කොළඹ අවට කපල් එකකට දවසින් රවුමක් දාල එන්න පුළුවන් තැන් 9ක්

One day places

යන්තම් ටෝක් කරලා කරලා සෙට් වුනාට පස්සේ ජෝඩුවට කොහේද යන්නේ කියන එක ගැටළුවක්. මුල් කාලෙදි නෙමෙයි සමහර විට පසු කාලේ පවා රැයක් පිට ඉන්න එක කසාදේ වෙනකම්ම කරගන්න බැරි දෙයක් ලංකාවේ ජෝඩුවකට. ඒ නිසා දවසකින් කඩිමුඩියේ ගිහින් බලලා විඳලා එන්න පුලුවන් තැන් මාර ම වටිනවා. අපි ඒ වගේ තැන් ටිකක් දැනගමු.

1. කිතුල්ගල

One day places

Source – amilachathuranga

කිතුල්ගල කියන්නේ කොළඹට ආසන්න ඇඩ්වෙන්චර් ලෝලින්ගේ රජදහන. ලංකාවේ වෝටර් රාෆ්ටින් කරන්න තිබෙන හොඳම තැනක් තමයි කිතුල්ගල. කිතුල්ගල දැන් පෙරටත් වඩා ඇක්ටිවිටි තියෙනවා. දොළපාරක් උඩට ගිහින් පැනීම, කඹ මතින් ගමන්කිරීම වගේ ඉවෙන්ට් කිහිපයක්ම එක දවසකදි විඳලා, පොඩි වෙලාවක් නාලා හැන්දෑවට කොළඹ එන්න පුලුවන් ගමනක් තමයි කිතුල්ගල සවාරිය. රු 4000කට වගේ මිලකට මේ සියලු විනෝද කාර්යයන් දිවා ආහාර එක්කම සැපයෙන තැන් දැන් කිතුල්ගල ආසන්නයේ ඉක්මනින්ම සොයාගන්නට හැකියි.

 

2. සීතාවක බොටැනිකල් ගාර්ඩන්

One day places

Source – youtube.com

සීතාවක බොටැනිකල් ගාඩන් එක කියන්නේ අවිස්සාවේල්ල පැත්තේ අලුතින් හැදුන තැනක් වුවත් පිරිසකට මෙන්ම කපල් එකකටත් ගිහින් සතුටුවෙලා එන්න පුලුවන් තැනක් තමයි සීතාවක බොටැනිකල් ගාඩ්න් එක. ඒ වගේම ගම්පහ මල්වත්ත හෙමත් ජෝඩු අතර ජනප්‍රිය තැනක්. අද කාලේ වෙඩින් වල අනිවාර්ය අංගයක් වෙන ප්‍රී ෂූට් සඳහාද සීතාවක පාක් එක හරි හරියට යොදා ගන්නවා.

 

3. කැළණි විහාරය

One day places

Source – wordpress.com

යාලුවෙලා මුල්ම දවසේම බොක්ස් තියෙන ෆිල්ම් හෝල් එකකට යන්න, ටිකක් කතා කර කර ඉන්න රූම් එකකට යන්න ගෑණු ළමයි කැමතිවෙනවා අඩුයි. ඉතිං ඒ වගේ වෙලාවට පංසල් විහාර දේවාල පල්ලි කෝවිල් වන්දනාව අලුත් ජෝඩුවකට කියාපු විකල්පයක්. ඒවායෙ ගිහින් පෙම් කෙලින්ට ගියොත් නම් බැතිමතුන්ගෙන් බැනුම් අහගන්නට වෙයි. දෙන්නත් එක්කම සුදුවතින් සැරසී ගිහින්, සුදු මල් වට්ටියක් අරං බෝධිය වටේ පැදකුණු කරලා, විහාරය වන්දනාමාන කිරීමෙන් ඔබේ ආදර කතාවට දෙවියන් බුදුන්ගේද ඇල්ම බැල්ම ලැබෙනවා නිසැකයි.

 

4. දෙහිවල සත්තු වත්ත

One day places

Source – flickr.com

දෙහිවල සත්තු වත්තේ සත්තු බලන්න යන්නේ පොඩි ළමයි. ළමයි අඩු සතියේ දවසක නම් ජෝඩුවකට ගිහින් සත්තු මොනවගේද අපි මොනවගේද කියලා බලලා එන්න දෙහිවල සත්තු වත්ත හොඳයි. සත්තු වත්ත දැන් නවීකරණය වෙලා. අලුත් සත්තු ඇවිල්ලා. අනික සත්තු වත්ත බලන්න යන්න අනෙකා කැමති කරගන්නත් ටිකක් ලේසියි.

 

5. බීච් යමුද?

One day places

Source – serenvides.com

ඉන්නෙ කොළඹ නම් බීච් යනවා කියන්නේ කපල් එකකට එකම වරක් හෝ අත්විඳිය යුතුම ගමනක්. ගෝල්ෆේස් ගියොත් හැන්දෑවෙන්න නානාලගේ කඩවලින් මොනාහරි බඩට දාගන්නත් හැකියි. එහෙම නැතුව ටිකක් තනිවෙලා, අනික් අයගෙන් වහන් වෙලා අත් අල්ලාගෙන ඇවිදින්න නම්, කොළඹට උතුරින් උස්වැටකෙයියාව පැත්ත හෝ දකුණින් දෙහිවල පානදුර පැත්ත හොඳයි. නාන්න නම් ගල්කිස්ස බීච් එක හොඳයි. ඒත් ලංකාවේ ගොඩක් පෙම් ජෝඩු නාන්න නම් එච්චරම ආසා නැහැ වගේ. ප්‍රසිද්ධ මූදේ නාන කියන තැන්වල පවුල් පිටින් සෙනග මිස ජෝඩු දකින්නට ලැබෙනවා අඩුයි.

 

6. කෝච්චියේ ගමනක්?

One day places

Source – amila chathuranga

අපේ රටේ කෝච්චි ගමන කියන්නේ ලෝකයේ ම ජනප්‍රිය වුනු අත්දැකීමක්. පාන්දර කෝච්චියේ ගිහින් හැන්දෑවට ආපහු එන කෝච්චියක නැගලා එන එකත් ඇතැම් ජෝඩු වල විනෝදාංශයක්. උදෙන්ම පිටත් වෙන්න හැකිනම් නුවර ගිහින් පේරාදෙණියේ මල් වත්ත හෙම බලලා හවසට එන්නත් හැකියි. දකුණේ නම් බෙන්තොට පානදුර පැත්තේ ලස්සන බීච් එකක සිරිය බලලා එන්නත් කෝච්චියෙන් ගිහින් එන්නට පුලුවන්. කැළණිවැලි රේල් පාරත් ගමනකට නරකම නැහැ. කැළණිවැලි දුම්රිය නුගේගොඩ, මහරගම, කොට්ටාව වගේ ජනාකීර්ණ පැති පහුකරගෙන ගියත්, කොට්ටාවෙන් එහාට තිබෙන භූමි දර්ශන දැක්කාම ‘අඩේ මේ කොළඹමද?’ කියා සිතේවි.

 

7. උදේට සිනමා, දවල්ට කෑම, හවසට බීච්

One day places

Source – identitity-mag.com

ලෝකයේ තිබෙන හොඳම සිනමා නිර්මාණ සුපිරියටම දකින්න නම් ඒ ඇස් දෙක කොළඹට එන්නම වෙනවා. ස්කෝප් සිනමා, මැජෙස්ටික් සිටි, සැවෝයි වගේ ජනප්‍රිය තැනක ෆිල්ම් එකක් බැලීම නිවසට වී පුංචි තිරයකට එබීගෙන චිත්‍රපටයක් බැලීමට වඩා වටින වැඩක්. ත්‍රීඩී හොඳ සවුන්ඩ් එක්ක සනීප ආසනයක වාඩිවෙලා හොඳ සිනමා නිර්මාණයක් රස විඳීම ජෝඩුවටම සිත සතුටු කරන අත්දැකීමක් වෙයි. ෆිල්ම් එකෙන් පස්සේ කොළඹ බම්බා වැල්ලවත්ත දිහා තිබෙන හොඳ කෑම තැනකින් කාලා, හවස මරයින් ඩ්‍රයිව් හෝ ඒ යාබද තැනක නිවීහැනහිල්ලේ දවස ගෙවා යෑමටත් ඇතැම් පෙම් ජෝඩු කැමතියි. බස් රියක හෝ වාහනයක බොහෝ දුර ගෙවා යන්නැතිව කොළඹටම වෙලා විනෝදය සම්පූර්ණ කරගන්න ඒ ෆිල්ම් සහ ෆුඩ් ආකාරය වඩාත් සුදුසුයි.

 

8. විහාරමහා දේවී උද්‍යානය, නිදහස් චතුරශ්‍රය

One day places

Source – visitsrilanka.com

නිදහස වෙනුවෙන් තැනුන නිදහස් ස්මාරකය වන නිදහස් චතුරශ්‍රය අවට පළාත පසුගිය කාලයේ ඉතාම ලස්සන පරිසරයක් බවට පත් වුනා. ඒ නිදහස් චතුරශ්‍රය ආසන්න උද්‍යාන භූමිය දැන් පෙම්වතුන්ගේ රජදහනක් වී අවසානයි. විහාර මහා දේවී උද්‍යානය කොළඹ මැද පිහිටි වික්ටෝරියානු කාලයේ සිට තිබෙන පැරණි උද්‍යානයක්. කොතරම් කෘත්‍රිම අවකාශ තැනුවත් උද්‍යානයක ගසක් යට බංකුවක සිටින විට ඇඟට දැනෙන අමුතු කික් එක කෘත්‍රිම වායුසමන ක්‍රමවලින් ලබාගන්නට අමාරුයි. ඒ නිසා දෝ මේ විහාරමහාදේවී උයනත් නිදහස් චතුරශ්‍රයත් ජෝඩු අතර ජනප්‍රියම තැන් දෙකක් වී තිබෙනවා.

 

9. මීගමුව සංචාරේ

One day places

Source – alamy.com

මීගමු යන්නට තිබෙන ලස්සනම පාර තමයි හැමිල්ටන් ඇල ආසන්නයෙන් ගොස් ඉන් පසු උස්වැටකෙයියාව හරහා මීගමුවට ළඟා වීම. මේකෙදි තමුන්ගේ වාහනයක යනවා නම් මුහුද අයිනේ ඇති ලස්සන තැන්වල නවත්වලා, ධීවර ජනයාගේ වැඩකටයුතු එහෙමත් පාන්දරම ගියොත් දැකබලාගෙන යන්නට හැකියි. මීගමුව කියන්නේ කලක පටන්ම ජනප්‍රිය සංචාරක පුරවරයක්. විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයද දිනාගත් මීගමුව කොළඹ සිට ගොස් දවසකින් දැකබලාගෙන එන්න පුලුවන් ලස්සන මුහුදුබඩ සහ කලපු පරිසරයක්…

කොළඹ පළාතේ ජෝඩුවකට කොළඹ ආසන්න දවසක් ගත කරන්න හොඳ ක්‍රම ටිකක් මේ හරහා ලැබෙන්නට ඇති. හැමදාම එකම විදියට සති අන්තේ දවසක් ගතකරන ජෝඩුවලට මේ විදියේ අලුත් අත්දැකීම්ද උත්සාහ කරලා බලන්නට වටිනවා. ප්‍රේමය කියන්නේ ගඟක් වගේ දෙයක්. එක් එක් කාලවලදී මුහුණ දෙන්නට වන අත්දැකීම් විවිධයි. ඉතිං ඒ වගේම පෙම්වතුන් විදියට යන එන තැනුත් විවිධ කරගතහොත් ඒ ප්‍රේම අන්දරය තවත් විචිත්‍ර එකක් ම වේවි.

 
Cover Image Source – gettyimages
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *