ඒ කාලෙ IPL පිටිය හොල්ලපු අපේ කොල්ලන්ගෙ මේ දස්කම් මතකද?

IPL best performances

මුල් කාලෙ IPL තරඟාවලි වලදී හැම IPL කණ්ඩායමකටම අඩුම තරමේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයො එක්කෙනෙක් දෙන්නෙක් වත් ඇතුළත් වෙලා තිබ්බා. ඒත් ක්‍රම ක්‍රමයෙන් ඒ තත්ත්වය අඩු වේගෙන ගිහිල්ලා වර්තමාන IPL තරඟාවලියට එද්දි මුළු තරඟාවලියටම එකම ක්‍රීඩකයෙක්වත් නැති මට්ටමකට ඇවිල්ලා. මේක ඇත්තටම ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් වන අපිට දැනෙන ලොකු අඩුවක්.

IPL තරඟ බිමේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ නියෝජනය අද වෙද්දි ශෝචනීය තත්ත්වෙක තිබ්බත්, අතීත IPL තරඟාවලි වලදී අපේ ක්‍රීඩකයො මැච් එකක තීරණය වෙනස් වෙන විදිහේ සුපිරි දස්කම් රැසක් පෙන්නලා තියනවා. ඉතින් වර්තමානයේ අඩුව පිරවෙන්නත් එක්ක අපි හිතුවා අපේ ක්‍රීඩකයො IPL වලදී දක්වපු හොඳම දක්ෂතා කීපයක් නැවත ඔබේ මතකයට කැන්දන්න.

 

1. චෙන්නායි වනසපු සනත්ගේ සුපිරි ශතකය

Image Source – icc-cricket.com

මංගල IPL තරඟාවලියෙදි සනත් ජයසූරිය ගහපු සුපිරි සෙන්චරිය අදටත් අපේ ක්‍රිකට් ලෝලීන්ගෙ මතකයේ රැඳිල ඇතිය කියල අපි විශ්වාස කරනවා. පිටිය සිසාරා එල්ල කරපු හයේ පහර එකොළහකිනුත්, හතරේ පහර නවයකිනුත් සමන්විත වුණ මේ දැකුම්කළු ඉනිමේදී සනත් පන්දු 48කින් නොදැවී ලකුණු 114ක් ලබාගන්නවා. සනත් දුවමින් ලබාගන්නෙ ලකුණු 12ක් විතරයි. මේ තරඟෙට චෙන්නායි පිල වෙනුවෙන් පන්දු යවපු අපේ චාමර කපුගෙදරගේ පන්දු 5කින් ලකුණු 26ක් රැස් කරන්නත් සනත් සමත් වෙනවා. චෙන්නායි විසින් තියපු ලකුණු 157ක ඉලක්කය පන්දු වාර 14ක් සපිරෙන්නටත් මත්තෙන් හඹා ගිහින් ජයගන්න මුම්බායි පිල සමත්වෙන්නේ සනත්ගේ මේ අති ප්‍රවේගකාරී ඉනිම නිසයි.

 

2. මහේලගේ ශතකය ජන්ජාබයට ජය කැන්දයි

 

සනත් ජයසූරිය ඇරුණහම IPL තරඟාවලියකදි ශතකයක් වාර්තා කරන්න සමත් වෙච්ච අනික් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා තමයි මහේල. මේ තරඟෙදි කොල්කටා කණ්ඩායම විසින් ලකුණු 201ක අසීරු ඉලක්කයක් පන්ජාබ් කණ්ඩායම හමුවේ තබනවා. පන්ජාබ් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා හැටියට පිටියට එන මහේල ඉනිම ස්ථාවර කරමින් අවසානය දක්වා නොදැවී ක්‍රීඩා කරනවා. මහේලගේ පිත්තෙන් පන්දු 59ක් තුළ වාර්තා වුණ ලකුණු 110 නිසාවෙන් පන්දුවාර 18.2 ඇතුළත මේ ඉලක්කය හඹාගොස් ජයගන්න කිංග්ස් XI පන්ජාබ් සමත් වෙනවා. තරඟයේ වීරයා හැටියටත් මහේල පිදුම් ලබනවා.

 

3. RCB අසරණ කරපු දිල්හාරගේ සුපිරි පන්දු යැවීම

 

දිල්හාර ප්‍රනාන්දු IPL වලදි වැඩ පෙන්නුවා කියලා වැඩි දෙනෙක්ට නම් මතකත් නැතිව ඇති. මේක සිද්ධ වෙන්නෙ 2008 IPL තරඟාවලියෙදි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිවයි. මේ තරඟයේදී තමන් යවපු පළමු පන්දු වාරයේදීම කඩුළු දෙකක් දවාගන්නට දිල්හාර සමත් වෙනවා. බැංගලෝර් කණ්ඩායමේ මුල් කඩුළු 3ම දවාගන්නෙ දිල්හාර විසිනුයි. අවසානයේදී පන්දු වාර 4ක් තුළදී ලකුණු 18ක් පමණක් ලබා දීල කඩුලු 4ක් දවාගන්න දිල්හාර සමත් වෙනවා. තරඟයේ වීරයා හැටියට නම් වෙන්නෙත් දිල්හාරවයි.

 

4. මාලිංගගේ විකට් පහ

IPL තරඟ බිමේ වැඩිපුරම දස්කම් පෙන්වපු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා හැටියට මාලිංගව අපිට නම් කරන්න පුළුවන්. මාලිංගගේ IPL දස්කම් ගැන වෙනම ලැයිස්තුවක් වුණත් හදන්න බැරිකමක් නැහැ. ඒත් අපි ඒ දස්කම් අතරින් තෝරාගත්තේ 2011 වසරේදි දිල්ලි ඉනිම විනාස කරපු මාලිංගගේ කඩුළු 5ක් දවාගැනීමයි. මාලිංග දවාගත් කඩුළු 5න් 4ක්ම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදුන දැවීයාම් වීමත් විශේෂයි. පන්දුවාර 4 තුළදී ලකුණු 13ක් පමණක් ලබා දී කඩුළු 5ක් බිඳ හෙලන්න මාලිංග සමත් වෙනවා. මේ පන්දු යැවීම නිසා දිල්ලි කණ්ඩායම ලකුණු 95ක් වැනි සුළු සංඛ්‍යාවකට සීමා කරමින් පහසු ජයක් ලබන්නට මුම්බායි පිල සමත් වෙනවා.

 

5. තරඟය වෙනස් කල සංගාගේ 94

SL Cricketers Who can Sing

Source – ibntimes.co.uk

2008 වසරේදී මුම්බායි පිලත් පන්ජාබ් පිලත් අතර පැවැත්වුණ තරඟයකදී පන්දු 56ක් තුළ ලකුණු 94ක් සංගා විසින් ලබාගන්නවා. සංගා හැරුණකොට ලකුණු 25 සීමාව පසුකරන්නට දෙපිලේ කිසිම ක්‍රීඩකයෙකුට හැකියාවක් නොලැබීම තමයි මේ ඉනිමේ විශේෂත්වය. සංගාගේ ස්ථාවර ඉනිම නිසාවෙන් ලකුණු 183ක අසීරු ඉලක්කයක් මුම්බායි වෙත යොමු කරන්න පන්ජාබයට හැකිවෙනවා. මුම්බායට පන්දු වාර 20 තුළ රැස්කරන්න හැකි වෙන්නේ ලකුණු 116ක් පමණයි.

 

6. දිල්ශාන් දිල්ලියට ජය මග පෙන්වයි

Image Source – thehansindia.com

මුල් IPL තරඟාවලි වලදි දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමට ඉතාම ශක්තිමත් පිතිකරණ ලැයිස්තුවක් තිබ්බා. ෂෙවාග්, ගම්භීර්. ඩිවිලියර්ස්, දිල්ශාන් සහ දිනේශ් කාර්තික් වගේ ප්‍රබල පිතිකරුවො රැසක් මේ පිළට ඇතුළත් වුණා. බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් වෙනුවෙනුත් කැපීපෙනෙන ඉනිම් කීපයක් දිල්ශාන් ක්‍රීඩා කලත්, 2009 වසරේදි රෝයල් චැලෙන්ජර්ස්ට එරෙහිව දිල්ශාන් නොදැවී රැස්කරපු ලකුණු 67 විශේෂ ඉනිමක්. දිල්ශාන් වටා ක්‍රීඩා කරපු අනික් පිතිකරුවන් එකා දෙන්නා දැවීයද්දී, තමන්ගේ කඩුල්ල රැකගෙන තරඟ අවසානය දක්වා ජයග්‍රාහීව දිල්ලි කණ්ඩායම ගෙනියන්න දිල්ෂාන් සමත් වෙනවා.

 

7. මැතිවුස්ගේ කඩුළු 4

අපිට ඉන්න සුපිරි විස්සයි විස්ස ක්‍රීඩකයෙක් වන මැතිවුස්ට IPL තරඟබිමේදි වැඩිපුර දස්කම් දක්වන්න බැරිවීම ඇත්තටම පුදුම සහගතයි. පිතිකරණය අතින් කැපී පෙනෙන IPL ඉනිමක් ක්‍රීඩා කරන්න මැතිවුස්ට හැකියාවක් නොලැබුණත්, දක්ෂ ලෙස පන්දු යැවීමෙන් තරඟයක තීරණයට බලපෑමක් කරන්න 2010 IPL තරඟාවලියෙදි මැතිවුස්ට හැකියාව ලැබෙනවා. ඒ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩුළු 4ක් දවා ගැනීමෙන්.

 

බෝනස් – මහේල නායකත්වය නිසා තරඟයේ වීරයා වෙයි

 

නායකත්වයේදි දක්වපු දක්ෂතාවය නිසා ක්‍රීඩකයෙකට තරඟයේ වීරයා සම්මානය ලැබෙනවා කියන්නෙ ඉතාම දුර්ලභ සිදුවීමක්. සාමාන්‍යයෙන් තරඟයේ වීරයා සම්මානයක් හිමි වෙන්නේ පන්දු යැවීමෙන්, පිතිකරණයෙන් හෝ තුන් ඉරියව්වෙන්ම යම් ක්‍රීඩකයෙක් දස්කම් දැක්වීම නිසාවෙන්නෙ. මේ විදිහෙ විරල ජයග්‍රහණයක් ලබන්න 2011 අවුරුද්දෙ IPL තරඟාවලියෙදි මහේලට හැකියාව ලැබෙනවා. කොච්චි ටස්කර්ස් කණ්ඩායම විසින් රැස්කරපු ලකුණු 132ක පහසු ඉලක්කය හඹා යන කොල්කටා කණ්ඩායමට ඒ ඉලක්කයට ළඟාවීම අසීරු කරවන්න මහේලගේ උපක්‍රමශීලී නායකත්වය සමත්වෙන්නේ අවසානයේදී ඔවුන්ව ලකුණු 126කට සීමා කරමින්. මේ ශූර නායකත්වය වෙනුවෙන් ඒ තරඟයේදි වීරයා සම්මානය මහේලට හිමි වෙනවා.

Cover Image Source – espncricinfo.com / sky.tv / srilankancricket.com / pintarest.com / blogger.com / twitter.com / flickr.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *