නන්නාඳුනන කෝල් එකක් ආවොත් මොකද කරන්නේ?

How to face calls from unknown numbers

යාළුවො විහිළුවට වගේම කෙල්ලෙක් නැතුව ලත වෙන අයියලා විතරක් නෙවෙයි, කසාද බැඳලා හැට පැන්න අංකල්ලා එහෙමත්, නොදන්න නම්බරයක් ට්‍රයි කරලා කොටු සෙල්ලම් වලට අහඹු නම්බර් වලට කෝල් අරන් බලනවා. ඒ වගේම රීලෝඩ් දාන කඩවල් වලට නංගිලා නම්බර් දීලා ආවාම දවස් දෙක තුනකින් කෝල් එන්න පටන් ගන්නවා. මෙන්න මේ විධියට අපිට එන නොදන්න කෝල්වලට මුහුණ දෙන්නේ කොහොමද කියලයි අපි දැන් බලන්නේ.

 

1. ගෙදර පිරිමි කෙනෙක්ට ෆෝන් එක දෙන්න

How to face calls from unknown numbers

Source – firstpost.com

ඔහොම කෝල් එකක් ආවාම ගොඩක් වෙලාවට එයාලා සද්ද නැතුව ඉඳලා බලනවා කතා කරන්නේ ගෑණු කෙනෙක්ද කියලා. වැරදිලා හරි ලස්සන හීන් හඬින් හලෝ කිව්වොත් ඉතින් ඕකෙ බේරුමක් නැති වෙනවා. එල්ලෙන්න වැලක් නැතුව හරි, ටික කාලෙකට කවුරුහරි හොයාගන්න හරි තරම් අසරණකමක් තියෙනවානම් ම මිසක්; පාඩුවෙ ඉන්න ඕන කියලා ලාවට හරි අදහසක් තියෙනවා නම් “ඇයි ගෑණු කෙනෙක්ට ෆෝන් එකක්වත් ආන්සර් කරන්න හොඳ නැද්ද” කියලා සමාජෙ හදන්න යන එක පැත්තකින් තියලා තාත්තට, අයියට වගේ කාටහරි ෆෝන් එක දෙන එකයි ඇඟට ගුණ.

 

2. කතා කරන කෙනාව අනුමාන කරන්න එපා

How to face calls from unknown numbers

Source – pintarest.com

දුරකථන ඇමතුම්වල තිබෙන යහපත් සදාචාරත්මක ගුණාංගයක් තමයි කෝල් එක දෙන කෙනා තමන් කවුද කියලා මුලින්ම කියන එක. එහෙම නැතුව “පුළුවන් නම් කවුද කියලා කියන්න බලන්න?” කියලා ෆෝන් එකෙන් හරියට මූණ පේනවා කියලා හිතාගෙන වගේ ගොබ්බ කතාවක් කිව්වොත් බය නැතුව ඒකට හරහට එකක් කිව්වාට අවුලක් නෑ. දන්න කෙනෙක්ද දන්නෙ නෑ කියලා එක එක නම් කියන්න ගත්තාම තවත් බයිට් වෙනවා. “ආ? ඒ කවුද?” එහෙම අහලා උන් තමන්ගෙ උගුලට අල්ල ගන්නවා. ඒ නිසා එයාලා තමන් කවුද කියන්නේ නැත්නම් ෆෝන් එක තියන්න.

 

3. එයාලා කවුද කියනකම් විස්තර කියන්න පෙළඹෙන්න එපා

How to face calls from unknown numbers

Source – culturelist.com

කතා කරන කෙනා දන්නා කියන කෙනෙක්ද කියලා දැනගන්නකම් තමන්ගෙ විස්තර නොදීම ඉන්න බලන්න. මේ කොහෙන්ද කතා කරන්නේ (කටින්) ගෙදර කී දෙනෙක් ඉන්නවද (කණ-කොට අය නෑ) ඔයා මොනවද කරන්නේ (තොට මොකටද?) වගේ අමුතු කතාවට එන්ටර් වීගෙන එනවා නම් ෆෝන් එක තියන්න. මේ වෙලාවෙ ඉන්නෙ ඔෆිස් එකේ, ගෙදර කවුරුත් නෑ වගේ විස්තරයක් චුට්ටක් හරි ලීක් වුණොත් වෙලාවල් ටාගට් කරලාම කෝල් එන්න පටන් ගන්නවා. ඊට පස්සෙ ගැලවෙනවා බොරු. “කෝල් එක ගත්තෙ ඔයානේ. ඒ නිසා ඔයා කවුද කියන්න” කියලා අහන්න ඔබට අයිතියක් තියෙනවා.

 

4. නොදන්න මිස් කෝල්වලට ආයෙ ගන්න එපා

How to face calls from unknown numbers

Source – usatoday.com

ගොඩක් අයට කොටු හීන තිබුණාට හරියට කෝල් එකක් ගන්නවත් අතේ සල්ලි ඇත්තෙ නෑ. ඒක නිසා නොදන්න නම්බර් එකකට මිස් කෝල් එකක් ගහලා ආයෙ ගත්තාම තමන්ගෙ අලුගුත්තේරු වැඩ ටික කරනවා. ඒ නිසා සල්ලිත් කපාගෙන කාගෙවත් උගුලකට අහුවෙන්නේ නැතුව නොදන්න නම්බර් එකකින් මිස් කෝල් එනවා නම් ඒක ගණන් නොගෙන ඉඳලා කරදරම නම් බ්ලොක් කරලා දාන්න. අනෙක් පැත්තට කෝල් එකක් අරගෙන හරි, මැසේජ් එකක් දාලා “කවුද?” කියලා ඇහුවොත් ගින්න පත්තු කරගන්න එයාලාට චාන්ස් එක අපිම හදලා දෙනවා.

 

5. නම්බර් එක අනුව ආයතනයක් ද යන වග අනුමාන කරන්න පුළුවන්

How to face calls from unknown numbers

Source – tigermobile.com

ගොඩක් ආයතනවලින් කස්ටමර් සර්විස් වලට දෙන්නේ ලෑන්ඩ් ලයින් නම්බර්. ඒ වගේම සමාන අංක පේලියක්, අංක කිහිපයක් පමණ තිබෙන නම්බර් එකක් එයාලා පාවිච්චි කරනවා. අහඹු අංක තියෙන මොබයිල් නම්බර් වලින් ඒ වගේ වැදගත් වැඩකට කතා කරන්නේම නැති තරම්. කතා කළත් බොහොම වැදගත් විධියට එයාලාව අඳුන්වලා දීලා අපේ විස්තරත් එයාලාම කියලා තමයි විස්තර අහන්නේ. මේ නිසා නම්බර් එකෙන්, කටහඬ සහ කතාවේ සංවර බවෙන් අපිට මේ දෙකයි පනහේ එකෙක් ද ආයතනයක් ද කියන එක දැනගන්න පුළුවන්.

 

6. පෞද්ගලික රහස්‍ය දත්ත දීමෙන් වැළකෙන්න

How to face calls from unknown numbers

Source – twitter.com

එක එක ජාතියෙ අංක තියෙන, අහඹු මොබයිල් නම්බර් එකකින් කෝල් එකක් ඇවිත් “අපි මේ අහවල් ආයතනයෙන්” කියලා බැංකු විස්තර, ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් විස්තර අහන්න ගත්තොත් ඒවා නොදී ඉන්න ඔබට අයිතිය තිබෙනවා. හැඳුනුම්පත් අංකය, වාහනේ අංකය ගැහුවාම විස්තර එන ඇප්ස් එහෙම තිබෙන නිසා ඔබේ එවන් දත්තයක් වුවත් නොදන්නා කෙනෙක් අතට පත් කිරීමෙන් අපේ සියළු අනවශ්‍ය විස්තර ඔවුන්ට නිරාවරණය කරදීලා අපිව කොටු කරගන්නට ඔවුන්ට අවස්ථාව සලසා දෙන එක අපිම කරගන්නවා.

ඉතින් මේ විධියට “ආන්සර් කරන්නම කෝල් එකක්” ද නැද්ද කියන එක දැනගෙන වැඩේට බැස්සොත් ඔබට තර්ඩ් ක්ලාස් වැඩ කරන ගොබ්බයන්ගෙන් බේරෙන්නට හැකියාව ලැබෙනවා.

 
Cover Image Source – waterdome.com / pintarest.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *