල තියෙන ස්ථාන ගොඩක් ශෙඩූල් එකට දාගෙන, හැම තැනම යාන්තං අතපත ගාල එනවාට වඩා ඒ තැන්වල මිනිස්සු, ඒ පළාතේ දේශගුණය, පෞරාණික දෙයක් නම් එහි අගය වගේ දේවල් විඳගෙන එන්න හැකියි කාලවේලාව ඇතිව ගියොත්.

 

5. බැකප් ප්ලෑනක් තියාගැනීම

Trip Organize

Source – localguidesconnect.com

අපි මේ කියන විදියට ප්ලෑන් කරද්දි මුලින්ම අපිට ට්‍රිපක් යන්න ඕනි වෙනවා. ඉන් පස්සේ දවස් කීයක්ද බලලා ඒ යන්න හැකි දවස් ටික දාගන්නවා. ඉන් පස්සේ තමයි එන්නේ යන්නේ කොහේද කියන එක. ලංකාව බෙංගාල බොක්කට කිට්ටුව පිහිටලා තිබෙන නිසා අපිට හිතන්නවත් බැරි කාල වලදි පළාත් ගණන් යටවෙනවා. නාය යනවා වැස්ස නිසා. ඒත් මේක ටිකක් හොඳට බැලුවොත් නිරිත හෙවත් දකුණ, සබරගමුව, බස්නාහිරට වහින කුණාටු අනුරාධපුර, යාපන, පොළොන්නරුව දිහාට වැඩි බලපෑමක් නැහැ. ඒ විදියට ප්ලෑන් ඒ සහ ප්ලෑන් බී කියලා දෙකක් තියාගන්න හැකිනම්, මොනවාහරි හේතුවක් නිසා චාරිකාව යන පැත්තේ අවුලක් වුනොත් අපිට පුලුවන් දෙවන චාරිකාවට අපේ ප්ලෑන් එක මාරු කරන්න.

 

6. රිස්ක් එක ගැන පොඩ්ඩක් සොයාබැලීම

ගෙදරටම කාර් එකෙන් ඇවිත් බහින, වැඩි ව්‍යායාමයක් නැති අයට සිරිපාදේ යෑම කියන්නෙත් පට්ටම අමාරු වැඩක්. හැටන් වලින් සිරිපාදේ නැගීම පහළ සිටම උඩටම පඩිපෙල් තිබෙන තරමක් පහසු ඉලක්කයක්. ඒත් ඒ වගේ ට්‍රැක් එකක් වුනත් අමාරු අය අපේ සෙට් එකේ ඉන්නට පුලුවන්. කඳු නැගීම, දූපත් බලන්නට මුහුදේ යෑම, වෝටර් රාෆ්ටින් වගේ දේවලදී ඒ දේවල් වලට පට්ටම බය සහ ඒ දේවල් කරන්නට ටිකක් අමාරු අය එක්ක යෑම අපේ ආතල් එකත් මිස් වෙන්නට හේතු වෙනවා. මේක ටිකක් ආත්මාර්ථකාමී තමයි. ඒත් අපි කඳු නගින ගමනකට ආසාව තිබුන නිසාම ටිකක් මහත, වැඩිය කඳු නගින්නේ නැති යාළුවෙක් එකතු කරගන්නවා කියන්නේ ගමනේ ඉලක්ක වලට යෑමට වඩා අපිට අර යාළුවාගේ සෞඛ්‍යය ගැන සොයාබලන්නට වෙනවා කියන එක. ඒ නිසා සෙට් එකට හරියන්න රිස්ක් එක ප්ලෑන් කරගැනීමත්, රිස්ක් තියෙන ගමනක් යනවා නම් ඒකට හරියන්න සෙට් එක හදාගැනීමත් කල යුතු දෙයක්…

 

7. අවසර ගැනීම සහ සොයාබැලීම

Trip Organize

Source – safariyala.com

වනාන්තර වලට ඇතුලු වීමේදී පාරවල් තිබුන පලියට හැම එකටම ඇතුල්වෙන්නට අපිට අවසර නැහැ. වනජීවී සහ වන සංරක්ෂණ ආයතන වලින් අදාළ පර්මිෂන් ලබාගෙන, ඒ අදාළ වනාන්තර වලට ඇතුල් විය යුතු වෙනවා. එසේම ඇතැම් ස්ථාන සඳහා පොලිසියෙන් සහ හමුදා වලින් අවසර ගැනීමටත් තිබෙනවා. ඒ වගේ අවසර ගන්න ඕනි අවස්ථාවල ඒවා මිස් කරගෙන ට්‍රිප් එක ගිහින්, ට්‍රිප් එක අවසානයේ හිරේ විලංගුවේ වැටුන අවස්ථාත් අපිට පසුගිය කාලයේ හමුවුනා.

ප්ලෑනක් කියන්නේ ට්‍රිප් එක හිරකරන තද කාලසටහනක් නෙමෙයි. අපි ට්‍රිප ගැන ගහන දළ සටහනක්. ඒක වුනත් ගමන අනුව, කාලගුණය අනුව සහ අපේ ම උවමනාකම් අනුව වෙනස් කරගත හැකියි. ඇත්තටම ට්‍රිප් එකක් තියෙනවා නම්, කලින් ප්ලෑන් කරලා වාහන හොයලා, දවස් දාගෙන, තැන් වෙන්කරගෙන ඉන්නවා නම්, ඒ ගමන අනිවාර්යෙන් අපි යනවා. එහෙම නැතිනම් හැමදාම අපි එහේ යමුද? මෙහේ යමුද? කියලා අහලා චැට් නාස්ති කරනවා විතරයි.

 
Cover Image Source – bookings.lk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *