5 ජී සමග අලුත්වෙන වයර්ලස් නෙට්වර්කින්

What is 5G explained

මොබයිල් ෆෝන් වල තාක්ෂණය දියුණු වීමත් එක්ක එයට සරිලන්න දුරකථන ජාල නවීකරණය වීමත් සිදු වුණා. දුරකථන ජාල අලුත් වෙද්දි ඒ ඒ පරම්පරාවල් පසුකරමින් ඇවිත් අපි අද ඉන්නේ 4වන පරම්පරාවේ (4th Generation -4G)  ජංගම දුරකථන එක්ක. මෙතෙක් අපි ජංගම දුරකථන ජාලයකින් අපේක්ෂා කළේ වේගවත් දත්ත සම්බන්ධතාවයක්. එහි න්‍යායාත්මක අගයන් වලින් කුමක් කියවනවා වුවත් සැබැවින්ම ෆෝන් එකකට එයට ගැලපෙන මට්ටමකට ඩේටා සිග්නල් නැතිවෙද්දී ෆෝන් එකේ බොහෝ ඇප්ලිකේෂන් වලින් වැඩක් ගන්නට බැරි වෙනවා.

5ජී වෙද්දී මේ මොබයිල් ෆෝන් වලට දත්ත දීම කියන සංකල්පය ටිකක් ඈතට ගිහින් එදිනෙදා ජීවිතයේ ගනුදෙනු කරන යන්ත්‍ර සූත්‍ර සමගත් දුරකථන ජාලය ඔස්සේම ගනුදෙනු කරන්නට පහසුකම 5G හි තිබෙනවා. ඒ වගේම මෙතෙක් දුරකථන ජාල වල නොතිබුණු අලුත දේවල් රැසක් 5ජී වල තියෙනවා. අපි ඒ ගැන ටිකක් දැනගනිමු.

 

1. 5ජී වල විශේෂතා

What is 5G explained

Source – gemalto.com

* තත්පරයට ගිගා බයිට් 10ක් තරම් වේගය : මෙය කලින් පැවති 4ජී එක්ක බලද්දි දස ගුණයත් සිය ගුණයත් අතර වැඩිවීමකි

* මිලිතත්පර 1කට අඩු වූ ලේටන්සිය : එනම් අපි පණිවුඩයක් යැවුවාම ඒක සෙන්ඩ් වෙන්න සහ අපිට පණිවුඩයක් ලැබෙන්න ගතවන කාලය මිලි තත්පර එකක් තරම් අඩු ප්‍රමාණයකට අඩු වෙනවා.

* සිය ගුණයක් තරම් වැඩි උපකරණ එක වපසරියකදී සම්බන්ධ කර ගත හැකිවීම ( 4ජී හා සැසදීමේදී)

* සියයට අනූ නවකයට වඩා ඇවෙලබිලිටිය ( ජාලයට සම්බන්ධ වීමේ හැකියාව)

* ආවරණය සියයට සීයක් දක්වා පැතිරවීම.

* ජාලයේ ශක්ති භාවිතය 90%කින් අඩු කිරීම.

* අවුරුදු 10කට වඩා බැටරි ආයු කාලයක් සම්බන්ධ වන උපකරණ වලට ලබාදීම .

 

2. උපකරණ රැසකට සම්බන්ධතාවය ලබා දීම

Source – itvoice.in

මෙතෙක් අපි ජංගම දුරකථන වලට පමණක් ලබාගත් මොබයිල් ජාල සම්බන්ධතාවය හරහා නිවසේ තිබෙන ශීතකරණය, ස්මාට් උපාංග, ආදිය ට මෙන්ම අහසේ යන ඩ්‍රෝන යානා සහ මහමග දිවෙන රියදුරු රහිත කාර් සදහාද සම්බන්ධතාවය ලබාදීම 5ජී වල එක් අරමුණක් වේ. ඒ හරහා සියලුම අංගෝපාංග වල දත්ත සහ එහි හැසිරවීම් ආදිය ජාලයේ ඉහල පිහිටි ක්ලවුඩ් ස්පේස් එකක් හරහා සිදුකිරීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙය නිවසට ලැබෙන විදුලි බලයෙන් උපකරණ රැසක් ක්‍රියාත්මක වන ආකාරයේ ජාලයක් ලෙසද දැක්විය හැකිය. සරලව සිතුවොත් අපි සී සීටී වී කැමරා කට්ටල කිහිපයක් අන්තර්ජාලයට සම්බන්ධ කරන්නට ඒ සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයක් වෙනමම අද ලබාගත යුතු වුවත් අනාගතයේදී විවිධස්ථානවල ඇති සියලු සී සී ටීවි සම්බන්ධතා කෙලින්ම ජාලයට සම්බන්ධ කරගැනීමට කුඩා 5ජී මොඩම් හරහා අවකාශ ලැබෙනු ඇත.

What is 5G explained

Source – larepublica.pe

මෙහි තවත් වාසියක් වන්නේ කාර්මික වැඩකටයුතු සඳහාද මෙම තාක්ෂණය භාවිතා කරගත හැකි වීමයි. එනම් විවිධ ස්ථානවල ස්ථානගත කර ඇති කාලගුණ උපකරණ වලින් දත්ත එක්රැස් කරගැනීමට හැකිවීම, මහා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර වල කොටස් අතර සන්නිවේදනයට යොදාගත හැකිවීම, වරාය ගුවන්තොටුපල වැනි ස්ථානවල සන්නිවේදන කාර්යයන් සදහා යොදාගත හැකිවීම ආදී වාසි රැසක් අනාගතයේදී 5ජී හරහා උදාවෙනු ඇත.

 

3. යානා වලට සම්බන්ධතාවය

What is 5G explained

Source – snmpcenter.com

අනාගතයේ දත්ත සම්බන්ධතාවය සහ කාර් වාසි තීරුවේ කියූ පරිදි ලේටන්සි අගය මිලිතත්පර එකක් දක්වා අඩුකිරීමේ මූලික අරමුණ වන්නේ ඩ්‍රෝන යානා සහ වාහන වලට අවශ්‍ය සම්බන්ධතාවය ලබා දීම වේ. වාහන වල රියදුරු නොමැතිව ධාවනය කිරීමේ තාක්ෂණය මේ වනවිට දියුණු වී ඇති අතර ඉදිරියේදී 5ජී හි ආගමනයත් සමගම වාහන වලට මාර්ග වල තත්වය සහ අවට වාහන වල විස්තර ආදිය කෙලින්ම ජාලයෙන් ලබාගත හැකි වනු ඇත. ඩ්‍රෝන යානා සලකන විට විශාල ප්‍රදේශයක පැතිරෙන ජාලයක් හරහා ඩ්‍රෝන සම්බන්ධ වන හෙයින් නාගරික වටපිටාවේ බොහෝ දුරබැහැරට ඕනෑම අස්සක මුල්ලක ඩ්‍රෝන යානා පහසුවෙන්ම යැවිය හැකි වෙනු ඇත.

 

4. ජාලයේ වෙනස්කම

මෙතෙක් අපවෙත දුරකථන ජාලයෙන් කෙලින්ම අපගේ උපාංග වෙත ජාල සම්බන්ධතාවය ලැබෙන ලදී. එහෙත් නව තාක්ෂණයේ දී විශාල ටවර් එකක් මගින් අපගේ විදුලිබල කණු වැනි කුඩා කණුවලට සබඳතාවය ලැබී ඉන් පසු මහජනයාට ජාල සම්බන්ධතාවය ලැබේ. මේ තුලින් වැඩි පරාසයක ප්‍රදේශයක් ආවරණය කිරීමේ පහසුව 5ජී වෙත උදා වේ.

 

5. 5ජී හදුන්වාදීම

What is 5G explained

Source – moorinsightsstrategy.com

අප රටේද මොබිටෙල් සහ ඩයලොග් සමාගම් වෙතින් 5ජී සදහා වන අත්හදාබැලීම් සිදුවුණි. ලොව පුරා විවිධ තත්වයන් යටතේ 5ජී තාක්ෂණය අත්හදා බලමින් පවතී. මොබයිල් චිප සදහා ප්‍රසිද්ධ ක්වල්කොම් සමාගම ස්නැප්ඩ්‍රැගන් X50 ලෙස නවතම 5ජී මොඩමයක්ද හඳුන්වා දී තිබේ. එම මොඩමය හරහා ඉදිරියේදී විවිධ උපකරණ 5ජී ජාලයට සම්බන්ධකරගත හැකි වෙනු ඇතිබවට සමාගම විශ්වාසය පලකර තිබේ. 5ජී තාක්ෂණය 2021 දී සම්පූර්ණයෙන්ම හඳුන්වාදීමට නියමිත අතර 2019 සිට භාවිතයට එකතු වෙනු ඇත.

 

විරෝධතාවය

What is 5G explained

Source – verocommunique.com

නිවසේ උපකරණ සහ යානා ආදීය සම්බන්ධ වන ප්‍රබල ජාලයක් වන 5ජී හිදී උපකරණ රැසක් ජාලයට එකවර සම්බන්ධ වනු ඇත. එහෙත් සාමාන්‍ය වයිෆයි හෝ බ්ලූටුත්වලට වඩා මෙම 5ජී තාක්ෂණයෙන් නිකුත් වෙන සංඥා ප්‍රබලය. ඒවා මිනිසුන්ගේ ඉන්ද්‍රිය වලට සහ මොලයට බලපෑම් ඇතිකරනු ඇතැයි ලොව පුරා රටවල් ගණනාවක ජනයා විරෝධතා පළ කොට තිබේ.

එහෙත් ජාල විශේෂඥයෝ පවසන්නේ සුවිශාල බලයෙන් යුතු ටවර් වලට වඩා ආසන්නයෙන් පිහිටුවන ලබන කුඩාතර  5ජී ටවර් වලින් නිකුත්කරන්නේ අඩු බලැති සංඥා බවය. එහෙත් මෙම කුඩා ටවර් පිහිටුවීමේදී පුද්ගලික ඉඩම් වල ඒවා පිහිටුවන්නට සිදුවීම, සහ මහජනයා සහේත්කුව හෝ අහේතුකව මේ සඳහා විරුද්ධ වීම නිසා ඇමරිකාවේ ඇතැම් පලාත් වල පරීක්ෂණ පිණිස මෙම 5ජී තාක්ෂණය අත්හදාබැලීමේ කාර්යයන්ටද බාධා එල්ල විය. 5ජී හි සෞඛ්‍යමය අවධානම  ගැන තවත් අවධානය යොමු කිරීමට මෙම විරෝධතා මගින් බලයක් ලැබෙන අතර ඒ තුලින් අනාගතයේ සෞඛ්‍යමය අවධානම අවම කරගෙන සුපිරි ජාලකින් මුලු ලොවම එකිනෙක සම්බන්ධ කරන 5ජී කරා අපට ලඟාවිය හැකි වෙනු ඇත.

 
Cover Image Source – technonize.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *