මහගම සේකර රිදී තිරයට ලිව් රත්තරන් ගී

Sekara songs

මහගම සේකර ජීවිතයට ආයුබෝවන් කියලා මේ අවුරුද්දේ ජනවාරි 14 වෙනිදාට අවුරුදු 42ක් පිරුණා. ගොඩක් දෙනා කවියෙක් විදියට විතරක් දන්න එතුමා ගේය පද රචකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, නවකතාකරුවෙක්, කෙටිකතාකරුවෙක් සහ නාට්‍ය රචකයෙක් වෙනවා. ඔහුගේ නිර්මාණවල තිබුණේ ගැඹුරු අර්ථයක් හැබැයි ඉතා ම සරල සහ ලස්සන විදියට ඒක ඉදිරිපත් කරලා තිබුණා. මේ නිසා ම ශ්‍රී ලංකාවේ චිත්‍රපට ගීත සාහිත්‍යයේ හැරවුම් ලක්ෂ්‍යයක් විදියට එතුමා ව හඳුන්වන්න පුළුවන්. ඒ ගීතවල තිබුණ මිහිර නිසා ම අදටත් අපි ඒවා රස විඳිනවා. මේ ඒ වගේ ගීත නිර්මාණ කීපයක්.

 

1. ඈත ගව් ගණන් දුරින් – ගැටවරයෝ චිත්‍රපටය

 

1964 අවුරුද්දේ තිරගත වුණ ගැටවරයෝ චිත්‍රපටය මයික් විල්සන් සහ තිස්ස ලියනසූරිය යන අයගේ අධ්‍යක්ෂණයක්. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සහ සෝබනී අමරසිංහ වගේ විශිෂ්ට රංගධරයන් එකතු වුණ නිර්මාණයකට සේකරගේ පද මාලාවකින් යුත් ගීතයක් අමරදේවයන්ගේ සංගීතයෙන් එකතු වුණ එක අහම්බයක් නෙවෙයි. අදට අවුරුදු 50කටත් වඩා කලින් සමාජගත වුණ ගීයක් වුණත් අදටත් මේ ගීතය අමතක කරන්න අමාරුයි. සේකරගේ වචනවලට ඔහු බලාපොරොත්තු වුණ හඬ සැපයුවේ නාරද දිසාසේකර සහ පිරිස.

 

2. අතීතයෙන් ගඟ ගලා බසී – තුංමංහන්දිය චිත්‍රපටය

 

සිනමා වංශකතාවේ චිත්‍රපටයක ඇති සාරය එක ගීයකට කැටි කර ඇත්නම් ඒකට මෙයට වඩා උදාහරණයක් දෙන්න අමාරුයි. මේ ගීය රචනා කිරීම, ගීය ඇතුළත් චිත්‍රපටයේ තිර රචනය, ඊට පාදක වූ නවකතාව ලිවීම සහ චිත්‍රපටය අධ්‍යක්ෂණය යන සියල්ල කරන්නේ සේකර. ජාතික කතෝලික සිනමා පර්ෂදය 70 දශකයේ විශිෂ්ටතම සිනමා නිර්මාණය විදියට තෝරාගන්නේ මෙයයි. සේකර නාමය ඇති තැනක අමරදේව ශූරින් පිළිබඳ සඳහනක් නො වෙනවා නම් ඒක පුදුමයක්. අතීතයෙන් ගඟ ගලා බසී සංගීතවත් කරලා ගායනය කරන්නේ පණ්ඩිත් අමරදේව ශූරීන් විසින්.

 

3. රටකින් රටකට පාර අසාගෙන – බිනරමලී චිත්‍රපටය

 

1969 චිත්‍රපටයේ තිරගත වුණ බිනරමලී චිත්‍රපටයේ නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, කතාව සහ දෙබස් යන සියල්ලේ අයිතිකරුවා මුදලිනායක සෝමරත්න. චිත්‍රපටයේ නාමාවලියත් එක්ක ම ඇහෙන පසුබිම් ගීය තමයි ‘රටකින් රටකට පාර අසාගෙන’ කියන්නේ. මිනිස්සුන්ගේ කෙළවරක් නැති ජිවන ගමන ගැන හරි අපූරු කතාවක් කියන මේ ගීතය පණ ගැහෙන්නේ සෝමදාස ඇල්විටිගලයන්ගේ සංගීතයෙන් සහ අමරදේව මාස්ටර්ගේ මියුරු කටහඬින්. මේ ගීතයට 1970දී පැවති සරසවි සම්මාන උළලේදී හොඳම ගීත රචනයට සම්මානයක් හිමි වෙනවා.

 

4. සිනිඳු සුදු මුදු තලාවේ – සත්සමුදුර චිත්‍රපටය

 

1968 පැවති සරසවි සම්මාන උළලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිෂ්පාදනය, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ගායකයා සහ හොඳම ගීත රචනය යන සම්මාන හිමි කරගන්නේ සත්සමුදුර චිත්‍රපටයයි. ‘සිනිඳු සුදු මුදු තලාවේ’ ගීතය ගායනය, වාදනය සහ රචනය අතින් ජය කෙහෙළි නගන්නේ මුහුද නොදුටු අයෙකුට වුණත් මුහුද ගැන හැඟීමක් ඇති කරවන්න තරම් බලයක් ඒ ගීය සතු නිසා. මහගම සේකරගේ වචනවලට මුහුදේ රැලි වගේ තකට තක පෑහුණු ඇල්විටිගලයන්ගේ සංගීත කාර්යයත් අමරදේවයන්ගේ හඬ පෞරුෂයත්  කිසිදා අමතක කරන්න බැරි දෙයක්.

 

5. මේ සිංහල අපගේ රටයි, සිරිසාර බුලත් විට, ලක්ෂ ගණන් වස්තු

ලැබී – සාරවිට චිත්‍රපටයේ ගීත

 

සාරවිට චිත්‍රපටය සේකරයන්ගේ සරල ගීවල රස ගුලාවක්. නන්දා මාලිනි ගායනා කරන දේශාභිමානය වඩවන ‘මේ සිංහල අපගේ රටයි’ ගීතයට සංගීතය සපයන්නේ අමරදේව ශූරින්. හොඳම ගී පද රචනයට හිමි සරසවි සම්මානය මේ ගීතය නිසා සේකරයන් තමන්ගේ කරගන්නවා. ජෝ අබේවික්‍රම සාරයියා විදියට සරසවි සම්මාන උළලේ දී හොඳම නළුවා කළ නිර්මාණය තමයි සාරවිට. ඒ සාරවිටකාරයා ගැන අදටත් ආදරණිය මතකයක් සපයන ගීය තමයි ‘සිරිසාර බුලත් විට ගීතය’. එතැනදී මිල්ටන් පෙරේරාගේ හඬට අමරදේව ශූරින් සංගීතය මුසු කළේ ය. මේ ගීතයට 1966 ස්වර්ණ සංඛ සම්මානය පවා හිමි වුණි. ‘ලක්ෂ ගණන් වස්තු ලැබී’ ගීතය අමරදේවයන්ගේ සංගීත කාර්යයෙන් පෝෂණය වුණ ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ඇන්ටන් රොද්‍රිගූ, සී. ටී. ප්‍රනාන්දු සහ දයා සඳනායක යන අයගේ හඬ පෞරුෂයට නතු වුණ ගීයක්.

මේ චිත්‍රපට ගීතවලට අමතරව මහගම සේකර ශූරින් අපට දායාද කළ ගීත බොහොමයක් තියෙනවා. නිකන් ඉන්න වෙලාවක ඩේටා කපාගෙන ෆේස්බුක් නොයා යූටියුබ් පැත්තේ කරක් ගැහුවොත් ඒ ගීත අහන්න පුළුවන්.

 
Cover Image Source – cinema.lk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *